සාම්ප්‍රදායික රාමුවෙන් පිටත මනුශ්‍ය හැසිරීම් ගොඩක් වෙලාවට නිර්වචනය වෙන්නේ ” පිස්සු, අමුතු,” කියන වචන වලින්. අපිට කියවගන්න බැරි මනුශ්‍ය හැඩයන් වලට පවා අපි දෙන නිර්වචනය ඒක තමයි. ඔටිසම් ප්‍රජාවගේ ඉතා ස්වාභාවික හැසිරීම් වටහා ගන්න තාම ලංකාවේ බහුතරයකට අපහසුයි. හේතුව අපිට ඔටිසම් ගැන තියන සමාජ කියවීම 1960 දශකයේ කියවීමෙන් ඔබ්බට අරන් යන්න බැරි වීම නිසා.
මට මතකයි මම නව යොවුන් කාලයේ මගේ හැසිරීමේ යම් යම් තැන්.මම පාරේ ඉන්ටර්ලොක් ලොකු ගල් අල්ලලා තියන තැන් වල නිතරම අඩිය තියන්නේ කොටුවෙන් කොටුවට. කිසිම වෙලාවක ඒ කොටුවක් මඟ හැරෙන්නවත් කොටුවක සීමාවක් පාගන්නෙවත් නෑ. එහෙම උනොත් ඒකෙන් මගේ හිත නොසන්සුන් වෙනවා. ඒ වගේම මට මතකයි අවුරුදු 15/16 වයසේදී නිතරම මගේ දකුණු උරහිස උස්සලා ආයේ පහත් කරා.මම ඒක නිතරම කරා.ඒකෙන් මට මනසට යම් සහනයක් ලැබුනා.
මට මේවා ආයේ ආයේ මතක් වෙන්නේ එමලිගේ චර්‍යාවන් දිහා බලනකොට. එමලිගේ මේ කාලයේ නොවෙනස්ව කරන චර්‍යාවන් ටිකක් මම කියන්නං.
ගෙදරින් එලියට යනකොටයි නිදාගන්න යනකොටයි Bathroom එක ලග තියන කොරිඩෝවේ දෙපැත්තේ බිත්ති අල්ලනවා. එමලිගේ තාත්තා කරන්නේ ” Touch the wall”කියලා තාත්තත් එමලි එක්කම බිත්ති අල්ලන එක. අපි මෙහෙම කරන්න හේතුව තමයි එමලිට එයාගේ හැසිරීම් අසාමාන්‍ය නෑ කියන එක ඒත්තු ගන්වන්න සහ අපිට එයාව වැටහෙනවා කියන එක ඒත්තු ගන්වන්න. ඒත් එක්කම එමලි කරන දෙයක් තමයි ඇඳ විට්ටමට දෙපාරක් තට්ටු කරන එක.නිකන් හරි ඒක අමතක උනොත් ආයේ හැරිලා ඇවිල්ලා තට්ටු කරනවා. ඒ නිසා නිදාගන්න යන්න කලින් එමලිගේ තාත්තා ඒක එමලිට මතක් කරනවා. නැත්තන් නින්දෙන් බාගෙට ඇහැරිලා එමලි ආයේ ඇද විට්ටම අල්ලලා තමයි නිදාගන්නේ. ඒත් එක්කම ටැබ් එකක, ෆෝන් එකක හරි එමලි හතර පැත්ත Touch කරනවා. ඒක හරියට ritual එකක් වගේ.
දැන් යමු අනික් චර්‍යාවන් වලට. එමලි එයාගේ මනස සන්සුන් කරගන්න දවසට හතර පස් පාරක්වත් ශැම්පුයි වතුරයි එකට කලවම් කරලා බේසමේ බැහැලා ඉන්නවා. ඒ පෙණ අතට අරන් ෆූ කියලා පිඹිනවා.ටැප් එක ඇරලා ඔලුව අල්ලන් ඉන්නවා. මේ සම්පූර්ණ Play එක ඉවර වෙනකල් Bathroom එකේ දොර ලඟ බිම ෆෝන් එකේ Play වෙනවා ” Kids camp” චැනල් එකේ යන සිංදුවක්. හැමදාම එකම සිංදුව තමයි මේ වෙලාවට එමලි Play කරන්නේ.
එතනින් එහාට ගත්තම ගෙදර Keyboard එකේ Auto play වෙන Music එක. මේක එමලි උදේ නැගිට්ට වෙලේ ඉදන් නින්දට යනකල්ම Play වෙනවා. අපි ගෙදරින් එලියට බහිනකොට මේක Off කරලා යන්න බෑ. හේතුව ගිහින් ඇවිල්ලා දොර අරිනකොට එමලිට Keyboard එක Play වෙන්න ඕනේ. ඒ නිසා ඒක දැනට දෙයියනේ කියලා උදේ ඉදන් රෑ වෙනකල්ම යකා වගේ වැඩ කරනවා. මට මේ music එක අහන් ඉන්න එක ගොඩක්ම අමාරු උනාම මම කරන්නේ පොඩ්ඩක් වත්තේ ඇවිදලා ඔලුව නිදහස් කරන් ගෙට එන එක.
