එමලි එයාගේ මම්මාච්චිගේ ගෙදරට යන්න ලෑස්ති වෙන්නේ ඉස්සර අපි පොඩි කාලේ අම්ම තාත්තා එක්ක ගමේ යනවා වගේ. මම්මාච්චි මහ දුරක හිටියේ නැති උනාට එමලි මේ ගමන යන්න හරිම උනන්දුවෙන් ලෑස්ති වෙන්නේ. ඇදුම ඇදලා එයාගේ පොඩි කණ්නාඩි මේසේ ඉස්සරහා තියන පුටුවේ ඉදන් එයා දිහා බලන් ඉන්නවා.
එමලි ඉපදුනේ ඒ ගෙදර නිසාත් යම් කාලයක් ලොකු උනෙත් එහේ නිසාත් එමලිට ඒ පරිසරය හරිම Comfortable. තමන්ට නන්නාඳුනන හා තමන්ගේ පාලනය ගිලිහිලා යන පරිසරයන් වලදී සමහර ඔටිසම් දරුවන් කලබල වෙන්න පුළුවන්. ඒකට හේතුව තමන්ට දරාගන්න අපහසු සංවේදනයන් මනසට ගලාගෙන එන නිසා.
එමලි ගෙදරින් පිටත් වෙන්න කලින් එයාගේ පොඩි කොට්ටෙයි බෙඩ්ශීට් එකයි ගත්තා.කොහේ ගියත් ඒ පොඩි කොට්ටේ අරන් යන්නේ. මම්මාච්චිගෙ ගෙදර යනකොට අනිවාර්යයෙන් එයාගේ බෙඩ්ශීට් එකත් අරන් යන්නේ. අපි පාරට වාහනේ දැම්ම ගමන් එමලි කෑ ගහන්න ගත්තා ” Knock knock door”කියලා. අපිට ඒකෙන් තේරුම් ගියා ඒ කියන්නේ ආයේ ගෙදරට යන්න ඕනේ කියලා.ඉතිං මම එමලිව අරන් ආයේ ඉක්මනට ගෙදර ගියා. එමලිට අමතක වෙලා එයාගේ බෝනික්කව ගන්න. ඉතිං බෝනික්කවයි Soft toys දෙකකුයි අරන් ගෙදර සාලේ බිත්තිත් අත ගාලා ආයේ වාහනේට නැග්ගා. එමලි නිදාගන්න යන්න කලිනුයි ගෙදරින් එලියට යන්න කලිනුයි බිත්ති වලට දෙතුන් පාරක් අත තියලා තමයි එලියට බහින්නේ. මේ වගේ හැසිරීම් රටා අසාමාන්‍ය නෑ. ඒවා කරන්නේ මනස සන්සුන් කරගන්න.
අද මම්මාච්චිගෙ ගෙදරට එමලිගේ පුංචිත් ඇවිල්ලා හිටියා. එමලි දැන් පුංචි එක්කත් Comfortable විදියට සම්බන්ධ වෙනවා. එමලි මගේ අක්කාව පුංචි කියලා ආමන්ත්‍රණය කරාට එමලි දන්නේ නැහැ නෑදෑ සම්බන්ධකම ගැන.ඒ වගේ පරාසයන් එමලිට තාම තේරුම් ගන්න අපහසුයි. එමලි මේ දවස් වල ස්නායු උත්තේජනය කරගන්නේ ෆෝන් එක off කරලා ඒක ආයේ Start වෙන විදිය බලලා.ඉතිං පුංචිගෙයි මම්මාච්චිගෙයි ලගට ගිහින් කිව්වා Restart කියලා.එයාලත් එමලි කියපු විදියටම කරලා පෙන්නුවා. මනස Stimulate කරගන්න එහෙම නැත්තන් උත්තේජනය කරගන්න මේ වගේ දේවල් ඔටිසම් දරුවන් කරන්න පුළුවන්. එමලිට චූටී රූපයක්, ලයිට් එකක් On off වෙන හැටි උනත් ප්‍රමාණවත් එයාගේ මනස උත්තේජනය කරගන්න.
එමලි මම්මාච්චිගෙ ගෙදරදි බත් හැරෙන්න වෙන කෑමක් කන්නේ එලියේ බංකුවේ ඉදගෙන. ඒකට හේතුවක් හරියටම මට කියන්න අපහසුයි. ඒක එමලිගේ නොවෙනස්වෙන පිළිවෙළක් වෙලා. ඒ වගේම තමයි එමලි ටැප් එකෙන් කෝප්පෙට වතුර පුරවනකොට ඒකේ කට ගාවටම පුරවනවා. බාගෙට පිරවුනොත් එමලිගේ මනසට ඒක අපහසුවක්. ගෙදර තියන ඕඩිකොලොන් බෝතල්වලත් චුට්ටක් අඩු උනත් වතුර පුරවලා ඒවා පිරෙන්න තියලා තියනවා.
මම්මාච්චිගෙ ගෙදර ගිහින් එමලි අද ටිකක් ලිව්වා. ඒ ලිව්වේ එයාට ඒ අවට දකින්න තිබ්බ වචන. Tv එකේ ගහලා තිබ්බ Brand name එක ලිව්වා ” Hisense” කියලා ඒක බලන්.ඒ වගේම මේසේ උඩ තිබ්බ පොඩි කාර්ඩ් දෙකක ඒ තිබ්බ වචන බලාගෙන ලිව්වා.
එමලි සමහර වෙලාවට එයාගේ noise cancelling headphones දෙක දාන්නේ සද්ද ඇහෙනවටම නෙමේ. ඒක එයාට යම් පහසුවක්, සනීපයක් ඇති කරන නිසා. ඉතිං මම්මාච්චිගෙ ගෙදරත් වැඩි වෙලා headphones දෙක දාගෙන හිටියා. සමහරු මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ලොකු වෙනකොට එමලිට ශබ්ධ අවම කරන headphones අවශ්‍ය වෙන එකක් නැද්ද කියලා. ඒකට උත්තරය තමයි හරියට අපි දරුවෙක්ගේ ඇස් පෙනීම දුර්වල නං ඇස් කණ්නාඩි පාවිච්චි කරනවා වගේම දෙයක් තමයි ශබ්ධයට අධි සංවේදී ඔටිසම් දරුවන් ඒක පාලනය කරගන්න පාවිච්චි කරන noise cancelling headphones කියන්නෙත්. අපි ඇස් කණ්නාඩි දාන දරුවන් දිහා බලලා කියන්නේ නෑ නේ ඔය දෙක ගලවලා බලන්න හෝ කවදාහරි ඔය කණ්නාඩි දෙක නැතුව ඔයාට ඉන්න පුළුවන් වෙයිද කියලා. අන්න ඒ වගේ තමයි Headphones දෙකත්. මේවා ගැටළු කරගන්න අවශ්‍ය නෑ.
ඉතිං එමලි අද පුංචි එක්ක පිටිපස්සේ වෙළට ගිහින් ටිකක් වෙලා ඉදන් ඉදලා සැර නැති මිරිස් ගහෙන් මිරිස් කඩන්නත් පුංචිට උදව් කරා. මම්මාච්චිගෙ කණ්නාඩි දෙක ගලවනකොට හයියෙන් හිනා උනා. සැරින් සැරේ අපි හැමෝටම එමලි එයාගේ ෆොටෝස් ගන්න කියලා කිව්වා.ඇති වෙනකල් හැමෝම එක්ක හුරතල් වෙලා වහින්න කලින් එමලි අපිත් එක්ක ගෙදර ආවා 
