අපි ඔටිසම් ගැන කතා කරනකොට ඒකත් එක්කම ගොඩක් වෙලාවට වාචික සන්නිවේදන අපහසුතා ගැන කතා කරනවා. හැම ඔටිසම් පුද්ගලයෙක්‍ටම වාචික සන්නිවේදන අසීරුතා නැහැ. කොටසක් ඉතාමත් හොදින් වාචිකව සන්නිවේදනය කරගන්නකොට තව පිරිසක් වාචිකව සන්නිවේදනය කරගන්නේ නෑ. ඒත් එක්කම තව කොටසක් ඉන්නවා වාචික සන්නිවේදනය යම් තාක් දුරකට කරන.දැන් අතීත කාලේ වගේ කටින් වචන හරහා කතා කරන එක විතරක් සන්නිවේදනය කියලා සලකන්නේ නෑ. අංග චලන , ශබ්ධ, මුහුණේ ඉරියව් වගේම තාක්ෂණය භාවිතා කරලා තමන්ට පහසු විදියට සන්නිවේදනය කරගන්න පුලුවන්. AAC ඇප්ස් තියනවා, Letter board , picture cards, type , text to speech වගේ එක එක ක්‍රම තියනවා.

දැන් ඔය සමහරු කියනවා අම්මා ළමයා එක්ක නිතරම වැඩියෙන් කතා කරන්න එතකොට ළමයා කතා කරයි කියලා.මේක ඔටිසම් දරුවන්ගේ සන්නිවේදනයට සහය දෙන්න පාවිච්චි කරන්න පුලුවන් ඉතාම නරකම ක්‍රමයක්.අපි කතා කරන්න ඕනේ දරුවාගේ හැඩය මත නියමිත ක්‍රමවේදයක් යටතේ. උදාහරණයක් විදියට Marge blanc ගේ ” Natural Language Acquisition on the Autism Spectrum: The Journey from Echolalia to Self-generated Language ” පොතේ තියනවා දරුවා ප්‍රශ්න වලට උත්තර දෙන පියවරට දරුවාගේ භාෂාව සංවර්ධනය වෙලා නැත්නම් දරුවාගෙන් ප්‍රශ්න අහලා පීඩාවට පත් කරන්න එපා කියලා. මේක සම්පූර්ණයෙන් ඇත්තක්.

මම එමලිට ප්‍රශ්නයක් අහන්න ඕනේ විදිය model කරන්න ගත්තේ මීට කාලෙකට කලින්. මට ඕනේ උනා එමලිට එයාට දැනගන්න අවශ්‍ය දෙයක් ඉතාම සරලව මගෙන් අහලා දැනගන්න ක්‍රමයක් මුලින්ම හඳුන්වා දෙන්න. එමලිට තාම සංවාදයක් ගොඩනගාගන්න සහ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න අපහසුයි. මම එයාට ප්‍රශ්නයක හැඩය විතරක් හඳුන්වා දුන්නා. ඒක කරේ දෙයක් පෙන්නලා මම අහනවා මේ මොකක්ද ?කියලා.ඒත් එක්කම මම ඒක මොකක්ද කියලා උත්තරයත් දෙනවා. උදාහරණයක් විදියට Spoon එක පෙන්නලා මම එමලිට කියනවා ” මේ මොකක්ද ? මේක Spoon එකක්” කියලා. මෙහෙම මම Model කරන්න ගත්තම එමලි ඒක තේරුම් අරන් ” What is this”කියන කොටස ටක් ගාලා කොපි කරගත්තා. එහෙම කොපි කරන් එයා මගේ අත අරන් එයාට දැනගන්න අවශ්‍ය දේට තියලා ” What is this?” කියලා අහන්න ගත්තා.එතකොට මම උත්තරය කිව්වම එමලි එයාට ඒක ඕනේ නං ආයේ ඒ වචනය රිපීට් කරනවා. ඒ වෙලාවට එමලිගෙන් ඔයාට මොනවද ඕනේ කියලා ඇහුවම කලින් මගෙන් අහගත්ත දේ එමලි එයාට ඕනේ කියලා කියනවා. මීටත් වඩා සරලව කියනවා නම් එමලිට එයාගේ අවශ්‍යතාවය මට කියන්න සහ නොදන්නා දෙයක් අහගන්න දැන් ක්‍රමයක් එයා දන්නවා.

