” මගේ නම එමලි ” කියලා එමලිට එයාව හඳුන්වා දෙන්න මම අවුරුදු එකහාමාරක් පුරාවට එමලිට එයාගේ නම Model කරලා පෙන්නුවා. ගොඩක් අයට ඉතාම කුඩාම දේවල් කියලා පේන දේවල් අපේ ජීවිත වල ඒ තරම් සරල දේවල් නෙමේ. Muppets ලා අත් දෙකේ දාගෙන එමලිට පේන්න එක Muppet කෙනෙක් නම අහනකොට අනික් කෙනා “මගේ නම එමලි” කියලා කියනවා. මේ වගේ එක එක ක්‍රම හරහා ඒක Model කරා . සමහර පුංචිම දේවල් වලට උනත් ගත වෙන්න පුළුවන් කාලය තීරණය වෙන්නේ අපි දෙන සහය මතම නෙමේ. දරුවගේ ස්නායු විවිධත්වය මත. ඉතිං එමලි දැන් මම ඔයාගේ නම මොකක්ද කියලා ඇහුවම ” My name is Emily ” කියලා කියනවා. නම අගට Samsung කියලත් එකතු කරනවා.
ඒ වගේම තව දෙයක් තමයි Point කරන එක. ඔටිසම් දරුවන්‍ට ( හැමෝටම නෙමේ) යමකට Point කරලා පෙන්නන එක ටිකක් අභියෝගීකාරී දෙයක් වෙන්න පුළුවන් .එමලිට අවුරුදු හතයි. මට හරියටම කියන්න පුළුවන් එමලි Point කරපු වාර ගණන සහ අවස්ථාවන්. පැහැදිලිව Point කරපු වාර ගාණ දෙකයි. එක අවස්ථාවක් තමයි ගෙදර එළියේ ටෙලිෆෝන් වයර් එක උඩ හිටපු කුරුල්ලෙක්ට. අනික් එක Bathroom එකේ බිත්තියේ හිටපු මකුළුවෙක්ව පෙන්නලා. ඒ තරමටම මේ Point කිරීම එමලිට අභියෝගයක්. ඔටිසම් දරුවන්ට මේ අභියෝගය ඇති වෙන්න හේතු කීපයක් තියෙන්න පුළුවන්.
1) යමකට Point කරලා පෙන්වන එක හෝ Point කිරීම අපිට ඉතාමත් සරල කුසලතාවයක් කියලා පෙනුනට ඒක කරන්න නම් System ගොඩක් එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ. උදාහරණයක් විදියට දරුවා මුලින්ම ඒ අදාල වස්තුව දකින්න ඕනේ.ඊට පස්සේ ඒක එයාට අර්ථවත් දෙයක් වෙන්න ඕනේ. කොහොමත් අපි අපිට අදාළ නැති දේවල් වලට Point කරලා පෙන්වන්නේ නෑ නේ. එතනින් එහාට දරුවා ඒ අදාළ වස්තුවට Point කරන්න අතේ අනික් ඇඟිලි නවලා එක ඇඟිල්ලක් තනි කර ගන්න ඕනේ.ඊටත් පස්සේ ඒ අදාළ වස්තුව තියෙන ඉඩට ඇඟිල්ල දික් කරලා ඉලක්ක කරන්න ඕනේ. ගොඩක් ඔටිසම් බබාලට මෙන්න මේ පියවරයන් ටික කළමනාකරණය කරගන්න වෙලාව යනවා.Point කරන්න ඕනේ කියන අදහස / උවමනාව තිබ්බත් ශරීරයට ඒක organize කරගන්න අපහසු වෙන්න පුළුවන්.
2. Motor Planning සහ ශරීරය සම්බන්ධව තියන දැනීමත් Point කරන්න උවමනා වෙනවා. සමහර ඔටිසම් දරුවන්ට තමන්ගේ ශරීරය මේ අවකාශය තුළ චලනය වන්නේ කොහොමද කියන එක ගැන දැනීම අවම වෙන්න පුළුවන්. ඒ නිසාම අතේ අනික් ඇඟිලි නවාගෙන එක ඇඟිල්ලක් විතරක් ඉස්සරහට ඉලක්ක කරන්නේ කොහොමද කියන එක එයාලට ගැටළුසහගත වෙන්න පුළුවන් . මේ නිසා තමයි සමහර වෙලාවට අපිට දකින්න පුළුවන් ඔටිසම් දරුවන් සම්පූර්ණ අතින්ම යම් වස්තුවක් පෙන්වනවා. එක්කෝ ඒක අත් දෙකෙන්ම අල්ල ගන්නවා. ඒ වස්තුව තියන තැනට ගිහින් ඉදගන්නවා. එහෙම නැත්තන් අම්මගේ හෝ තාත්තගේ, ගුරුවරියෙගේ අත අල්ලන් ඒ අදාළ වස්තුවට යොමු කරනවා. එහෙම තමයි එමලි මේ තරම් කාලයක්ම කරේ. මගේ අත අල්ලන් එයාට අවශ්‍ය දේට මගේ අත Point කරන එක. ඒක එයාට පහසුවක්. හේතුව එයාගේ ඇඟිල්ල දික් කරලා Point කරන එක එයාට අභියෝගයක් නිසා.