ඒ වගේම ගෙදරින් එලියට යනකොට එමලිට අනිවාර්යයෙන් ඕනේ කරන දේවල් තමයි එයාගේ පොඩි කොට්ටය සහ Soft toys දෙකක්. Two cats කියලා තමයි එමලි ඒ Toys වලට කියන්නේ. අපි ගෙදරින් එලියට බැහැලා ටික දුරක් ගිහින් ආයේ වාහනේ හරවගෙන ඇවිල්ලා තියනවා එමලිට මේ දෙන්නව අමතක වෙලා.
මම එමලිගේ දකින විශේශත්වය තමයි එමලි කාලෙන් කාලෙට එයාට අවශ්‍ය විදියට මේ Routines, Patterns වෙනස් කරගන්නවා. ඒ කියන්නේ එමලිගේ ස්නායු පද්ධතිය සන්සුන් කරගෙන ලෝකය දරාගන්න පහසු වෙන්න එයාගේ Routines වෙනස් කරගන්නවා.
දැන් ගමනක් යනකොටත් හැමදාම සිද්ධ වෙන දෙයක් තියනවා.ඒක තමයි ෆොටෝස් ගන්න එක. එමලි පිටිපස්සේ සීට් එකේ ඉදන් කියනවා ” Mommy phone cheese ” කියලා. ඒකෙන් එමලි අදහස් කරන්නේ අම්මගේ ෆෝන් එකෙන් ෆොටෝස් ගන්න කියලා. ඉතිං මම ඒ වෙලාවට එමලිගේ ෆොටෝස් පහක් හයක් ගන්නවා. ඒ ගන්න වෙලාවට එමලි කරන්නේ එයාගෙ පොඩි කොට්ටය මූණ ලගට උස්සන් ඉන්න එක. ඒ වගේම එමලි පාවිච්චි කරනවා Verbal stimming.මේ Verbal stimming කියන්නේ ඔටිසම් දරුවන්ගෙන් සමහර දරුවන් තමන්ගේ මනස සන්සුන් කරගන්න රිපීට් කරන ශබ්ධ, සිංදු කෑලී , වචන, වාක්‍ය වලට. එමලි පාවිච්චි කරන්නේ ” Bee sticker ” කියන වචනය. මේක එමලි කිව්වම අපි ඒක අනිවාර්යයෙන් රිපීට් කරන්න ඕනේ.
මෙන්න මේ වචනය එමලි අනිවාර්යයෙන් කියනවා සත්තුන්ගේ නමක් කියනවා ඇහුනම. උදාහරණයක් විදියට අපි Elephant කියලා කිව්වම එමලි ටක් ගාලා කියනවා ” Bee sticker ” කියලා. ඒකට හේතුව තමයි සත්තුන්ගේ නමක් කිව්වම හෝ යම් සතෙක්ව අපි එමලිට පෙන්නුවම එමලිගේ ස්නායු අධිකව උත්තේජනය වෙනවා.මෙන්න මේ අධිකව උත්තේජනය වෙන ස්නායු නැවත සන්සුන් කරගන්න එමලි ටක් ගාලා ” Bee sticker ” කියන වචනය පාවිච්චි කරනවා. ඒ නිසා අපි එමලි ඉස්සරහා සත්තු ගැන කතා කරනකොට නිතරම සත්තුන්ගේ නම් ඉංග්‍රීසියෙන් කියන්නේ නෑ. අපි කියන්නේ සිංහල නම්. එමලිට සත්තුන්ගේ සිංහල නම් තේරෙන්නේ නැති නිසා අධික උත්තේජනයක් දැනෙන්නේ නැහැ.
මම මේ හැම දෙයක්ම හරිම උනන්දුවෙන් නිරීක්ෂණය කරලා එමලිව කියවන්න උත්සාහ ගන්නවා. එමලිගේ මනස වැඩ කරන අපූර්වත්වය මට තේරුම් ගන්න පුලුවන්. ඒ නිසා කිසිම වෙලාවක මේ දේවල් අසාමාන්‍ය හෝ අස්වාභාවික නැහැ කියන එක මම දන්නවා. දැන් මේවා අපි දැනගෙන මදී. සමාජය වටහාගන්න ඕනේ ඔටිසම් මනසක් සාම්ප්‍රදායික මනසක හැඩයට වඩා වෙනස් කියන එක. අන්න ඒ වෙනස අපි පිස්සු, අමුතු ,අසාමාන්‍ය හෝ අස්වාභාවික කියන වචන වලින් නිර්වචනය කරන එක නතර කරන්න ඕනේ. ඒකයි සමාජයක් විදියට අපි ලැබෙන හැම ඉඩකම ඔටිසම් ගැන දැනුවත් කරන්නේ.
