ඊයේ අපේ ගෙදර ඉන්න බලු බබෙක්ට අසනීප වෙලා වෙට් ලගට ගියා.අපි ඉතිං එමලිගේ තාත්තා බලු බබාට බෙහෙත් අරන් එනකල් වාහනේට වෙලා හිටියා. ඉස්සර එමලිට මේ වගේ Waiting කාලවල් දරාගන්න අපහසුයි. ඒත් දැන් බොහෝ දුරට ඒ අභියෝගය නං එමලිට කළමනාකරණය කරගන්න පුළුවන් මනස කලබල නොවී. අපි එහෙම ඉන්න අතරේ එමලි එක පාරටම කියන්න ගත්තා ” Hello miss cube” කියලා. හෙලෝ කියනකොට අතින් පෙන්වන අංග චලනය එක්කමයි මේක කියන්න ගත්තේ. දැන් සමහර දෙමාපියන්ට හිතෙන්න පුළුවන් ඇයි දරුවා කිසිම හේතුවක් නැතුව මේ වගේ තනියම කතා කරන්නේ කියලා. මේ දේවල් අසාමාන්‍ය හැසිරීම් නෙමේ. එමලි මේ කරන්නේ එයා බලපු වීඩියෝ එකකින් පිටපත් කරගත්ත සිදුවීමක් හා ඊට අදාළ වාක්‍යක් නැවත පුරුදු වෙන එක. අපි මෙහෙම තැන් වලට කියන්නේ Language එක rehearse කරනවා කියලා. කොපි කරගත්ත පිටපතක් තමන්ගේම හැඩය එක්ක හැඟීම් එකතු කරලා නැවත නැවත කියලා හුරු වෙනවා. හරියට ඩ්‍රාමා එකක දෙබස් කට පාඩම් කරනවා වගේ. පිටතින් බලන් ඉන්න අපිට පේන්න පුළුවන් දරුවා කිසිම තේරුමක් නැතුව කතා කරනවා වගේ. ඒත් මේ දේවල් ඔටිසම් දරුවන්ගේ භාශාව සංවර්ධනය වෙන ගමනේ ඉතාම Positive සළකුණු.

මම එමලි වගේම Hello කිව්වම එමලිට ලොකු හිනාවක් ගියා.එමලි ඒ කතා කරේ මට නෙමේ උනත් එමලිට සතුටක් එයා කියන දේ මට තේරුන නිසා. ඒත් එක්කම එමලි බෝල පාස් කරන වෙලාවේ ” Oops ” කියලා අපිට කියන්න කියනවා. අපි ඒක ආයේ කියනකොට එමලිට සතුටුයි. ඒකට හේතූ කීපයක් තියෙන්න පුළුවන්. එකක් තමයි එමලි ඒ වචනය පිටපත් කරගත්ත සිදුවීම හෝ අවස්ථාව ආයේ එමලිට මතක් වෙන එක.අනික් එක ඒ වචනය නැවත නැවත රිපීට් කරන එකෙන් සහ අපෙන් ඒ වචනය ආයේ ඇහෙන එක හරහා එමලිගේ ස්නායු උත්තේජනය වෙනවා. ඒ කියන්නේ සතුටක් දැනෙනවා. ඒ වගේම ඒක බෝලය පාස් කරන අවස්ථාව එක්ක එමලිට කොහොම හරි සම්බන්ධයක් ඇති.ඒකයි අපි ඔටිසම් දරුවන් කියන හැම වචනයකටම, ශබ්ධයකටම , වාක්‍යයකටම තේරුමක් තියනවාය කියන්නේ.