3. සංවේදන සංවේදීතා වෙනස, සමහර දරුවන්ගේ සංවේදන සංවේදීතාවයේ හැඩය මත තමන්ගේ ඇඟිලි ඉතාමත් සංවේදී වෙන්න පුළුවන්. දැනෙන කුඩා ස්පර්ශය පවා ඉතාමත් සංවේදී සහ හිරිහැරයක් වෙන්න පුළුවන්. තවත් දරුවන්ට ඇඟිලි වල සංවේදනය ඉතාමත් අවම වෙන්න පුළුවන්.ඒවා වල චලනය වීම නොදැනෙන්න පුළුවන්. ඒ නිසා Point කරන්න ඇඟිල්ලක් දික් කරන එක කරන්න අපහසු දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ චලනය Comfortable දෙයක් විදියට මොළයට දැනෙන්නේ නැත්තන් මොළය උත්සාහ කරනවා ඒක ප්‍රතික්ෂේප කරන්න..
4. වැදගත්ම කාරණය තමයි දරුවා වටහා ගන්න ඕනේ ඒ Point කිරීම , ඒ අංග චලනය අනෙකා වටහා ගෙන ඒ ඉලක්ක කර පෙන්වන දේ Follow කරනවා කියන එක. මෙන්න මේ අංගචලන සහ ( Gestures ) එකම දේකට අවධානය බෙදා ගැනීම කියන දැනීම ( shared attention concept ) සංවර්ධනය වෙන හැඩය ඔටිසම් දරුවාගෙන් දරුවාට වෙනස් වෙන්න පුළුවන්. සමහරු ටික කාලයක් ගිහින් ඒක තේරුම් ගන්නවා.තවත් අය ඒක වෙන විදියකින් ප්‍රකාශ කරනවා. මේ වෙන විදියකින් ප්‍රකාශ කරනවා කියන්නේ තමා ලග ඉන්න කෙනාගේ අතින් ඇදලා ඒ අදාළ වස්තුව මත තියනවා වගේ ක්‍රමයන්. එහෙම නැත්තන් අදාළ වස්තුව අරන් ඒ කෙනාගේ අතේ හෝ උකුළේ තියන එක.
5 ) වැඩිහිටියාගේ අත අරන් අදාළ වස්තුව දිහාට ඉලක්ක කරන එක හෝ ඒ අදාළ වස්තුව මත තියන ක්‍රමය නිතරම ඔටිසම් දරුවන්ට සාර්ථක ක්‍රමයක්. ඒක වැඩිහිටියා නොසලකා හැරියොත් දරුවාගේ මනසට යන්නේ තමන්ගේ සන්නිවේදන ක්‍රමය වැඩිහිටියා විසින් ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒ නිසා කිසිම වෙලාවක ඒක ප්‍රතික්ෂේප නොකර දරුවාට සහය දෙන්න ඕනේ. මේ Point කරන එක දරුවාට අමතර ප්‍රතිලාභයක් කියන එක ඒත්තු ගැන්වෙන්න ඕනේ.
6) බහුතරයක් අය කරන්නේ Point නොකරන හෝ Eye contact නොදෙන දරුවන්ට දේවල් පෙන්නලා ” මේ මොකක්ද ” කියලා අහලා දරුවගේ අතත් අරන් ඒ වස්තුවට තියන එක.මේක දරුවාට මානසික පීඩාවක් කියන එක නව දැනුම හරහා ඔප්පු වෙලා තියනවා. ගොඩක් වෙලාවට දරුවා අවධානය දෙන හැඩය දෙමව්පියන්ට වටහා ගන්න අපහසු වෙන්න පුළුවන්. දරුවගෙ Attention system එක ක්‍රියා කරන්නෙ වෙනස්ම හැඩයක් කියන එක මුලින්ම තේරුම් ගන්න.
7) ඒ වගේම තමයි සමහර දරුවන් වඩාත් ගැඹුරින් හිතන්නේ. අපි නොහිතන පරාසයකට ඔවුන් ලෝකය දකිනවා සහ ඒ ගැන හිතනවා ( High internal processing). ඒත් අවට ලෝකය තමන්ට ආරක්ෂිත සහ පහසුයි කියලා තහවුරු වෙනතාක් කල් ප්‍රතිචාර දක්වන්න උත්සාහ ගන්නේ නෑ.
