එමලි මේ දවස් වල Baby cologne එකතු කරනවා. පුදුම ආසාවක් තියෙන්නේ ඒවා එක එක පාටින් සහ Brands වලින් ගොඩ ගහන් ඉන්න. ඒවා දාගන්න මම පොඩි බාස්කට් එකක් දුන්නා. රෑට නිදාගන්නේ ඒ බාස්කට් එකත් ලඟ තියන්. වෙලාවකට ඒවා ඇඳ උඩ පේළියට තියනවා. ඒවල cologne ටිකක් අඩු වෙන්න වෙන්න දුවලා ගිහින් ටැප් එක ඇරලා වතුර පුරවනවා.
මේ වීඩියෝ කෑලී මම ඊයේ සැරින් සැරේ ගත්ත ඒවා. ඊයේ දවසෙම එමලි මන්තරේ වගේ baby cheramy කිය කියා මගේ පස්සෙන්.තාත්තා ඔෆිස් ගිහින් එනකොට ඒ කියන ලිස්ට් එක එයාට ඕනේ කියන එක තමයි එමලි කියන්නේ. දැන් එමලි දන්නවා මගේ ෆෝන් එක අරන් කෙළින්ම WhatsApp ගිහින් එයාගේ තාත්තට කෝල් කරන්න.කෝල්ස් අරන් කතා නොකර ඉන්නවා. ඊයේ නං මට දිගින් දිගටම Daddy WhatsApp කිය කියා එමලි කිව්වේ තාත්තට කෝල් කරලා එයාගේ බඩු ලිස්ට් එක ගේන්න කියන්න කියලා.නිතරම තාත්තට කෝල්ස් ගන්න බැරි නිසා අපි වීඩියෝ අරන් තාත්තට යවමු කියල ඔය එමලි එක්ක තාත්තට යවන්න ගත්ත වීඩියෝස් ටික තමයි 
දැන් එමලි එයාට ඕනේ cologne brand එක කිව්වා. එයාට ඕනේ පාට ටික කිව්වා. ඒත් එක්කම මේක අනිවාර්යයෙන් එයාට ඕනේ කියන එක අපිට තව තහවුරු කරන්න වීඩියෝ එකට තාත්තට පෙන්නුවා Google search කරලා baby cheramy cologne වල ෆොටෝ එකක්. එමලිම තමයි තනියම type කරලා Google search කරන්නේ. කොහොම හරි තාත්තා ගෙදර එන්න කලින් Supermarket එකට ගිහින් එමලිට වීඩියෝ කෝල් එකක් අරන් එයාට පේන්නම ඒ කියපු හැම පාටකින්ම cologne ගත්තා. ඉතිං එමලිට ඊයේ හරි සතුටුයි.
දැන් මම කියන්න යන්නේ එමලිගේ සන්නිවේදන යේ සංවර්ධනය ගැන. බහුතරයක් ඔටිසම් බබාලා භාෂාව සංවර්ධනය කරගන්නේ Gestalt Language Processing (GLP) ක්‍රමයට අනුව. ඒ ගැන මම වෙබ්සයිට් එකේ හැමදේම ලියලා තියනවා. එමලිගේ Speech එක තනි වචනයකින් පටන් ගත්තේ නැහැ. ඒ කියන්නේ අම්මා තාත්තා කියලා තනි වචන වලින් පටන් ගත්ත එකක් නෙමේ. එයා කියන්න ගත්තේ ABC patterns , Nursery rhyme scripts සහ එයා කොපි කරගත්ත වාක්‍ය වචන කොටස් ( verbal chunks). මම මෑතකදි දැක්කා පෙර පාසල් ගුරුවරියක් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ සන්නිවේදනය ගැන ෆේස්බුක් එකේ වීඩියෝ එකක් දාලා තිබ්බා. මට එයාගේ නම මතක නෑ. ඒකේ එයා කියන්නේ මේ වගෙ ABC හෝ සිංදු කොපි කරන් කියන්නේ ස්ක්‍රීන් එකෙන් මිසක් ඒක සන්නිවේදනයට අදාළ නැහැ සහ ඒවා තේරුමක් නැති දේවල් කියලා. මේක සම්පූර්ණයෙන්ම ඉතා භයානක වැරදි අදහසක්. මේ වෙනකොට ඔටිසම් දරුවන් සිංදු කෑලි කොපි කරන් කීමේ ඉඳන් එකම වචන,වාක්‍ය රිපීට් කිරීම දක්වා සලකන්නේ ඔවුන්ගේ සන්නිවේදන ක්‍රම වේදයක් කියලා සහ අපි දරුවන්ට සහය දෙන්න ඕනේ අන්න ඒ ක්‍රමයන් හඳුනාගෙන කියලා..ඕක Gestalt Language Processing (GLP ) වලදී ඉතාමත් වැදගත් මූලාරම්භයක් ලෙස සළකනවා.
