අපේ ගෙදර තාම Repair කරන වැඩ ටික වෙනවා.ඉතිං මේ වගේ ජීවත් වෙන ගෙදරම අපි ඉන්නකොට Repair කරගෙන යන එක ඉතාම අපහසු වැඩක්. බඩු හැම තැනම Box වල තැනින් තැන. නිතරම දූවිලි හැම තැනම. මිනිස්සු එහා මෙහා යනවා. Environment එක පොඩ්ඩක්වත් සාමකාමී නෑ. ඒත් අපි හිතුවෙ නැති විදියට එමලි පුදුමාකාර සතුටකින් තමයි වෙනස් වෙන ගෙදර දිහා බලන් ඉන්නේ. හේතුව එයාගේ මනසට ගැළපෙන විදියට තමයි ගෙදර වෙනස් වෙන්නේ. දැන් මේ වැඩත් එක්ක මම එමලි එක්ක උදේ ඉඳන් සැරින් සැරේ එයාගේ Logo quiz Game එකත් Play කරනවා. අපි Logos වල නම් Google එකෙන් හොය හොයා පුරවනවා. එමලි ටිකක් කරනවා.මම තව ටිකක් කරනවා. ඒ අතර එමලිට කම්මැළි නොහිතෙන්න මම බැලුන්, playdough එහෙම ගෙනල්ලා දීලා නිතරම එමලිට Play කරන්න ඉඩ හදලා දෙනවා.

එමලි කවදාවත් පෙර පාසලකින් ඉගෙන ගත්තේ නැති බබෙක්. ඒ වගේම මේ වෙනකොටත් එමලි ඉගෙන ගන්නේ ගෙදර. මුල ඉඳන්ම මමයි එමලිගෙ තාත්තයි තමයි එමලිගේ හැඩයට ගැළපෙන්න එමලිට පීඩාවක් නොවෙන්න දැනුම දෙන්නේ. දැන් මම අලුතින් පේජ් එකට එකතු වුන අයට එමලිගේ හැඩය ආයේ ටිකක් කියලා ඉන්නම්.එතකොට මම මේ කියන්න යන දේවල් ඔයාලා එක්ක බෙදාගන්න තරමට මට කොයිතරම් සතුටක් තියනවාද කියන එක ගැන ඔයාලට තේරුම් ගන්න පුලුවන්.

එමලිව ගොඩක් ඇකඩමික් ආයතන වලින් ප්‍රතික්ෂේප උනා. ඒකට හේතුව එමලි ඔටිසම් හයිපරැක්ටිව් බබෙක් නිසා. පළවෙනි දවසෙ එමලිව දකින ඕනේ කෙනෙක් අනිවාර්යයෙන් හිතන දෙයක් තමයි ඇස් දිහා බලන්නේ නැති, අහන දෙයක් ඇහෙන්නේ නෑ වගේ ඉන්න, පොඩි මීයෙක් වගේ හැම තැනම දුවන වාචික සන්නිවේදනය අසීරු දරුවෙක්ට අපි කොහොමද උගන්වන්නේ කියලා. ඒ නිසා ගොඩක් අය යෝජනා කරේ එමලිට උගන්වන්න නම් එක තැන පුටුවක ඉන්දලා තියන්නම ඕනේ කියලා. ඒ නිසා ඒකට Stimulant drugs දෙන්න ඕනේ කියලා. ඒ යෝජනා කිසිම දේකට මම කැමති උනේ නෑ.හේතුව මට අවශ්‍ය නැහැ එමලිට බෙහෙත් දීලා එකතැනක තියන්න. එහෙම එක තැනක ඉඳන් නෙමේ එමලි ඉගෙන ගන්නේ. එයා ඉගෙන ගන්නේ චලනය වෙන ගමන්.දුවන ගමන්.ජනෙල් උඩ , ඇඳ විට්ටම උඩ නැඟලා ඉන්න ගමන්. වත්ත පුරාම දුවන ගමන්. එමලි එහෙම කරන්නේ එයාට එයාගේ මනස සහ ශරීරය සන්සුන් කරගන්න.ඒ නිසා එමලිට උගන්වන වගකීම මම බාරගත්තා.

