දරුවන්ගේ Play ගැන කියවනකොට ” Rooted in play” කියන පේජ් එකේ තිබ්බා ලස්සන කතාවක්.

ඒක තමයි අපි දවසෙම කරන්නේ දරුවන්ගෙ දවස කළමනාකරනය කරන එක කියලා. නැගිටින්න, කන්න, ඉක්මන් කරන්න, අවධානේ දෙන්න,ඇහෙන්න කතා කරන්න,මීට වඩා උත්සාහ කරන්න කියලා උදේ නැගිට්ට වෙලේ ඉදන් දරුවා නිදාගන්න යනකල් Demand කරන එක. මේ විධාන නැතුව දරුවෙක්ට එක පැයක් තමන්ගේ හැටියට නිදහසේ ඉන්න පුළුවන්ද කියලා ඒකේ අහලා තිබ්බා. දරුවාට දෙන Free time එකෙත් ඒ දරුවා කරන්නේ දෙමව්පියන් කියන විදියට ඒ දෙන Play කරන එක.ඔටිසම් නොවන දරුවන් මේවා දරාගත්තට ඔටිසම් දරුවන්ට මේවා කොහෙත්ම දරාගන්න බෑ. කාලාන්තරයක් පුරාවට දරුවා ඒවා දරාගෙන හිටියට කොයි මොහොතක හරි දරුවට, Autistic burnout එකක් Skill regression එකක් ඇවිල්ලා අර මුළු කාලයේම සංවර්ධනය කරපු හැමදේම ක්ශනිකයෙන් අහිමි වෙන්න පුළුවන්.

එමලිට මම එක එක ජාතියේ Story books සහ Activities Books ගෙනල්ලා දෙනවා. කිසිම වෙලාවක එයාට ඒ Activity පොත් කරන්නේ කොහොමද කියලා මම instructions දෙන්න යන්නේ නෑ. හේතුව අපි තාම ඒ පියවරට ඇවිල්ලා නෑ.එතකොට මේ කාලයේ එමලි ස්වාධීනව හිතන්න, බය නැතුව පොතක ලියන්න, තමන්ගේ අවට සංවේදන සංවේදීතාවයන් දරාගෙන කොහොමද සන්සුන්ව වැඩක් කරන්නේ කියන එක ස්වාභාවිකව ඉගෙන ගන්නවා.

හැබැයි එමලිට මම ලඟට වෙලා පේන තැනකින් ඉන්න ඕනේ වැඩ කරන්න.මම කුස්සියේ ඉන්නවා නං එමලි එයාගේ පොත් ටික උස්සන් ඇවිල්ලා කුස්සියේ බිම ඉඳගෙන වැඩ කරනවා. ඒකට හේතුව දරුවාට ස්වාධීනව ඉන්න බැරි කමක්වත් ඕනේවට වඩා අම්මා මත යැපෙන එකවත් නෙමේ.මේවා අමූලික බොරු මිත්‍යාවන්. මේකට හේතුව ඔටිසම් දරුවෙක්ට Regulate වෙන්න පහසුයි තමන් වඩාත් සමීප පුද්ගලයා ලඟ. අපි මේ Co – Regulation ක්‍රමයක් තමයි නිර්මාණය කරන් ඉන්නේ. එමලිට එයා ආරක්ෂිත සහ මනස සන්සුන් කියන හැඟීම එනවා මම එයාට පේන මානේ ඉන්නකොට. මනස කලබල උන ගමන් එමලි මම දිහා බලාගෙන Verbal Stimming කරනවා. මම ඒවා රිපීට් කරනවා. මම එමලිගේ Speech එක සංවර්ධනය කරන්න ලොකුම ප්‍රයෝජනයක් ගන්නේ මෙන්න මේ Verbal Stimming වලින්. එමලි කරන හැම ශබ්ධයක්ම මම රිපීට් කරා.ඒ ශබ්ධ වචන උනාම ඒ වචනත් මම රිපීට් කරා.දැන් ඒ වචන කෙළින්ම වාක්‍ය වෙලා.අන්න ඒ වාක්‍යත් මම රිපීට් කරනවා. අපිට දරුවෙක් වචනයක් කිව්වම ඒ වචනය රිපීට් කරන ගමන් ඒ වචනයට තව වචන එකතු කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට එමලි එකපාරට කියනවා ” Gift” කියලා. එතකොට මම කරන්නේ ඒ වචනය රිපීට් කරලා.ඒකෙන් වාක්‍යක් හදලා කියනවා.” මේ වගේ ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් හැම අවස්ථාවම අරගෙන වාක්‍ය , වචන හදන්න.ඒක ස්වාභාවික සහ දරුවාට පීඩාවක් නොවෙන්නයි ඕනේ.

හරි දැන් කතා කරමු එමලි මේ වගේ තනියම කැමැත්තෙන් වැඩ කරන තැන වෙනකල් අපි ආවේ කොහොමද කියලා. සරළම උත්තරය දරුවාගේ පුද්ගලික නිදහස් සීමාව ආක්‍රමණය නොකර ඉන්න එක සහ දරුවාට ඉගෙන ගන්නවාය කියන පීඩාව, බලපෑම මනසට නොදී හිටපු එක.