ඔටිසම් දරුවන් ස්වාධීන කරනවා කියන්නේ උගන්නලා ඒ හරහා රැකියාවක් හොයාගන්න සහය දීලා තමන්ගේ වැඩ තමන්ටම කරගන්න පුළුවන් විදියට සහය දෙන එක නෙමේ. මේක හැම ඔටිසම් පුද්ගලයෙක්ටම කරන්නත් අපහසුයි. ඔටිසම් දරුවෙක්ගේ ස්වාධීනත්වය ගැන හිතනවා නම් මුලින්ම සහය දෙන්න ඕනේ ඒ දරුවාට මේ ලෝකය දරාගන්න පුලුවන් විදියට තමන්ගේ ස්නායු පද්ධතිය කළමනාකරණය කරගන්න. දරුවට නිදහස දෙන්න දරුවා විසින්ම නොයෙක් ක්‍රමයන් හොයාගෙන එයාගේ මනස සමබර කරගන්න.
උදාහරණයක් විදියට එමලි ගෙදරින් එලියට යනකොට අනිවාර්යයෙන් එයාගේ Headphones දෙක දාගෙන යන්නේ. ඒකට හේතුව එමලි පොඩි උනාට එයා දන්නවා අවටින් ඇහෙන්න පුලුවන් තමන්ට අපහසු ශබ්ධ දරාගන්න එයා ඒක පාවිච්චි කරන්න ඕනේ කියන එක. ඒ වගේම තමයි එමලි ගෙදරට තනි කලු පාට අදින්නේ එයාට නිවසේ Comfortable පරිසරය හදාගන්න. ඒ වගේම ගෙදරින් එලියට යනකොට තමන්ගේ ඇහැට පහසු පාටක් සහ හමට දරාගන්න පුලුවන් රෙද්දකින් මහපු ඇදුමක් තෝරගන්නවා. මේ හැමදේම කරන්නේ තමන්ගේ ස්නායු පද්ධතිය සන්සුන් කරන් වඩා පහසුවෙන් සමාජය එක්ක ගනුදෙනු කරන්න. ඒවගේම පිට ගෙදරකට ගියාම එමලි මුලින්ම කරන්නේ ඒ ගෙදර හැම තැනම Bathroom එක පවා බලන එක. ඒක කරන්නේ තමන් ඉන්න තැන ගැන හරි අදහසක් අරගත්තම තමන් ” Safe” කියන හැඟීමෙන් පහසුවෙන් එතන ඉන්න එමලිට පුළුවන් නිසා. මේ වගේ තමන් වඩා හොදින් තමන්ගේ ස්නායු පද්ධතිය කළමනාකරණය කරගන්න එකත් ස්වාධීනත්වය කියන එකට අදාළයි. ඒත් කිසිම මනුස්සයෙක් සම්පූර්ණයෙන් ස්වාධීන නැහැ.
ඔටිසම් පුද්ගලයින්ගේ ” අසාමාන්‍ය හැසිරීම් හෝ චර්‍යාවන් ” කියලා සමාජයක් හිතාගෙන ඉන්නේ සහ නිර්වචනය කරන්නේ ඇත්තටම ඔටිසම් පුද්ගලයින් ලෝකය දරාගන්න කරන ඉතා ස්වාභාවික උත්සාහයට. එතකොට ඇයි සමාජයක්, රටක්, ලෝකයක් ඔටිසම් ගැන දැනුවත් වෙන්න ඕනේ සහ ඉතා බුද්ධිමත් සංවාදයකට යන්න ඕනේ වෙන්නේ? ඒක එහෙම වෙන්න ඕනේ ඔටිසම් ප්‍රජාවට පහසුවෙන් ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් සහ සමාජීය සහයෝගයක් නිර්මාණය වෙන්න ඕනේ නිසා.
මට අදටත් මැසේජ් එනවා ” ඔටිසම් ” වචනය පාවිච්චි කරන්න එපා කියලා. තවත් ප්‍රජාවකගේ විවිධත්වයක් බහුතර සාම්ප්‍රදායික සමාජයට අපහසුතාවයක් ගේන එක වළක්වන්න නම් වෙනස් වෙන්න ඕනේ ඔටිසම් ප්‍රජාව නෙමේ.ඒ බහුතර සමාජය. සරළවම කියනවා නම් එමලිගේ ස්වාභාවික විවිධත්වය සහ එමලි ඔටිසම් අනන්‍යතාව සහිත මනුශ්‍යයෙක් වීම එමලිට අපහසුවක් හෝ අවමානයක් නෙමෙයි නම් ඒක බහුතර සමාජයට අපහසුවක් වෙන්න විදියක් නෑ. ඒ නිසා ඔටිසම් දරුවන්ගේ දෙමාපියන් , හිතවතුන්, ගුරුවරුන් වගේම අනෙකුත් පිරිස් එකතු වෙලා ඔටිසම් විවිධත්වය ගැන දැනුවත් කරන්න හැම ඉඩක්ම පාවිච්චි කරන්න. එහෙම නොකර ” අපි මැරුනට පස්සේ අපේ දරුවන්ට මොකක් වෙයිද” කියන ප්‍රශ්නය ආයේ ආයේ රිපීට් කර කර හූල්ලන්න එපා.