එමලිගෙයි මගෙයි අතර සාම්ප්‍රදායික හැඩයේ සංවාද ඇති වෙලා නෑ. ඒ නිසා වෙන අම්මා කෙනෙක් තමන්ගේ දරුවගේ දැනුම තේරුම් ගන්න උත්සාහ කරන ප්‍රශ්න මට එමලිගෙන් අහන්න බැහැ. ඒ වගේම එමලිට සමහර පරාසයන් ගැන තාම දැනුමක් නෑ. උදාහරණයක් විදියට එමලිට අදහසක් නෑ එයා ඉන්න රට, ලෝකය හෝ මේ සමාජය ක්‍රියාත්මක වෙන විදිය ගැන. ඒත් එමලිගේ එක කුසලතාවයක් තමයි ඕනේම Pattern එකක් ක්ෂණිකව හඳුනාගැනීම. මම එමලිගේ දැනුමේ පරාසය වටහා ගන්න මුලින්ම පාවිච්චි කරේ Educational toys. ඊට පස්සේ RV AppStudios ලගේ Educational Games. ඒවල සරළ Matching games එමලි Play කරා. පාට , අංක, අකුරු, රූප එකට ගැළපුවා. මේ අතරම Board books සහ අනෙකුත් Visual tools හරහා මම එමලිට දැනුම දුන්නා. දැන් දැනුම දෙනවා කියන්නේ පුටුවක ඉඳගෙන කියලා දීමක් නෙමේ. එහෙම එමලි එක්ක කරන්න අමාරුයි. මට එමලිට කියලා දෙන්න බෑ පොතක් පෙන්නලා මේ බලන්න මේකේ තියන හැඩ තල වල පැති කීයක් තියනවද වගේ දේවල්. මම එමලිට උගන්වන්නේ Play විදියට. ඒ ඒ අවස්ථාවලට මම කොහොම හරි දෙයක් එමලිට තේරුම් කරලා දෙනවා එමලිට තේරෙන සරල විදියට.

 එමලිට මම පොත් ගෙනල්ලා දීලා ඒවා එමලිට දෙනවා විතරයි. ඒ පොත් වල වැඩ කරන්න ඕනේ කියලා කියන්නේ නෑ. එමලි මුලින්ම පොත් අතට අරන් ඒවා එකින් එක බලලා එමලිට කරන්න පුලුවන් පිටු වල වැඩ කරනවා.මගේ සපෝට් එක ඕනේ උනාම Help කියලා හරි නැත්තන් මගේ අත අරන් පොතේ ඒ අදාළ තැනට තියනවා. විශේෂයෙන් කියන්න ඕනේ එමලි තාම කියවන්න දන්නේ නැහැ. දැන් තමයි එමලි එයා ආස Brand names කියවන්න පටන් අරන් තියෙන්නේ. එතකොට පොතක් අතට ගත්තම ඒ පොතේ කරන්න ඕනේ වැඩේ එමලි තේරුම් ගන්නේ රූප නීරීක්ශණය කරලා. ඒ නිසා මම පොත් ගන්නකොට රූප තියන ඇක්ටිවිටි පොත් තෝරගන්නවා.