එමලි කටින් වචන වෙනුවට ශබ්ධ විතරක් ( Verbal stimming ) කරන කාලේ මම එයා කරන හැම ශබ්ධයක්ම ආයේ ආයේ රිපීට් කරා. එයාට ඒත්තු ගැන්නුනා මට හිතේ හැටියට ඕනේම ශබ්ධයක් කියන්න පුලුවන්.අම්මට මාව තේරෙනවා කියන එක.අපි දෙන්න එහෙමයි එකිනෙකා අතර සන්නිවේදනය පටන් ගත්තේ. එතනින් එහාට මම Language දිගින් දිගටම Model කරා.එමලි බලන nursery rhymes වල කෑලි අපේ එදිනෙදා ප්‍රායෝගික දේවල් වලට අදාළව වෙනස් කරලා ඒ තාලෙට කිව්වා.අපි සිංදු හරහා සන්නිවේදනය කරගත්තා.
ඊට පස්සේ ඔන්න කාලයක් ආවා එමලි මම කියන කියන එකම ගිරවෙක් වගේ රිපීට් කරන. ඒක Echolalia කියලා අපි හදුන්වනවා. අපි දෙන්නා ඒ හරහා සන්නිවේදනය කරගත්තා. එමලිට AAC Apps හඳුන්වා දුන්නත් ඒවට එමලි කැමති උනේ නෑ. ඒකට හේතුව ඒවල Cognitive load එක වැඩි. ඒ කියන්නේ එමලිගේ මොළයට ඒවා එක පාර කළමනාකරනය කරගන්න බැහැ. ඒ නිසා මම එමලිට දරාගන්න පුලුවන් ” Card Talk ” කියන ඇප් එක දුන්නා. මේක දුන්නේ මීට අවුරුද්දකටත් කලින් වගේ. දැන් තමයි එමලි මේ Card Talk ඇප් එක පාවිච්චි කරලා බලන්න උත්සාහ ගන්නේ.
එමලිගේ Speech එක තවදුරටත් simple echolalia වත් random repetition වත් නෙමේ. නියමිත අවස්ථාවට පාවිච්චි කරන ඒ කියන්නේ self-generated communication පැත්තට ඇවිල්ලා තියෙන්නෙ. ඒ කියන්නේ කොපි කරන් ගබඩා කරගෙන තියන වචන , වාක්‍ය එකතුව නියමිත අදාළ අවස්ථාවන්ට එකතු කරලා පාවිච්චි කරනවා.
ඒ වගේම තමයි එමලිගේ communication profile එකේ මම හඳුනාගෙන තියන විශේෂ දෙයක් තමයි visual cognition සහ language අතර තියෙන සම්බන්ධය.visual cognition කියන්නේ සරලවම කියනවා නම් ඇස් දෙකින් දකින දේ මොළය විසින් කළමනාකරනය කරගන්නා විදිය. අපි Vison කියන්නේ දකින දේට.එතකොට visual cognition කියන්නේ ඒ දැක්ක දේ මොළය වටහා ගන්න විදිය. උදාහරණයක් විදියට එමලි Samsung logo එකක් දැක්කම ඒකේ හැඩය හදුනගන්නවා. ඊට පස්සේ ඒකේ අකුරු ටික හදුනාගන්නවා.ඒක ” Samsung ” කියලා මතක් කරගන්නවා.ඒකට අර්ථය සම්බන්ධ කරනවා සහ වෙනත් Logo වලින් වෙනස් කියන එක තේරුම් ගන්නවා. මේ හැමදේම Visual cognition වල කොටස් තමයි.
සමහර ඔටිසම් බබාලා භාෂාවට කලින් visual system එක හරහා ලෝකය හදුනාගන්නවා. ඒ කියන්නේ භාෂාවට කලින් රූප, ලියලා තියන වචන වල හැඩ, Logos, සංකේත, පාට සහ visual Routines වලින්.
දැන් එමලි සන්නිවේදනය ගොඩ නගා ගන්නේ system කීපයක් එකට එකතු කරලා.
◍ Visual memory
◍ Spelling
◍ Logos/brands
◍ Typing
◍ Symbolic association – සංකේතය සහ අර්ථය වෙන වෙනම හඳුනා ගැනීම . උදා – Red traffic light ( සංකේතය) – Stop ( අර්ථය)
◍ Auditory gestalts – මේකෙන් අදහස් වෙන දේ උදාහරණයක් එක්කම මම පැහැදිලි කරන්නම්.යම් ඔටිසම් දරුවෙක් නිතරම ” Do you want ice cream? කියලා කියනවා කියලා හිතන්න. එතකොට අපිට හිතෙන්න පුලුවන් ඒ බබා ප්‍රශ්නයක් නැවත රිපීට් කරනවා කියලා. ඒත් GLP තෙරපිවරයෙක් ටක් ගාලා හදුනාගන්නවා ඒ දරුවා මේ කියන්නේ මට අයිස් ක්‍රීම් ඕනේ කියලා හෝ ඔවුන් එළියට ගිහින් අයිස් ක්‍රීම් කාපු සතුටු අවස්ථාව ගැන හෝ ඒ මොහොත නැවත මතක් වීම නිසා හෝ කියන එක. ඒ වාක්‍යය වචනයෙන් වචනය එකතු කරගෙන හැදුන වාක්‍යක් නෙමේ. ඒ වාක්‍ය සම්පූර්ණ කොටසම දරුවා ඒ අවස්ථාවේ මනසේ කොපි කරගත්ත එකක්.