බලාපොරොත්තු වෙන්න එපා දරුවෙක් ගිරවෙක් වගේ කතා කරන්න පටන් ගන්න ඕනේ කියලා. හැම දරුවෙක්ටම එහෙම බෑ.දැන් ඔටිසම් දරුවන් ඉන්නවා Apraxia තත්ත්වය තියන. එතකොට ඒ දරුවන්ට වාචික සන්නිවේදනය අපි හිතනවට වඩා ලොකු අභියෝගයක් වෙන්න පුලුවන්. ඒ නිසා දරුවට පහසු විදියට සන්නිවේදනය කරගන්න සහය තමයි අපි දෙන්න ඕනේ. ඒක වචන එකතු කරලා කෑලී වලට වෙන්න පුලුවන් , ශබ්ද වෙන්න පුලුවන් , අංග චලන, මුහුණේ ඉරියව් වෙන්න පුලුවන් , AAC ඇප් එකක් හෝ දරුවට පහසු ඕනේම ක්‍රමයක් වෙන්න පුලුවන්. එමලිට AAC ඇප්ස් කීපයක්ම මම try කරත් එමලිට තියන Sounds සහ Visual sensory කළමනාකරණය කරගන්න අපහසු වීමේ අභියෝගය එක්ක ඒක එයාට හිරිහැරයක් උනා. ඒත් එමලි Type කරන්න කැමතියි. මම Letters කියනකොට එමලිට පුලුවන් Key board එකේ Type කරන්න. ඒත් එක්කම ඩිවයිස් එකක නං google search ගිහින් මම කියන එක Type කරලා Search කරන්න එමලිට පුලුවන්. ඉතිං ඒකත් මට එමලිට සන්නිවේදන ක්‍රමයක් විදියට හඳුන්වා දෙන්න පුලුවන් හෙමින්.

මේ වීඩියෝ එකේ තියෙන්නේ එමලි Smart Tv එකේ පෙන්නන හැම ඇප් එකක්ම මට කියලා දැනගන්න හදන අවස්ථාවක්. එමලි තාම Point කරන්නේ නැහැ. දෙතුන් පාරක් මෙතෙක් Point කරලා තියනවා. මෑතකදි ඉඳන් Bathroom එකේ ඉන්න ලොකු මකුළුවට තුන් පාරක් වගේ Point කරා. ඉතිං මම ඒ මකුළුවව පවා සෑහෙන්න පරිස්සම් කරනවා😅. Bathroom හෝදන්නෙත් එයාට හිරිහැරයක් නොවෙන්න.

ඒ වගේම මගෙන් මගේ යාළුවෝ අහන දෙයක් තමයි ඇයි මම එමලිව පොඩි වෙලාවක් තියලා එළියට ගිහින් Me Time එකක් ගන්නේ නැත්තේ කියලා. මමත් ආසයි එළියට ගිහින් හිතේ හැටියට Shopping කරලා කොහෙන් හරි කෑම කාලා ෆිල්ම් එකක් බලලා එන්න. ඒත් මට හිතේ සැනසීමක් එක්ක ඒක කරන්න බෑ. එමලිට මාව ඕනේ එයාට අවශ්‍ය දේවල් කියන්න. එමලිට මම තමයි එයාගේ Voice එක. අක්කයි තාත්තයි එක්ක එමලි එයාට පුලුවන් සීමාවේ ඉඳන් සන්නිවේදනය කරගත්තත් මම තමයි ප්‍රධානම comfortable මනුස්සයා එමලිට එයාගේ දේවල් කියන්න. එමලිගේ සන්නිවේදන හැඩය අපිට විතරයි තේරුම් ගන්න පුලුවන්.