මම එමලිට සපෝට් කරන්නේ Self Studies කරන්න. තමන්ම අම්මා දෙන මූලාශ්‍ර හරහා උනන්දුවෙන් දැනුම හොයන් යන්න. ඒ නිසයි එමලි වැරදෙනවට බය නැත්තේ. එයා පොතක පිටුවක් තෝරගත්තම ඒක දිහා බලන් ඉන්නවා. ඒ රූප සටහන් දිහා බලලා තේරුම් ගන්නවා මොකක්ද කරන්න තියෙන්නේ කියලා. ඒවා කරනකොට එමලිට වැරදෙන වෙලාවල් තියනවා. ඒත් එයාම ටිකක් කල්පනා කරලා මේ වැරදෙන ඒවා ආයේ හදනවා. මේක තමයි එමලිගේ මනසට පීඩනයක් නැති එයාම දැනුම හොයාගෙන යන විදිය. එමලි වැඩ කරන්නේ එක්කො බිම.නැත්තන් ඇද උඩ.මමත් එමලි පොත අරන් යන තැනට ගිහින් ලඟින් ඉඳන් ඉන්නවා. උදව්වක් ඕනේ වෙලාවට උදව් කරනවා.එහෙම නැත්තන් නිහඬව ඉන්නවා එමලිට බාධාවක් නොවෙන්න.

මම ඕඩර් කරපු පොත් දෙකක් අද ගෙදරට ලැබුනා. දෙකම Brain Booster පොත්. එකක් 5+. අනෙක 6+. ගෙදර Repair කරන වැඩ වල කට්ටිය හිටපු නිසා එයාලා ගියාම එමලිට පොත් දෙක දෙනවා කියලා හිතලා මම ඒ පොත් අරන් තිබ්බා. කොහොම හරි ඒ තිබ්බ තැනින් එමලි පොත් දෙක අරන් මගෙන් පැන්සලකුත් ඉල්ලන් ඇඳට ගියා. ගෙදර ක්ලීන් කරලා වැඩ ටික ඉවර කරලා මම ගිහින් බලනකොට එමලි වෙන වැඩක්. ඒත් පොත් දෙකත් ඇද උඩ තිබ්බා. පස්සේ ඒවා පෙරලලා බලනකොට තමයි ඔය මම පහළ දාලා තියන පිටු එමලි කරලා තිබ්බේ. මට ඒ අතරින් වැඩිපුරම සතුටක් ආවේ හැඩතල වල පැති කීයක් තියනවද කියලා ගළපන්න කියලා තිබ්බ එක එමලි කරලා තිබ්බ විදිය දැකලා. දැන් එමලිට මේ කරන්න තියෙන්නේ මොකක්ද කියලා කියවන්න බෑ. එතකොට එයා කරන්නේ ඒක දිහා හොඳට බලලා තේරුම් ගන්න එක. වෘත්තයට Zero sides කියලත් හරියටම යා කරලා 🥹. ඉතිං මට හරි ආඩම්බරයක් ආවා එමලි ගැන. මේ දරුවා තමන්ගේ මනස සන්සුන් කරගෙන, අකුරු කියවලා තේරුම් ගන්නත් තාම දන්නේ නැතුව රූප දිහා බලලා අවශ්‍ය දේ කොහොම හරි කරලා තිබීම ගැන මට ආඩම්බරයි. මම දන්නවා එමලිගේ ඔටිසම් අත්දැකීම එයාට දරාගන්න පහසු නැහැ කියන එක. මම දන්නවා මේ පුංචි දරුවා අභියෝහ දහසක් පහු කරගෙන යමින් ඉන්නවා කියන එක. ඒ හැම දේම එක්ක එයා ආයේ ආයේ මට ඔප්පු කරලා පෙන්නනවා අම්මා එයා වෙනුවෙන් ගන්නා තීරණ වැරදි නෑ කියන එක. ඉතිං ඒකයි එමලි ගළපන එක රූපයක්, එක අකුරක්, එක ඉරි කැල්ලක් පවා අපිට පුදුමාකාර සතුටක් වෙන්නේ.

 ඉතිං දරුවෙක්ට දැනුම ලබා දෙන්න අයි කන්ටැක් අවශ්‍ය නැති බව, පුටුවක එක තැන ඉඳන් ඉන්න ඕනේ නැති බව, ළමා කාලය, සෙල්ලම් නතර කරන්න ඕනේ නැති බව එමලි මට ආයේ ආයේ තහවුරු කරනවා.

මුල් සබැඳිය : එමලි ගේ Self Studies