ඔටිසම් දරුවන් ඉන්නේ තමන්ගේම ලෝකයක කියන කතාව මීට අවුරුදු 20කටත් එහා අතීතයේ අනුමාන කරපු දේවල්. ඒත් ඒක සම්පූර්ණයෙන්ම වැරදී කියන එක නව දැනුම හරහා ඔප්පු වෙලා තියනවා. ගැටළුව තමයි ඔටිසම් දරුවන් දකින සහ දැනෙන ලෝකය වටහා ගන්න වැඩිහිටියන් අපොහොසත් වීම. ඒ වගේම තමයි දරුවා අපිත් එක්ක සම්බන්ධ නොවෙන්නේ දරුවා තුළ තියන යම් වරදක් හෝ අඩුවක් හැටියට දකින එකත්. ඒකත් නිවැරදි වෙන්න ඕනේ දරුවාගේ හැඩය වටහාගෙන දරුවා සමඟ සම්බන්ධ වෙන්න වැඩිහිටියන් අපොහොසත් වීම කියලා.

දරුවා නොනවත්වා එකම ක්‍රියාවක් කරනවා නම් ඒ ක්‍රියාවෙන් දරුවාට හෝ අනෙකාට හිරිහැරයක් නැත්තන් ඒක නතර නොකර දරුවාගේ ක්‍රියාව හරහා සම්බන්ධ වෙන්න. අපි එමලි එක්ක එයාගේ Play වෙනස් නොකර ඒවාට එකතු වෙනවා. එමලි කටින් කරන හැම ශබ්ධයක්ම ආයේ රිපීට් කරනවා. ඒ ශබ්ධ හරහා අපි එමලි එක්ක සම්බන්ධ වෙනවා. Stimming හරහා සම්බන්ධ වෙනවා.

මේ හැම දෙයක්ම අපිට ප්‍රායෝගිකව පහසු දේවල් නොවෙන්නත් පුළුවන්. එමලි මෑතකදී ඉදන්ම ගෙදර තියන අක්කගේ ලොකු Keyboard එකේ Music එකක් Auto play වෙන්න දෙනවා.උදේ ඉදන් රෑ එමලි නින්දට යනකල්ම ගේ ඇතුලේ ඒක Play වෙනවා. මම ඒක off කරනකොට තප්පර ගානකින් එමලි ඒක ආයේ දානවා. ඒ හරහා එමලිගේ මනස සන්සුන් වෙනවා කියන එක මම දන්න කාරණයක් උනත් මට ඒ music එක දවසෙම Play වෙන එක දරාගන්න හරිම අපහසුයි. නිකන් Musical show එකක් අස්සේ එලියට එන්න විදියක් නැතුව හිර වෙලා වගේ. ඒත් ඒ අතරේ එමලි අඳිනවා Music notes. ඒවා පෙන්නලා මේ මොකක්ද කියලා ඇහුවම එමලි කියනවා ” Songs ” කියලා. එමලිගේ මනසේ සංගීතය ලස්සන මැප් එකක් , Pattern එකක් වගේ ඇඳිලා ඇති කියලා මට හිතෙනවා. ඒ නිසා මම එමලිට පොඩි Keyboard එකකුත් අරන් දුන්නා. දැන් ගෙදර Keyboard දෙකක් උදේ ඉදන් රෑ වෙනකල් play වෙනවා. මම ඉතින් කොහොම හරි මේ සද්ද දරාගෙන ඉන්නවා. වැදගත් වෙන්නේ එමලි එයාගේ මනස සන්සුන් කරගැනීම හරහා කුසලතා සංවර්ධනය කරගැනීම.

ඊයේ එමලි එයාගේ එක බෝනික්කෙක් හෙව්වා Doll කියලා.එයා ඒක කියපු විදියට මට මුලින්ම හිතුනේ කාමරයක දොරක් අරින්න ඕනේ වෙලා Door කියනවා කියලා. ඒත් මට එයා කියපු දේ තේරුනේ නෑ කියලා එමලිට තේරුන ගමන් එයා මට කිව්වේ ” D is for doll “. කියලා. එමලි එයාට පුළුවන් උපරිමයෙන් උත්සාහ ගන්නවා අපිත් එක්ක සන්නිවේදනය කරන්න සහ එයාට අවශ්‍ය දේ අපිට තේරුම් කරලා දෙන්න. මේ උත්තේජනය එන්නේ පීඩාවක් නැති පරිසරයක් දරුවාට නිර්මාණය කරලා දුන්නම.

මුල් සබැඳිය : පීඩාවක් නැති පරිසරයක්