ඊයේ එමලි මට කිව්වා ලොකු ලිස්ට් එකක් තාත්තට ගේන්න කියලා කියන්න. දැන් එමලිට මම කිව්වොත් තාත්තා Office ගිහින් ගෙදර එනවා.මොනවද තාත්තට ගේන්න කියන්නේ කියලා එමලිට ඒකට උත්තර දෙන්න බෑ. නොතේරෙන නිසා නෙමේ.මනසේ තියන කියන්න ඕනේ දේ වචන හරහා කියාගන්න අපහසු වීම. ඒත් එමලිට අනිවාර්යයෙන් මොනවා හරි ඕනේ කියල මම දන්නවා. ඒ නිසා ඒ ඔළුවේ තියන දේ පහසුවෙන් සන්නිවේදනය කරගන්න මම එමලිට සහය දෙන්නේ මෙහෙමයි. මම එයාට පොඩි ආරම්භයක් අරන් දෙනවා ” Daddy buy …. කියලා. එතකොට එමලි කියනවා ලිස්ට් එකක් එයාට ඕනේ. දැන් ඊයෙත් මම එහෙම වාක්‍ය පටන් ගත්තම එමලි එයාගේ ලිස්ට් එක කිව්වා. Hundred battery , square chocolate , mentos කියල. Hundred battery කියලා කියන්නේ battery ගොඩක් ඕනේ කියලා. Square chocolate කියන එක මට තේරුනේ නැති නිසා මම ඒක එමලිගේ තාත්තට කෝල් කරලා ඇහුවා. එතකොට එමලිගේ තාත්තා තේරුම් ගත්තා කලින් දවසේ ගෙනාපු චොකලට් එක නෙමේ වෙනදා නිතරම එමලිට අරන් දුන්න කොටු හයක් තියන චොකලට් එක තමයි මේ ඉල්ලන්නේ කියලා. දැන් එමලිට කියන්න අපහසුයි තාත්තේ මට ඔයා ඊයේ ගෙනාපු අළුත් චොකලට් එක එපා. වෙනදා ගේන තනි කොටු හයේ චොකලට් එක තමයි ඕනේ කියලා. ඒ වෙනුවට එමලි කිව්වේ ” Square chocolate ” එක ඕනේ කියලා. මේ වගේ අපි හරීයට මහන්සි වෙලා තේරුම් ගන්න ඕනේ එමලිට අවශ්‍ය දේ එයා කියන තනි වචනය හරහා.

මේක පොඩ්ඩක්වත් පහසු ජිවිතයක් නෙමේ. අපේ මොළය නිතරම තියෙන්නේ හරිම Intense mode එකක. මම එමලි මගේ අත අල්ලගත්ත ( Hand leading ) ගමන් එයා එක්ක ගිහින් මගේ අත එමලි point කරලා පෙන්වන දේ හරහා එයාට අවශ්‍ය දේ තේරුම් ගන්න ඕනේ. වෙලාවකට මට පීඩනය දරාගන්න අපහසු උනාම නිකන් කලන්තේ වගේ දැනෙනවා.ඇඟට නිකන් පණ නෑ වගේ. මේක පහු ගිය කාලේ කොයිතරම් වැඩි උනාද කියනවා නම් මම පෙරේදා හවස ඩොක්ටර් ළඟට ගිහින් Pressure check කරගත්තා. ඒත් Pressure normal. ඒ දැනෙන්නෙ මානසික පීඩනය. ඒත් දිග හුස්මක් අරන් ඔළුව පැහැදිලිව තියන් ඉන්න ඕනේ දරුවට සහය දෙන්න.එයාව තේරුම් ගන්න. මේ මූණ දෙන සමහර අහියෝග වලට අපිට විසඳුම් නෑ. එකම විසඳුම තමයි ඉවසීම සහ දරාගැනීම වගේම විශේෂයෙන්ම දරුවාගේ විවිධත්වය පිළිගන්න සමාජයක් දැනුවත් කරන එක.

 

මුල් සබැඳිය : මම එමලිට ප්‍රශ්නයක් අහන්න ඕනේ විදිය Model කර ගත්ත විදිය