අද පළවෙනි වතාවට එමලි Market එකට ගියා 🙈. අපි ගියේ මොරටු Market එකට. ගිය වෙලාව හැටියට ලොකුවට සෙනඟ හිටියේ නෑ. එමලිට එයාගේ Noise cancelling headphones ඕනේ උනෙත් නෑ. ඒ කියන්නේ ඒ අවටින් ඇහුන සද්ද එමලිට හිරිහැරයක් වුනේ නෑ. අපි එළවලු පෙන්නලා ඒවල නම් ආයේ එමලිට මතක් කරා.මාළු ගත්තා. වටේම ඇවිදලා පෙන්නුවා. එක තැනකින් යනකොට එමලි එක පාරටම තාත්තාගෙ අතින් ඇදගෙන එතන කඩයක් ළඟට ගියා. තාත්තා එමලිව වඩාගත්තේ ඒ වෙලාවේ එමලි ටිකක් කලබල වෙලා හිටපු නිසා. ඒ කඩේ විකුණන්න තිබ්බේ ප්ලාස්ටික් බඩු. ඒ අතර සෙල්ලම් බඩුත් තිබ්බා. මම එමලිගෙන් ඇහුව ඔයාට Toys ඕනෙද කියලා. ඒත් එමලි මුකුත්ම කියන්නේ නැතුව කලබලෙන් හිටියේ එයාට ඕනේ දේ කියාගන්න බැරුව. ආයේ මම එමලිට ලේසි කරලා පොඩි Start එකක් අරන් දුන්නා. මම එමලි කියන්න ඕනේ විදියට කිව්වා ” Daddy Buy … ” කියලා හිස්තැන එමලිට පහසුවෙන් පුරවන්න. එතකොට එමලි කිව්වා Chips කියලා. ඒත් එක්කම Onions කියලා කිව්වා. ඉතිං විමසිල්ලෙන් බලනකොට එහා පැත්තේ කඩේ එල්ලලා තිබ්බා Munchee onion biscuits පොඩි පැකට්. අපි එමලිව එතන්ට අරන් ගිහින් ඒ බිස්කට් පැකට් දෙකකුයි වෙන ජාති වලින් බිස්කටුයි අරන් දුන්නා. එතකොට තමයි එමලිගේ මූණේ හිනාවක් ගියේ. එමලිට එයාට ඕනේ දේ ඒ විදියට හරි අපි එක්ක සන්නිවේදනය කරගන්න බැරි උනා නං එමලිගේ මනස ගොඩක් පීඩාවට පත් වෙන්න තිබ්බා. ඒකයි දැන් නව දැනුම හරහා කියන්නේ දරුවන්ගේ සෑම සන්නිවේදන ක්‍රමයක්ම තේරුම් ගන්න සහ පිළිගන්න කියලා. අංග චලන, මුණේ ඉරියව් , ශබ්ධ මේ වගේ හැම ක්‍රමයකින් දරුවා සන්නිවේදනය කරනකොට ඒවා ප්‍රතික්ෂේප නොකර උනන්දු කරන්න.

එමලි ඉතිං බිස්කට් මල්ලත් කරේ දාගෙන හරිම සතුටින් ගෙදර ආවේ. මම අහන්න ඉතාම අප්‍රසන්න දෙයක් තමයි ” ඔටිසම් දරුවන්ව කොහොම හරි සමාජගත කරන්න ඕනේය” කියන එක. ඒකයි සමහරු කියන්නේ දරුවා අඩද්දී පවා එක එක තැන් වල අරන් ගියා කියලා. ඔටිසම් දරුවන් කියන්නේ සත්තු නෙමේ අපිට අවශ්‍ය විදියට පුහුණු කරන්න. දරුවගේ ස්නායු පද්ධතියට දරාගන්න පුළුවන් සීමාවේ තමයි අපි ක්‍රමයෙන් අළුත් පරිසරයන් දරුවට හඳුන්වාදෙන්න ඕනේ. දරුවෙක් ඒ වගේ වෙලාවකට අඬනවා නම් ඒ දරුවට ඒ ස්ථානයේ හෝ පරිසරයේ සංවේදන මනසට දරාගන්න අපහසුයි. දරුවගේ Sensory overload වෙලා කියලා අපි ඒ වගේ මොහොතවල් හඳුනාගන්නවා. එහෙම උනාම අපි කරන්න ඕනේ බලහත්කාරකමින් මරන්න ගෙනියන හරකෙක් වගේ දරුවව එතන හුරු කරන්න බලෙන් තියන් ඉන්න එක නෙමේ. එතනින් දරුවව වහාම අරගෙන ඇවිල්ලා ආයේ කාලෙකින් දරුවා සූදානම් කියලා හිතුනම දරුවව අරන් යන එක. පොඩි ළපටි මනසට දරාගන්න අපහසු වේදනාවන් නොදී ඉන්න එක දෙමාපියන් විදියට අපේ වගකීම.

ඉතිං එමලි අළුත් පරිසරයන් හඳුනාගන්නේ ක්‍රමානුකූලව. ඒකෙන් එමලිට අපි ගැන විශ්වාසය පලුදු වෙන්නෙත් නෑ. එයාට සමාජය ගැන ආතතියක් ඇති වෙන්නෙත් නෑ. අද එමලි අලුතින් හඳුනගත්තා මොකක්ද Market එකක් කියන්නේ කියලා. මේ වගේ හැම අත්දැකීමක්ම දරුවාට ලස්සන සහ පීඩාකාරී නැති අත්දැකීම් වෙන්න ඕනේ.

මුල් සබැඳිය : එමලි ගේ පලවෙනි මාර්කට් ගමන