එමලි මෙච්චර කාලයක් මාව තමයි එයාගේ සන්නිවේදන පාලම විදියට පාවිච්චි කරේ. එයාට අවශ්‍ය ඕනේම දෙයක් මගේ අත අල්ලන් ඒ හරහා තමයි Point කරේ සහ අදාළ දේවල් මත තිබ්බේ. මෙහෙම තියන කොට මම නිතරම ඒ අදාළ දේ එයාට හඳුන්වා දුන්නේ ප්‍රශ්නය සහ උත්තරය කියන දෙකම එකට එකතු කරලා. උදාහරණයක් විදියට එමලි අඹ ගෙඩියකට මගේ අත අල්ලලා තියනවා නං මම එයාට ඒක හදුන්වලා දුන්නේ ” What is this? It’s a mango” කියලා. කාලයක් මේ විදියට කරනකොට ප්‍රශ්නයක් අහන්නේ කොහොමද කියන එක එමලි තේරුම් ගත්තා. ඒකෙන් එයාට ලොකු පහසුවක් උනා එයා නොදන්නා දේවල් පෙන්වලා අපෙන් අහලා දැනගන්න. ඊට පස්සේ එමලි මගේ අත අරන් අදාළ දේට තියලා ” What is this” කියලා අහන්න පටන් ගත්තා. මම උත්තරය කිව්වම එයා ඒ වචනය එකතු කරලා එයාට අවශ්‍ය දේ ඉල්ලනවා. ඒත් එමලි කිසිම වෙලාවක එයා ස්වාධීනව Point කරලා පෙන්වන්න උත්සාහ ගත්තේ නෑ. ඒත් මම නිතරම එමලිට Point කරන එක Model කරලා පෙන්නුවා.
දැන් එමලිගේ Special interest එක පාවිච්චි කරලා මම ටිකක් වෙනස් විදියකට මේ Point කිරීම එමලිට Model කරන්න ගත්තා. මේක කොහොමද කරේ කියලා මම කියන්නං.
එමලි මේ දවස් වල නිතරම ඉන්නේ මගේ ලගමයි. ඒකට හේතුව අපි දෙන්නා එකතු වෙලා Google එකේ එක එක Brand names Search කරලා ඒ Images බලනවා.ඊට පස්සේ ඒ ඒ Brand වල වොශින් මැශින්,ෆෑන්, ෆෝන්ස් හොය හොයා බලනවා. ඒ ඒ Brand වල ෆෝන්ස් Restart කරන වීඩියෝ බලනවා. දැන් එමලි කියනවා මට Nokia,Samsung , MI ,huawei කියලා. එතකොට මම එයාට පේන්න Google ගිහින් Phone Brands කියලා Search කරාම එක පොදියට මහා දිග Phone brands list එකක් එනවා. අන්න ඒ Images බලලා එමලි මගේ අත අරන් Screen එකේ එයාට දැනගන්න ඕනේ Brand logo එකට මගේ ඇඟිල්ල තියලා අහනවා ” What is this” කියලා. ඒ අවස්ථාවේ මම හරිම හෙමින් මගේ අත වෙනුවට එමලිගේ අත අරන් එයාගේ චූටී දබරැඟිල්ල එතන්ට තියලා ඒ Brand name එක කියනවා. මෙන්න මෙහෙම තමයි මම එමලිට ඔයාටත් පුළුවන් අම්මගේ අත ගන්නේ නැතුව බය නැතුව Point කරන්න කියලා පෙන්වලා දුන්නේ. ඒක බල කිරීමක්වත් ,දරුවා අකමැති දේවල් පෙන්නලා එයාගේ අත අරන් ඉලක්ක කිරීමක්වත් නෙමේ. දරුවා වඩාත් කැමතිම දෙයක් හරහා Point කිරීමට සහය දෙන එක සාර්ථක වෙන්නේ අපි ඒ Point කරන්නේ දරුවාට Meaningful වෙන දේකට.
ඉතිං දැන් එමලි හෙමින් Point කරන්න පටන් අරන් තියෙන්නේ එයාට සමීප දේවල් වලට. මගේ අත අල්ලන් ඒ හරහා Point කිරීම හෙමින් අඩු වෙලා ගියා මේ දවස් කීපය ඇතුලත.මට ඒ ගැන සතුටුයි. ගේ පුරා ගිහින් Fan එකේ , Kettle එකේ Brand logo එකට එයාගේ පොඩි ඇඟිල්ල දික් කරලා මගෙන් අහනවා ” What is this?” කියලා
. ඉතිං එමලි එයාගේ මනසට කිසිම පීඩාවක් නැති Support system එකක් ඇතුළේ එයාගේ අභියෝග පහු කරන හැටි මම බලන් ඉන්නේ ලොකු සතුටකින්.
