අද එමලිට එයාගේ යාළුවෙක් මුණ ගැහුනා. මේ යාලුවගේ අම්මයි මමයි අඳුරගත්තේ 2022 දී. අද තමයි අපිට මුණ ගැහෙන්න පුළුවන් උනේ. එමලි ඔටිසම් කියලා තහවුරු උනාට පස්සේ කාලයක් යනකල් මම ඔටිසම් ගැන මට තිබ්බ ප්‍රශ්න වලට උත්තර හෙව්වා. ඒ කාලේ මට පිටරට ගෲප් එකක පෝස්ට් එකකට කමෙන්ට් කරපු සමාලිව හම්බුනා. එදා ඒ සම්බන්ධ වීමෙන් අපි තවත් ඔටිසම් දරුවන්ගේ දෙමාපියන් අදුරගත්තා. එතනින් පස්සේ තමයි පේජ් එකයි ගෲප් එක පටන් ගත්තේ. ඉතිං අද තමයි සමාලිගේ දුවයි එමලියි එකට හම්බුනේ. එමලි කලින්ම මම්මාච්චිගෙ ගෙදර ගිහින් බලන් හිටියා එයාගේ යාලුවා එනකල්. මම එමලිට ඊයේ රෑ ඉදන්ම කිව්වා අපි හෙට මම්මාච්චිගෙ ගෙදර යන්නේ ඔයාගේ යාලුවෙක් බලන්න කියලා. සමාලිගේ දුව නේහා නං කොහොමත් එමලිගේ වීඩියෝස් ,ෆොටෝස් වලින් එමලි ගැන දන්නවා.

ඉතිං දෙන්නා දෙන්නාගේ හැඩයෙන් එකට සම්බන්ධ වුන එක බලන් ඉන්න ආස හිතුනා. දෙන්නම දෙන්නා එක්ක වැඩිය කතා කරේ නෑ. නේහා එමලිට Hi කිව්වා. එමලිට ස්ටිකර්ස් ගොඩක් ගෙනල්ලා තිබ්බා. එමලි නේහාගෙන් එයාගේ ෆෝන් එක ඉල්ලුවා රීස්ටාර්ට් කරන්න😅.මම කිව්වා නේහට ෆෝන් එකක් නෑ කියලා. පස්සේ දෙන්නම මම්මාච්චිගෙ ගෙදර ඉන්න ඉබ්බො තුන් දෙනාට බණ්ඩක්කා කවන්න හැදුවා. ස්ටිකර්ස් ඇලෙව්වා. ලිව්වා. නේහා පූසන්ව ඇල්ලුවා.උන් දිහා බලලා සතුටින් හිනා උනා.

නේහයි එමලියි එකම වයසේ. නේහා ඉස්කෝලේ යනවා.එමලි Homeschooling. දෙන්නගෙම වාචික සන්නිවේදන හැඩයේ ඉදන්ම එකිනෙකට වෙනස්. නේහා පොත් කියවන්න හරි ආසයි. නේහා පොත් කියවන අස්සේ එමලි Samsung ,Nokia ,LG කිය කියා වටේම ඇවිද්දා. මගේ අත අරන් ගිහින් නේහාගේ අම්මට Point කරලා මේ කවුද කියලා ඇහුවා. මම කිව්වා සමාලි ආන්ටි කියලා. ඉතිං සමාලි ආන්ටිගේ ෆොන් එක ඉල්ලුවා රීස්ටාර්ට් කරන්න😅. නේහාගෙ තාත්තාගෙ ෆෝන් එකත් ඉල්ලුවා රීස්ටාර්ට් කරන්න.

ඔටිසම් දරුවන්ට ඔටිසම් නොවන දරුවන් එක්ක සම්බන්ධතා පවත්වනවාට වඩා පහසුයි ඔටිසම් දරුවන් එක්ක සම්බන්ධකම් පවත්වන්න. මේක මුලින්ම කිව්වේ Damian Milton. ඒ එයා හදුන්වා දුන්න Double Empathy Problem කියන තියරි එක හරහා.මම ඒ ගැන පේජ් එකෙයි වෙබ් එකෙයි ලියලා තියෙන්නේ. ඒකෙන් සරළවම කියන්නේ ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් ආකාර දෙකකින් අත්දකින පුද්ගලයින් දෙදෙනෙක් අතර ඇති වෙන සම්බන්ධතාවයට වඩා ලෝකය එකම ආකාරයෙන් අත්දකින පුද්ගලයින්ගේ සම්බන්ධතා ඉතා පහසුයි කියන එක. අන්න ඒක මම අද පලවෙනි වතාවට දැක්කා මේ දෙන්නගෙන්.

 නේහටත් එමලි එක්ක වාහනෙන් රවුමක් යන්න ඕනේ කිව්වා.ඉතිං පාරේ උඩට යනකල් නේහා අපිත් එක්ක ආවා.හැබැයි මගදි ආයේ අම්මව හෙව්වා.🤭

දෙන්නට දෙන්නා ඉතාමත් සාමකාමීව ගනුදෙනු කරේ. ඒ යාලුකම මම හිතනවා එමලිගේත් නේහාගේත් ජීවිත කාලය පුරාවටම තියෙන්න ඕනේ කියලා.❤️

මුල් සබැඳිය : එමලි හා නේහා