එමලිගේ Play වලට එකතු වෙන්න වැඩියෙන්ම ආරාධනාව හම්බෙන්නේ මට. හැබැයි එමලි කියන විදියට තමයි මම ඒ Play එකට එකතු වෙන්නත් ඕනේ. ඒ Play එකේ මට භාර දෙන වැඩේ මම කරන්න ඕනේ. වෙන අනවශ්‍ය දේවල් කරන්න ගියොත් කෙළින්ම Bye Bye කියලා මාව යැව්වා 😅. සමහර දවස් තියනවා මාව පුටුවේ ඉන්දවලා තියනවා එමලි Play කරනවා.මට තියෙන්නෙ පුටුවෙ ඉඳගෙන බලන් ඉන්න. අද බෝනික්කො ටිකට එමලි අයිස්ක්‍රීම් කවන්න ගත්තා. මට පවරපු රාජකාරිය තමයි සිය වතාවක් ” Yum yum” කියන්න. එක බෝනික්කෙක්ට අයිස් ක්‍රීම් හරි කුකී එකක් හරි කවනකොට මම සිය වතාවක් ඕක කියන්න ඕනේ.මම ඉතිං සිය වතාවක්ම නොකියා ඒත් එමලිට හරියන විදියට හයියෙන් හයියෙන් ඒක කිව්වා😅. එමලිගේ තාත්තා ඒ අස්සේ කෑම කන්න කතා කරනවා. කෑම කන්න නැගිටින්නේ කොහෙද මම මට එමලි පවරපු වැඩේ නොකර. එමලි එක්ක එහෙම මැදින් මඟ හැරලා යන්න බෑ. පස්සේ එමලිගේ තාත්තත් ” Yum yum” කියලා කොහොම හරි බෝනික්කන්ට අයිස්ක්‍රීම් කවලා ඉවර වෙලා තමයි අපි උදේටයි දවල්ටයි දෙකටම එක පාර කෑම කෑවේ🫠.

එමලි අයිස්ක්‍රීම් කවන්න තෝරගෙන තිබ්බේ එයාගේ බෝනික්කන්ගෙන් කීප දෙනෙක්ට විතරයි.අනික් අයට මුකුත් නෑ 🤭. ඒත් ඒ ඔක්කොම අයට අයිස්ක්‍රීම් කැව්වා නං අපිට රෑට කෑමත් නැතුව ” Yum Yum” කිය කියා තමයි ඉන්න වෙන්නේ.

දැන් අපේ අම්මා මගෙන් නිතරම අහන ප්‍රශ්නයක් තියනවා.

ඒක තමයි මේ වගේ වෙලාවට මැදින් නැගිටලා ගියොත් මොකද වෙන්නේ කියලා.

                                                               වෙන්නේ එමලි කලබල වෙන එක. හේතුව නිකන් හිතන්නකො බෝනික්කො පස් දෙනෙක් ඉදලා දෙන්නෙක්ට අයිස්ක්‍රීම් කවලා අනික් අයට කවන්න බැරි උනොත් එතකොට ඒ pattern එකට බාධා වෙලා. පස් දෙනාටම අයිස්ක්‍රීම් කැව්වොත් තමා එමලිගේ මනසට සහනයක් වෙන්නේ. ඔන්න ඕක තමා ඔටිසම් දරුවන්ගේ තියන එක පොදු ලක්ශණය. තමන් විසින් හදාගන්න පිළිවෙළවල් වලට මැදින් බාධාවක් වෙන්න බෑ. එහෙම උනොත් ඒක දරාගන්න අපහසුයි. මේ දරාගැනීම කාලයත් එක්ක, දරුවගේ විවිධත්වය මත සහ අපි දෙන සහය මත වඩා හොදින් කළමනාකරණය කරගන්න පුලුවන්. එමලිට දැන් ඉස්සරට වඩා සමහර Pattern වලට බාධා උනාම දරාගන්න පුලුවන්. ඒත් අපි හැම වෙලේම උත්සාහ කරන්නේ එමලිගේ රටාවන්, පිළිවෙළවල් වලට උපරිම සපෝට් එක දෙන්න. ඒකෙන් එමලිගේ මනස සන්සුන්ව තියන නිසා.

මුල් සබැඳිය : සිය වතාවක් ” Yum yum” කියන්න