මම එමලිට දැනුම දීම කියන එක “academic achievement” කියන කුඩා කෝණය හරහා බලන්නේ නැහැ. මේ දැනුම දීමේ ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නෙ එමලිට දැනුම එකතු කරගෙන ජීවිතය තේරුම් ගන්න, පහසු කරගන්න, සහ එයාගේ ලෝකය වඩා Comfortably හදාගන්න එමලිට සහය ලබා දීම.

එමලි කලින් addition / අංක එකතු කිරීම ඉගෙන ගත්තේ visuals එක්ක. උදාහරණයක් විදියට ඇපල් ගෙඩි තුනේ ගොඩවල් දෙකක් දීලා මෙතන ඇපල් ඔක්කොම කීයක් තියනවද කියලා ඇහුවම එමලි ඒ තියන ඇපල් ගෙඩි ඔක්කොම එකට එකතු කරලා 6 යි කියලා උත්තරය ලියනවා. මේ වගේ රූප, වස්තූන් වගේ රූප ආධාරක හරහා තමයි එමලිට එකතු කිරීම කියන්නේ මොකක්ද කියන සරල අදහස මම දුන්නේ. එමලි ඒ රූප මැද තියන ධන සංකේතයෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා වැටහීමක් තිබ්බේ නැහැ. ඒත් හෙමින් හෙමින් කාලාන්තරයක් පුරා අපි මෙහෙම රූප ආධාරක ( Visual support ) උදව් කරගෙන එකතු කරනකොට එමලිට යම් අදහසක් ආවා ඒ මැද තියන ධන ලකුණේ අර්ථය ගැන.

ඉතිං මම හිතුවා එමලිට ඒ වැටහීමත් එක්ක දැන් try කරන්න පුළුවන් කියලා රූප නැතුව අංක විතරක් තිබ්බොත් කොහොමද මේ අංක අපි එකතු කරන්නේ කියන දැනුම ලබා දෙන්න. එමලි මේ අදහස තේරුම් ගන්නකල් මට බැහැ එමලිට දෙකයි දෙකයි හතරයි කියලා කටපාඩම් කරවන්න. ඒක දැනුම ලබා දීමක් නෙමේ.

දැන් මට මෙතනිදි ආව මුල්ම ප්‍රශ්නේ කොහොමද මම මේක කියලා දෙන්නේ කියලා. මම කරේ එමලිට පේන්න අංකය උඩින් ඒ අංකේ ප්‍රමාණයට ඉරි කෑලී ගහපු එක.ඒ ඉරිත් එක්තරා විදියට රූප ආධාරකයක්. ඒ ඉරි හරහා මම එමලිට පෙන්නලා දුන්නේ ඒ ඉලක්කමෙන් පෙන්වන ප්‍රමාණය මොකක්ද කියන එක. ඉතිං එමලිට පේන්න මම එයාට එහෙම ඉරි ගහලා සරලව අංක එකට එකතු කරලා පෙන්නුවා. ඒ ක්‍රමය එමලි තේරුම් අරන් ඉන් එහාට තනියම වරද්ද වරද්දා ක්‍රමය හරියටම තේරුම් ගත්තා. එමලිට ඕනේ එහෙම වරද්ද වරද්දා හරි එයා විසින්ම ඒ දේ කරන එක. මගේ උදව් ඉතාමත් අවමව තමයි එමලි ඉල්ලන්නේ. ඉතිං ගොඩක් වෙලාවට මම කරන්නේ හරිම නිහඬව ළඟට වෙලා බලන් ඉන්න එක. ඒක හරියට මැරතන් එකක් දුවන කෙනාගේ සයිඩ් එකෙන් සපෝට් එකට වතුර බෝතලයක් තියන් දුවනවා හා සමානයි.

 එමලි දැන් හොදින්ම වටහාගෙන තියනවා අංක කියන්නේ නිකම්ම නිකන් කඩදාසියක ලියපු සලකුණු ටිකක් නෙවෙයි කියලා. ඒවා ඇත්ත ” ප්‍රමාණයක් ” නියෝජනය කරනවා කියන එක එමලි දන්නවා.ඒ වගේමයි ධන සංකේතයේ තේරුම එමලි දැන් දන්නවා.

එයා තේරුම් ගන්නවා ප්‍රමාණ දෙකක් එකට එකතු කළාම අලුත් ප්‍රමාණයක් හැදෙනවා කියලා.ඒ වගේම ගැටලුවක් විසඳන්න ක්‍රමවේදයක් පාවිච්චි කරන්න පුළුවන් කියන එකත් එමලි දැන් දන්නවා. මේ ඉරි ගහන එකත් එක්කම එමලි ඇඟිලි පාවිච්චි කරන්නත් ගත්තා. මේක තමයි Knowledge construction කියන්නේ.සරලවම කියනවා නම් මොකක්ද?’ කියන ප්‍රශ්නයට උත්තරය මතක තබාගැනීම නෙමේ. “මේක වෙන්නේ ඇයි?’ සහ ‘කොහොමද?’ කියන දේ තේරුම් ගනිමින් දැනුම ගොඩනඟාගැනීම.

විශේෂයෙන්ම ඔටිසම් අනන්‍යතාවය සහිත දරුවන් ගැන කතා කරනකොට, වැදගත්ම දේ සාම්ප්‍රදායික අධ්‍යාපනික සිස්ටම් එකේ දරුවා perform කරනවද කියන එක නෙවෙයි. වැදගත්ම දේ තමයි සැබෑ වටහා ගැනීමක් දරුවාගේ මොළය ඇතුළේ සංවර්ධනය වෙනවද කියන එක.දැන් එමලිගේ දැනුම සොයාගෙන යන ගමන සිද්ධ වෙන්නේ එයාගේ ඇතුලාන්තයෙන්ම තියන උවමනාව මත. මම කරන්නේ අන්න ඒ ඇතුලාන්ත උවමනාව නැති වෙන්නේ නැති වෙන්න අවශ්‍ය පරිසරය සහ මූලාශ්‍ර එමලිට ලබා දෙන එක.

Education කියන්නේ දරුවා පවතින system එකකට fit කිරීම නෙවෙයි. Education කියන්නේ දරුවාගේ ලෝකය තේරුම් අරගෙන, ඒ ලෝකය තුළින් දැනුමට පාරක් හදලා දීමයි. ඉතිං එමලිගේ මේ පුංචි ඉරි කෑළී සහ චූටී ඇඟිලි එහා මෙහා කර කර එකතු කිරීම කියන්නේ එයා විසින්ම දවසෙන් දවස මේ ලෝකය තව තවත් වටහා ගැනීමක්.

මුල් සබැඳිය : මම එමලිට දැනුම දීම