එමලි අද Supermarket ගියා.වෙනදා වගේම සබන් ගත්තා
. කැශියර් එක ළඟ පුටුවේ ඉඳගෙන බඩු වලට බිල් එක දානකල් ඉවසීමෙන් බලන් හිටියා. බඩු බෑග් වලට දාන්නත් උදව් කරා.ගෙදර ඇවිල්ලා මුලින්ම කරේ සබන් කැට වල කවර ගලවලා ඒවල සුවඳ බලලා ඒවා පේලියට තිබ්බ එක.
මට මේකත් එක්ක කියන්න ඕනේ දෙයක් තියනවා.සමහර අම්මලා ටිකක් හිත කරදර කරගන්නවා දරුවන්ගේ හැසිරීම දිහා මිනිස්සු බලන එක ගැන. ඔටිසම් දරුවන්ගේ විවිධ හැසිරීම් තියනවා.විශේෂයෙන් පොදු ස්ථාන වලට ගියාම ඒ ස්ථානය දරාගන්න පහසු වෙන්න දරුවා අත් දෙක හොල්ලන්න පුළුවන්.කටින් ශබ්ද කරන්න පුළුවන්.කැරකෙන්න පුළුවන්.මේවා Stimming කියලා අපි කියනවා. මේ දේවල් හරිම සාමාන්‍ය දේවල්. ඒත් හැමෝම මේවා ගැන දන්නේ නැති නිසා අවධානෙන් බලනවා දරුවන් දිහා. ඒකට හිත කලබල කරගන්න එපා. ඔයාගේ අවධානය දරුවට දෙන්න. දරුවට සහය දෙන්න ඒ අවස්ථාවන් වලදී. මම කොහේ ගියත් මට අවට ගැන කිසිම උනන්දුවක් නෑ. මම උනන්දු වෙන්නේ එමලි ගැන. Supermarket එකෙත් එහෙමයි. අපි එමලිට දේවල් කියලා දෙනවා. බඩු ගන්න ඕනේ ප්‍රමාණය කියනවා. සමහර බඩු අපිට අවශ්‍ය නෑ කියලා එමලිට කියලා දෙනවා.මේක නිකන් හරියට දරුවව අධ්‍යාපන චාරිකාවක් අරන් ගියා වගේ තමා. එතකොට මගේ අවධානය යොමු වෙන්නේ නෑ අපි දිහා කවුද බලන්නේ කියන එක. අපෙන් කාටවත් හිරිහැරයක් නැත්තන් එතනින් එහාට අවට පුද්ගලයින්ගේ අවධානය ගැන අපි ලත වෙන්න ඕනේ නෑ.
මම කොහේ ගියත් මට උදව්වක් ඕනේ උනොත් ළඟ ඉන්න අයගෙන් ඉල්ලන්න මම පැකිලෙන්නේ නෑ. කැශියර් එක ළඟ තිබ්බ හිස් පුටුවෙත් එමලිට ඉදගන්න ඉඩ හදලා දීලා එමලිට බලන්න අවස්ථාවක් දුන්නා කොහොමද බිල දාන්නේ කියලා. අනාගතයේ දවසක එමලි අපේ උදව් නැතුව මේ වගේ අවශ්‍ය බඩු ගන්න ඕනේ. ඉතිං මේ වගේ දේවල් දරුවට පෙන්නලා දෙන්න, සමාජයේ විවිධ පරිසරයන් දරුවට හඳුන්වා දෙන්න නං අපිට සිද්ධ වෙනවා දරුවාගේ විවිධත්වය ඉතා සාමාන්‍ය ස්වාභාවික හැඩයක් කියන එක මුලින්ම අපේ මනසට වටහා දෙන්න. එතනින් එහාට ඕනේම තැනකදී අවශ්‍ය උනාම ඕනේම කෙනෙක්ට පැහැදිලිව දරුවගේ විවිධත්වය පැකිලෙන්නේ නැතුව විස්තර කරලා දෙන්න. අපි මේ ගැන කිව්වේ නැත්තන් මිනිස්සු කොහොමත් දැනුවත් වෙන්නේ නෑ. අපේ වගකීම තමයි දරුවට සහය දෙන ගමන් සමාජය දරුවගේ විවිධත්වය ගැන දැනුවත් කරන එක.
