ලංකාවේ තවත් තියන මිත්‍යාවක් සහ නිවැරිදි නොවෙන අදහසක් තමයි ඔටිසම් දරුවන් ( Neurodivergent ) ඔටිසම් නොවෙන දරුවන් ( neurotypical) එක්ක එකට තියලා ඒ හරහා ඔටිසම් දරුවන්ට Neurotypical දරුවන්ගේ හැසිරීම ඉගෙන ගෙන පුහුණු කරවන්න ඕනේය කියලා.
මේ අදහස ඇයි වැරදි වෙන්නේ කියන එක Neurodivergent-affirmative doctors / Therapists / Advocate ලා ඉතා පැහැදිලිව විස්තර කරනවා.
- මේ අදහස ඇතුලේ තියනවා ඔටිසම් දරුවන්ගේ හැසිරීම පිළිගත නොහැක සහ ඔටිසම් නොවන දරුවන්ගේ හැසිරීම තමයි සමාජය පිළිගන්නේ කියන එක. ඒ නිසා ඔටිසම් දරුවන් ඔටිසම් නොවන දරුවන්ගේ හැසිරීම පුරුදු විය යුතුයි කියන බලපෑම දරුවන්ගේ මනසට කා වද්දනවා.
- ඔටිසම් දරුවන්ගේ විවිධත්වය පිළිගත නොහැකි දෙයක් කියන එක ඒත්තු ගන්වනවා
- ඔටිසම් දරුවාගේ ඔටිසම් විවිධත්වය අවම කරලා සමාජයට පෙන්වන්න ඕනේය කියන අදහස දරුවාට දෙනවා.
- ඔටිසම් දරුවන් සාම්ප්‍රදායික ස්නායු හැඩයක් සහිත දරුවන් සමඟ එකතු කිරීමෙන් මැජික් එකක් වගේ ඔටිසම් දරුවන්ගේ සන්නිවේදනය , ස්වාධීනව හැඟිම් දරාගැනීම හෝ අභියෝග කළමනාකරනය කරගැනිම ඉගෙන ගන්නේ නෑ. ඒ වෙනුවට වෙන්නේ තමන්ගේ විවිධත්වය පිළිගන්නේ නැති බවත් ඒ නිසා කොයිතරම් අපහසු උනත් විවිධත්වය සඟවාගෙන අනෙකා සතුටු කරන්න ඕනේය කියන අදහස දරුවාට ස්වාභාවිකවම ඇති වෙන එක.
- ඔටිසම් දරුවන්ට අවශ්‍ය ඔවුන්ගේ විවිධත්වය බලහත්කාරකමින් වෙනස් කරන එක නෙමේ.ඔවුන්ට අවශ්‍ය වෙන්නේ වටහා ගැනීම, තමන්ගේ මනස සන්සුන් කරගැනීමට සහය, තමන්ට සමාජය සමඟ තමන්ගේ හැඩයෙන් එකතු වීමේ ඉඩ.
- සියළුම දරුවන් එකට එකතු වීම හරහා විවිධ සිතුවිලි සහ සිතීම් එකිනෙකට හුවමාරු කර ගන්නවා සහ එකට එකතු වෙලා තමන්ගේ ගැටලු විසඳා ගන්නවා.
- Neurotypicals දරුවන්ට විවිධත්වය ගැන ඉගෙන ගන්න එය අවස්ථාවක් කර ගන්න ඕනේ.
එමලි අනෙක් දරුවන් එක්ක එකතු වෙන්නේ එයාගෙම හැඩයකට. මනුශ්‍ය ගනුදෙනුවක් කිසිම වෙලාවට එක රාමුවක් ඇතුළේ තියෙන්න ඕනේ නෑ. වඩා වැදගත් වෙන්නේ සමාජය සමඟ තමන්ට පහසු විදියට සම්බන්ධ වීම පමණයි. මිනිස්සු දෙන්නෙක්ට පුළුවන් එකම අවකාශය ආදරණීයව බෙදා ගන්න එකම වචනයක්වත් හුවමාරු කරගන්නේ නැතුව.මිනිසුන්ට පුළුවන් වෙන්න ඕනේ එකිනෙකාගේ හැඩය වටහාගෙන සම්බන්ධකම් ඇති කරගන්න. එමලි ඉගෙන ගන්නේ සහ අනෙක් දරුවන්ට උගන්වන්නේ ඒක. එමලිට ඕනේම කාර්ය බහුල තැනක , ඕනේම කණ්ඩායමක් ළඟ තමන්ට පහසු විදියට එකතු වෙන්න නිදහස තියනවා.
ඊයේ Play date එකේදී එමලි එයාගේ යාලුවො එක්ක පොඩි වෙලාවක් ඉඳලා එයාට නිදහස් සන්සුන් තැනකට ගිහින් චිත්‍ර අදින්න ගත්තා.මේකට හේතුව එමලිගේ Sensory overload වීමක් වෙන්න පුළුවන්..ඒ කියන්නේ ඒ අවස්ථාව එමලිට දරාගන්න අපහසු වෙන්න ඇති. වැදගත්ම දේ තමයි එමලිට කිසි කෙනෙක් බාධා කරේ නෑ. මේක තමයි Inclusive / අන්තර්කරණය කියන්නේ. තමන්ගේ හැඩය නොවෙනස්ව පිළිගන්නා විවිධ සමාජ පරිසරයන් එක්ක පහසුවෙන් එකතු වීම.
ඉතිං මම හිතන්නේ මට එමලිට අලුතින් කියලා දෙන්න ඕනේ වෙන එකක් නෑ ” ඔයාට පහසු විදියට ඔයා සමාජය එක්ක ගනුදෙනු කරන්න” කියන එක.