◍ Category recognition – එකම වර්ගයට අයිති දේවල් බ්‍රේන් එක විසින් එක කණ්ඩායමක් කියලා හදුනාගැනීම. උදාහරණයක් විදියට එමලි ” Juicy fruit ” කියන logo එක හදුනාගෙන ඒ වචනය එක්ක පලතුරු වල නම් කියනවා. අන්න ඒ වගේ ඒවට අපි කියනවා category recognition කියලා.
◍ Environmental mapping – දරුවා තමන් ඉන්න පරිසරයේ වස්තූන්, ස්ථානයන්, Routines සහ Pattern සියල්ල හඳුනාගෙන මනසේ සිතියමක් ආකාරයට කොපි කරගැනීම. උදාහරණයක් විදියට ගෙදර ඉඳන් ඉස්කෝලෙට යන පාර සහ ඒ අවට සියල්ලම මනසේ සිතියමක් සේ කොපි කරගැනීම.උදාහරණයක් විදියට එමලි Google map එකට ගිහින් ඒකේ Street view එකෙන් දන්නවා එයාට grandma house එකේ ඉඳන් මොන පැත්තෙන් ගිහින් ද කීල්ස්, සිංගර්, දම්රෝ සහ Samsung shops හොයාගන්න පුලුවන් කියලා. ඒ ඔක්කොම එයාගේ මනසේ සිතියමක් වගේ මතකයේ තියනවා.
එතකොට එමලි දැනට පාවිච්චි කරන Communication methods තමයි
◉ කථනය
◉ ටයිපින්
◉ Google search
◉ voice typing
◉ images
◉ spelling
◉ pointing
◉ වීඩියෝ කෝල් එකට ෆොටෝස් පෙන්වීම පවා සන්නිවේදන ක්‍රමයක්.
එමලි එයාටම අනන්‍ය වුන Multimodal communication system (බහුවිධ සන්නිවේදන පද්ධතියක්) සකස් කරගෙන තියෙන්නෙ.මේක ඔටිසම් දරුවෙක්ට ඉතාම වැදගත්.ගොඩක් අය අවතක්සේරුවට ළක් කරනවා කථනය හැර අනෙක් සන්නිවේදන ක්‍රම.අංග චලන, මුහුණේ ඉරියව් ඇතුළු හැසිරීමේ හැඩයන් සහ ඒ සියල්ලම දරුවෙක්ගේ සන්නිවේදන ක්‍රමයන්.
මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් ටිකක් ඒ පේජ් එක බලන්න. ඒකේ නම “Dylan learns to talk”. Dylan කියන්නේ අවුරුදු 28 ක ඔටිසම් පුද්ගලයෙක්. එයාගේ අම්මා “Colleen” තමයි තමන්ගේ දරුවා වෙනුවෙන් සමාජය දැනුවත් කරන්න පේජ් එක කරන්නේ. විශේෂත්වය තමයි Dylan මේ මෑතකදී ඉඳන් වචන ශබ්ද කරන්න ප්‍රථම වතාවට ආරම්භ කරලා තියෙන්නෙ. අවුරුදු 27 ක් පුරාවට Non – speaking දරුවෙක් විදියට හිටපු Dylan දැන් මේ වගේ වාචිකව සන්නිවේදනය කරන්න ආරම්භ කිරීම ගැන මේ අම්මා ඉතා සතුටින් පේජ් එක හරහා පෙන්නලා දෙනවා. මොනම හේතුවක් නිසාවත් තමන්ගේ දරුවන් වාචිකව සන්නිවේදනය කරගන්නේ නෑ කියලා හිත් කඩා ගන්න එපා.පීඩාවකින් තොරව දරුවට සහය දෙන්න.වඩා වැදගත් වෙන්නේ සියළුම සන්නිවේදන ක්‍රමයන්ට ගෞරව කරන එක.
දරුවා කටින් නගන කුඩා ශබ්දය පවා දරුවාගේ සන්නිවේද ක්‍රමය කියන එක වටහා ගන්න. මම දන්නවා මේ Journey එක කොයිතරම් නම් අසීරුද කියන එක. ඒත් අපි මේ Journey එක යන්නේ එකට එකතු වෙලා. මේ ඉඩ පාවිච්චි කරන්න. බය නැතුව ලියන්න. මට inbox කරලා එවන්න. ඒ එවන කතාව අපි මේ ඉඩ ඇතුළේ බෙදාගමු..
