එමලි දාගෙන ඉන්න Headphones ගැන ප්‍රශ්න නිතරම මතු වෙන නිසා මම හිතුවා ටිකක් ඒ ගැන පැහැදිලි කරගන්න.
ඔටිසම් දරුවන් මූණ දෙන අභියෝග විශාල පරාසයකට විහිදිලා තියනවා. අන්න ඒ සමහර අභියෝග කළමනාකරනය කරගන්න දේවල් තියනවා.ලංකාවට මේක ටිකක් නුහුරු වෙන්නේ ලංකාවේ මේවා ගැන දැනුවත් වීම අවම නිසා. මේ නිසා දෙමාපියන් විදියට අපි මූණ දෙන එක ගැටළුවක් තමයි දරුවන්ට අවශ්‍ය දේවල් මිලදී ගන්න ලංකාවේ තැන් නැති වීම. ඒ වගේම තමයි මේ සම්බන්ධව තියන අවම දැනුවත් වීම නිසා බහුතරයක් ඔටිසම් දරුවන්ට සහ පුද්ගලයින්ට ඔවුන්ගේ යම් යම් අභියෝග කළමනාකරණය කරගන්න අවශ්‍ය දේවල් නොලැබී යනවා.
අපි පිළිවෙළට මේ අවශ්‍ය දේවල් මොනවද සහ ඒ හරහා සිද්ධ වෙන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගමු.
1) Noise Cancelling Headphones / Ear defenders
ඔටිසම් දරුවන් සහ පුද්ගලයින් ඉන්නවා ශබ්ධ වලට අධිකව සංවේදී. මේ අධිකව සංවේදී කියන්නේ යම් ශබ්ධයන් ( ශබ්ධ තරංග) ශාරීරීක වේදනාවක් දැනෙන තරමටම අපහසුයි. උදාහරණයක් විදියට Traffic එක, පාසලේ සීනුව, කුරුල්ලන් කෑ ගහන ශබ්ධය, ෆෑන් එක , පොදු ස්ථාන වල ශබ්ධ විතරක් නෙමේ දෙන්නෙක්ගේ සංවාදයක් පවා දරාගන්න අපහසු වෙන්න පුළුවන්. ඒ වගේම මේ සංවේදන සංවේදීතාවය කාලෙන් කාලයට අඩු වැඩි වෙන්න පුළුවන්. මේ ගැටළුව නිසා ඔටිසම් දරුවන්ට සහ පුද්ගලයින්‍ට දැනෙන ශාරීරික වේදනාව , Sensory overload වීම, Anxiety , Shutdown , අවධාන අපහසුතා කළමනාකරනය කරගන්න තමයි Noise Cancelling Headphones පාවිච්චි කරන්නේ.
2) Sunglasses
තද ආලෝකය, නිවි නිවී පත්තු වෙන ආලෝකයෙන් ඇති වෙන්න පුළුවන් හිරිහැරය වළක්වා ගන්න Sunglasses පාවිච්චි කරනවා.තමන්ගේ අවශ්‍යතාවය අනුව ඒ Sunglasses තෝරාගන්න පුළුවන්.
3) Fidget toys / sensory toys
මේක ඔටිසම් දරුවන්ට වගේම පුද්ගලයින්ට තවත් එක අත්‍යවශ්‍ය දෙයක්. මනස සන්සුන් කරගෙන යම් දේකට අවධානය යොමු කරන්න Fidget toys , Sensory toys පාවිච්චි කරනවා. මේ අතරේ Chew toys / oral sensory tools තියනවා. උදාහරණයක් විදියට යම් ඔටිසම් දරුවෙක් එයාගේ oral සංවේදන සංවේදීතාවය සම්පූර්ණ කරගන්න නොයෙක් දේවල් හපනවා නම් දෙමාපියන් ඒ දරුවට දෙනවා Chew toys. එහෙමත් නැත්තන් Chew Necklace එකක් දානවා. එතකොට දරුවට පුළුවන් අහිතකර දේවල් හපන්නේ නැතුව ඒ Chew Necklace එක හපන්න.
4) Sensory Special Safe beds
සමහර ඔටිසම් දරුවන් ඉන්නවා සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ඇදවල් වල නිදාගන්න අපහසු. ඒ දරුවන්ට ඒ ඇදවල් ආරක්ශාකාරී නෑ වගේම ස්නායු පද්ධතිය සන්සුන් කරගෙන නිදාගන්න බැහැ. ඒ නිසා ඒ අභියෝගය කළමනාකරණය කරගන්න හදලා තියනවා Sensory safe beds. මේවා මිලෙන් අධික නිසා බහුතරයක් රටවල් වල Medical insurance හරහා හෝ Disability equipment funds හරහා දෙමාපියන් ඒවා ලබා ගන්නවා.
5) Protective helmets
ඔටිසම් දරුවන් ඉන්නවා ඔවුන්ගේ ස්නායු පද්ධතිය දරාගන්න අපහසු උනාම හිස තදින් බිත්ති වල හප්පගන්න සහ හිසට වැරෙන් පහරදීගන්න. එහෙම දරුවන්ට පාවිච්චි කරනවා හිස ආරක්ශා වන helmets.
6) Weighted blankets / pressure wraps
දරුවා සන්සුන් වෙන්න සහය දෙන්න යම් Pressure එකක් ඇඟට දැනෙන Weighted blankets සහ pressure wraps පාවිච්චි කරනවා.
මේ උඩ කියලා තියන දේවල් වලට අමතරව ගොඩක් දේවල් තියනවා විශේශයෙන් ඔටිසම් දරුවන් සහ පුද්ගලයින් වෙනුවෙන්ම තියන. වෙනත් රටවල් වල වෙනම කඩවල් තියනවා මේ වගේ බඩු විතරක්ම විකුණන. ඒ වගේම ඔටිසම් දරුවන්ට සහ පුද්ගලයින්ට විශේශයෙන් මහන ඇඳුම් තියනවා.ඒවල මෙටීරියල් එක ,පාට ගැනත් සැලකිලිමත් වෙනවා. ඒ ඇඳුම් වලට ටැග්ස් දාන්නේ නෑ. ඒවා ඔටිසම් දරුවන්ට හමට ගෑවෙනකොට හිරිහැරයක් නිසා.
මේ අපි කතා කරපු හැම දේම ඔටිසම් ප්‍රජාවගේ අභියෝග කළමනාකරනය කරගන්න පහසු දේවල් මිසක් Fashion items වත් නිකම්ම නිකන් Toys වත් නෙමේ. ලංකාවේ ඔටිසම් ගැන තියන දැනුවත්කම ඉතාමත් අවම නිසා ඔටිසම් ප්‍රජාවට අවශ්‍ය දේවල් නිශ්පාදනය වීමක් වත් වෙනත් රටවල් වලින් ගෙන්වීමක් පවා වෙන්නේ ඉතාමත් අඩුවෙන්. ඉතිං ඔටිසම් දරුවන්ගේ දෙමාපියන් විදියට අපි මූණ දෙන එක ගැටළුවක් තමයි අපේ දරුවන්ට අවශ්‍ය දේවල් ලංකාවෙන් හොයාගන්න අපහසුවීමත් අපේ දරුවන් අභියෝග කළමනාකරණය කරගන්න පාවිච්චි කරන දේවල් ගැන එල්ල වන නොනවත්වා ප්‍රශ්ණ කිරීම් වලට මූණ දීමත්.
