Proprioceptive sensory කියන්නේ ශරීරයේ බලය සහ චලනයන් වල දැනීමේ සංවේදනය. එතකොට Vestibular Sensory කියන්නේ ශරීරයේ සමබරතාවය දැනීමේ සංවේදනය. ඉතාම සරල අර්ථය ඒකයි. ඔටිසම් දරුවන්ගේ සංවේදන සංවේදීතාවයේ විවිධත්වය නිසා මුහුණ දෙන්න පුළුවන් තව අහියොගයක් තමයි ඔන්න ඔය සංවේදන දැනීමේ අසමබරතාවය. ඒ මත ගොඩක් වෙලාවට තෙරපිවරුන් දෙනවා Heavy work Activities කරන්න.උදාහරණයක් විදියට යම් කිසි බර ප්‍රමාණයක් දාපු බෑග් එකක් කරේ දාගෙන ඇවිදින්න , බර පොත් දාපු බකට් එකක් තල්ලු කරන්න, weighted blankets පාවිච්චි කරන්න වගේම burrito roll වගේ බබාව ඔතලා Play කරන්න.

මේ දේවල් හරහා ශරීරයට අවශ්‍ය Deep pressure සංවේදන සංවේදීතාවය ලැබෙනව සහ ඒ හරහා මනස සන්සුන් වෙනවා.

එමලි එයාගේ Play හරහා තමයි සංවේදන සංවේදීතාවයන් සමබර කරගන්නේ. එමලි හරි කැමතියි බර දේවල් උස්සන්න, තල්ලු කරන්න, උඩ ඉඳන් පනින්න,කැරකෙන්න , තදින් කිති කවාගෙන හුරතල් වෙන්න වගේ දේවල් වලට. එමලි ඒ හරහා හොයාගෙන යන්නේ අපි අර මුලින්ම කතා කරපු සංවේදන සංවේදීතාවයන්.ඒකයි අපි එමලිට නිදහසේ එමලිගේ Play එක කරන්න ඉඩ දෙන්නේ.

එමලි තනියම ටැප් එක ඇරලා වතුර බෝතල් පුරවගෙන ආයේ ටැප් එක වහලා පිළිවෙළට තමයි එමලිගේ වතුර බේසම් පුරවගන්නේ. මුල්ම කාලේ නං ටැප් එක ඇරලා දාලා එනවා.මම හෙමින් කියලා දීලාම පස්සේ ටැප් එක ඇරියොත් අනිවාර්යයෙන් වහන්න ඕනේ කියන එක එමලි තේරුම් අරන් ඉන්නේ.

 එමලිට මගෙන් උදව්වක් ඕනේ නං එක්කො Help කියලා කියනවා.එහෙම නැත්තන් මගේ අතින් අල්ලන් ටැප් එක ළඟට යනවා. 

දැන් බලන් ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් තනියම බර බෝතල් උස්සන් එන්න දරුවෙක්ට ඉඩ දෙන්න ඕනේද කියල.ඒත් ඔටිසම් දරුවන්ට මේ දේවල් ශාරීරික අවශ්‍යතා. තමන්ගේ ශරීරයට ඒ අවශ්‍ය තෙරපුම දැනෙන්න තමයි මේ වගේ දේවල් කරන්නේ. ඒ වගේම අපි මේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න ඉඩ නොදුන්නොත් මනස සහ ශරීරය අතර පවතින්න ඕනේ සමබරතාවය දුර්වල වෙන්න පුළුවන්.

එමලි එයාගේ Play හරහා තමයි පඩි පේළියක් සමබරව නගින තැන ඉඳන් පැන්සල අල්ලන්න යොදවන්න ඕනේ බලය කොයිතරම්ද දක්වාම ස්වාභාවිකව ඉගෙන ගන්නේ. proprioception Sensory සමබරතාවය නිසා තමයි අපි ගහකින් පළතුරක් කඩනකොට, කොන්ඩේ පීරනකොට, කෙනෙක්ගේ අතකින් අල්ලනකොට ඒ ඒවාට වෙනස් තෙරපුමක් ලබා දෙන්නේ. අපි ගහකින් ගෙඩියක් කඩන්න යොදන ශාරීරික Pressure එක පාවිච්චි කරන්නේ නෑ කොණ්ඩේ පීරනකොට. ඒ වගේම අපි කෙනෙක්ව බදාගන්නේ නෑ අපේ ශරීරයේ උපරිම තෙරපුම පාවිච්චි කරලා. අපි දන්නවා යොදන්න අවශ්‍ය බලය අවස්ථාවට අනුව සමබර කරගන්න.

ඒත් ඔටිසම් බබාලා ඉන්නවා මෙන්න මේ ශාරීරික බලය, තෙරපුම සමබර කරගන්න අපහසු. පැන්සල තදින්ම අල්ලලා කොළේ ඉරෙන්න ලියනවා, පඩිපේළියක් නඟිනකොට සමබර නෑ, පාරේ යනකොට ඉස්සරට එන කෙනාගේ ඇඟේ හැප්පෙනවා, වතුර කෝප්පේ හලාගන්නේ නැතුව මේසෙන් ගන්න අපහසු. අම්මව බදාගන්නකොට පුලුවන් තරම් තදින්ම බදාගන්න.තව දරුවන් එක්ක සෙල්ලම් කරනකොට ඇඟේ හැප්පෙන්නේ නැතුව සෙල්ලම් කරන්න අපහසු. ඉතිං මෙන්න මේ වගේ අභියෝග කළමනාකරණය කරගන්න තමයි අපි දරුවන්‍ට Play හරහා අවශ්‍ය සහය ලබා දෙන්නේ. එමලි ස්වාභාවිකව සංවර්ධනය කරගන්නේ ඒ ශාරීරික සමබරතාවය සහ චලනයේ සංවේදන සංවේදීතාවයන්. ස්වාභාවිකව Play හරහා මේ සංවේදන සංවේදීතාවයන් සම්පූර්ණ කරගන්න අපහසු දරුවන්ට වෙනම Activities නිර්මාණය කරලා කරන්න දෙනවා. ඒත් ඒවාට අනිවාර්යයෙන් දරුවා කැමති විය යුතුයි සහ කිසිම පීඩාවක් දරුවාට නොදැනිය යුතුමයි.

එමලි අද දවසේ වැඩි හරියක් කරේ වතුර එක්ක Play කරන එක. ඒකෙන් අපිට අද දවසත් සාමකාමීව ගෙවන්න පුළුවන් උනා 😇

මුල් සබැඳිය : එමලි ගේ වතුර එක්ක සෙල්ලම