අද උදේ අපේ Shalani Weerawardana ත් ඇහුවා එමලි ගැන.කාලෙකින් මුකුත් එමලි ගැන ලිව්වේ නැති නිසා. ලියන්න දෙයක් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ වගේ මේ දවස් වල නං. එමලි අමුතු චරිතයක් වෙලා ඉන්නේ. දවසෙම cut and paste worksheets අරන් ඒවා කප කපා අලවන එක තමයි කරන්නේ. ඒත් එක්කම සබන් කපනවා. ඒක නං කරන්න හේතුව එමලි ටික කාලෙකට කලින් Regulate වෙන්න / මනස සන්සුන් කරගන්න soap cutting asmr වීඩියෝ බැලුවා. අන්න ඒවා තමයි දැන් මේ ප්‍රායෝගිකව අත් හදා බලන්නේ.
කොළ වල රූප කපලා අලවන්නේ මේසේ තියන් පුටුවේ හරිම සන්සුන්ව ඉඳගෙන උනාට සබන් කැට අරන් යන්නේ නිදාගන්න ඇද උඩට. කාමරේ ඇද උඩ නිකන් ස්වයං රැකියාවක් සිද්ධ වෙන පරිසරයක් තමයි තියෙන්නේ.අඩිය තියන තැන සබන් කෑලී. ඇදේ බෙඩ්ශිට් එකේ සබන් ඇලිලා. ඉතිං ඒවා හැමදාම හවසට අස් කරලා බිම Mop කරලා මම කියනවා දැන් කඩේ වහලා ආයේ හෙට උදේට අරින්න කියලා. හරියටම උදේ පාන්දර නැගිට්ට ගමන් පටන් ගන්නවා.
දැන් මේ කාලේ cut and paste worksheets හරහා තමයි එමලි මනස සන්සුන් කරගන්නේ සහ උත්තේජනය කරගන්නේ. මම ඒ අතරට කියවන්නයි වෙන පොඩි වැඩ තියන Worksheets අර කොළ අස්සට මැදින් ඔබලා දෙනවා.
කියවන්න සරල වාක්‍ය Sheet එකක් මුලින්ම එමලිට දුන්නම එමලි මගේ මූණ දිහා බැලුවා නිකන් ” මොකක්ද මට මේකේ කරන්න තියෙන්නේ ” කියලා අහන්න වගේ. ඒක ඉතිං ඇත්ත. මම දන්නවා අකුරින් අකුර ගළපලා එමලි හෙමින් වචන වාක්‍ය කියවන්න ඉගෙන ගන්න එක එයාට ගොඩක් දේවල් කරගන්න ලොකු සහයක් වෙනවා කියලා. ඒත් ඕක එමලි දන්නේ නෑ නේ. එමලිට ඕනේ දෙයක අවසාන ප්‍රතිඵලය ප්‍රායෝගිකව දකින්න. එහෙම නැත්තන් එයාගේ මනස කලබල වෙනවා.උදාහරණයක් විදියට ඉලක්කම් එකතු කරන්න තියනවා නම් ඒකේ අවසාන ප්‍රතිඵලයක් තියනවා.End එකක් තියනවා. රූප ගළපන්න, වචන වල හිස් තැන් පුරවන්න, ප්‍රෙහෙලිකා මේ වගේ දේවල් වල අවසානයක් තියනවා සහ පේනවා. නිකන් වාක්‍ය ටිකක් දුන්නම ඉතිං එමලි පැටැලැවෙනවා මොකක්ද ඉතිං මේක කියවීමේ අවසානයෙදි වෙන්නේ කියලා. ඒ නිසා මම කරේ ඒ වාක්‍ය ටික මම එමලිට ඇහෙන්න කියවලා අවසානයේ කොළේ ලොකු හරියකුයි තරුවකුයි ඇදපු එක. ඒක තමයි අවසානය වෙන්නේ කියලා එමලිට පෙන්නුවා. එතකොට අපි ඒ කියවන්න තියන හැම කොළයකම අවසානය විදියට කරන්නේ තරුවයි හරියයි අදින එක. ඉතිං දැන් අපි කොළේ තියන වාක්‍ය කියවන්නේ තරුවයි හරියයි අදින්න ඕනේ නිසා 
එමලිගේ Cologne එකතු කරන Special interest එක ඒ විදියටම තිබ්බට කලින් තරම් Peak එකේ නෙමේ තියෙන්නේ. දැන් නං අලුතින් Cologne අරන් දෙන්නේම නැති තරම්. ඒත් ඉඳලා හිටලා එමලි ඉල්ලනවා. අර එකතු කරගත්ත ඒවා නම් ලඟම තියන් ඉන්නවා.බෝතලේ පිටින් ඔළුවට හලා ගෙන ආයේ ඒ බෝතලේ පිරෙන්නම වතුර පුරවනවා. ඒත් එක්කම ගෙදරින් එළියට බහිනවා නම් අනිවාර්යයෙන් තෝරගත් Cologne බෝතල් ජාති පහක් පොඩි බෑග් එකකට දාගෙන යනවා.
මට නිකන් ඉවෙන් වගේ දැනෙනවා මොකක් හෝ නමුත් වෙනස්කමක් සිද්ධ වෙන්න යනවා කියන එක. ඒ දැනීම මේ අවුරුදු කීපය පුරා එමලිගේ එයාට අනන්‍ය වුන ඔටිසම් විවිධත්වයේ අත්දැකීම් මත මට දැනෙන දෙයක්.ඒත් ඒ වෙනස මොන විදියට වෙයිද ඒ කියන්නේ අභියෝගාත්මක වෙයිද එහෙම නැත්තන් තව වෙනත් Special interest එකක් වෙයිද කියන එක මම දන්නේ නැහැ..ඒත් මේ ගත වෙන්නේ යම් ගන්ධබ්බ අවදියක් ය කියන එක නං මට සහතිකයි. ඒක හරියට මට දැනෙන්නේ සුනාමිය එනකොට මුහුද එයා තුළටම යම් දුරක් හිස් උනා වගේ දෙයක්. හැබැයි Autistic burnout එකක් ඒමේ ලක්ෂණ නැහැ.
එමලි සාමයෙන් ඉන්න බව පේනවා. ඒත් එයාගේ Water play සම්පූර්ණයෙන් නතර වෙලා. මිදුලට බහින්නේම නැති තරම්.එතකොට මේ රූප කැපීමත් ටිකෙන් ටික අඩු වෙලා යන්න තියන ඉඩ වැඩී. සාමාන්‍යයෙන් මෙහෙම වෙන්නේ එක්කො එමලි එයාගේ ස්වාභාවික ඉදිරි සංවර්ධන පියවරකට යන්න. එහෙමත් නැත්තන් ලොකු සුනාමියක් වගේ අභියෝගයක් එන්න. මම ඔය දෙකටම සූදානම් ශරීරෙන් තමයි දැන් ඉන්නේ.