  1. දරුවා කැමති දේවල් හරහා දැනුම දෙන්න.
  2. දරුවා ඔයාට අවධානය දෙන්න ඔයාගේ ඇස් දිහා ,මූණ දිහා බලන්න අවශ්‍ය නැහැ
  3. දරුවාගෙ මනස කලබල වෙලාවට සන්සුන් කරගන්න නිදහස සහ ඉඩ දෙන්න
  4. දරුවාට මුලින්ම පොත්,අකුරු,හැඩතල,පාට ස්වාධීනව හඳුනාගෙන , ආතතිය අවම කරගන්න ඉඩ දෙන්න.
  5. බල කරනවා සහ බාධා කරනවා වෙනුවට සහය දෙන්න දැනුම දරුවාගේ හැඩයට අනුව හොයාගෙන යන්න.

දැන් මේ වැඩ පොත් දුන්නම එමලි ඒ ඔක්කොම ටික අරන් සාලේ මැද්දට යනවා.ඒවා එකින් එක බලනවා.අත ගානවා.රූප දිහා බලන් ඉන්නවා. ඊට පස්සේ මගේ ළඟට ඇවිල්ලා ” Black pencil ” කියලා කියනවා.මම පැන්සල් ,පාට ඔක්කොම ටික දෙනවා. පස්සේ එමලි මාව අතින් අරන් සාලේ බිම ඉන්දනවා. පොත් වලින් එයා කැමති විදියට එක පොතක් තෝරගන්නවා. ඒවල රූප බලලා කරන්න ඕනේ දේ තේරුම් ගන්නවා. එයාම ඒ ටික කරනවා.

සමහර පිටු වල කරන්න තියන දේ නෙමේ එමලි කරන්නේ. උදාහරණයක් විදියට ගවුමක් තියනවා ඒක පාට කරන්න. එමලි කරන්නේ අර ගවුමේ කරට ළමයෙක්ගේ ඔලුවක් ඇදලා අත් කකුල් අදින එක.මම මැද්දට පැනලා ඕක නෙමේ කරන්න තියෙන්නේ කියලා කියන්නේ නෑ. හේතුව මේක තමයි self-driven, sensory-informed, emotionally secure learning කියන්නේ. කුතුහලය හරහා ගැටලු විසඳා ගැනීම,තමන්ට දරාගන්න පහසු පරිසරයක වැඩ කිරීමේ නිදහස, තමන්ට ආරක්ෂිත තමන්ව පිළිගන්නා ඉඩක වැඩ කිරීමේ නිදහස ඇතුළේ ඉගෙන ගැනීම. එතකොට ඉගෙන ගන්න අකමැති වෙන්න කිසිම සාධකයක් දරුවාට නැහැ. මඟ හැරලා යන්න හේතුවක් නෑ.ප්‍රතික්ශේප කරන්න අවශ්‍ය නෑ, කම්මැලි හිතෙන්නේ නෑ.

මෙහෙම වැඩ කරගෙන යනකොට එමලි එකපාරටම නැගිටලා දුවනවා😅.  දුවලා ගිහින් වෙන පොතක් පෙරළලා ඒකේ තියන පොඩි රූපයක් දිහා බලලා හිනා වෙලා ආයේ ඇවිල්ලා වැඩ කරන්න ගන්නවා. මේකට හේතුව එමලිට තමන්ගේ වැඩේ කරගෙන යන්න මනසට උත්තේජනයක් ඕනේ. අන්න ඒ Stimulation එක තමයි එයා වෙන පොතක චූටී රූපයක් දිහා බලලා ගත්තේ. එක පැත්තකින් ඒක මනස Regulate කරගැනීමක්. පන්ති කාමරයක ඉන්න ඔටිසම් දරුවෙක් පුටුවෙන් නැගිටලා කැරකෙන්න පුළුවන්. වටයක් ඇවිදලා එන්න පුළුවන්. එකම සිංදු කෑල්ල ආයේ ආයේ රිපීට් කරන්න පුළුවන්. කටින් ශබ්ධ නගන්න පුළුවන්. මේවා අසාමාන්‍ය හැසිරීම් හෝ නරක හැසිරීම් නෙමේ.මේවා Regulate වීමට කරන උපක්‍රමයන්. තමන්ගේ ස්නායු පිහිටීමේ විවිධත්වය නිසා මොළයට නොනවත්වා ගලාගෙන එන සංවේදන සහ තොරතුරු කළමනාකරණය කරගන්න අසීරුයි. අන්න ඒ නිසා මනස කලබල වෙන්න තියන ඉඩ වැඩී. ඒ කලබල මනස සන්සුන් කරගෙන වැඩකට අවධානය යොමු කරන්න අපේ දරුවන් පුදුමාකාර විදියට වෙහෙසෙනවා.ඉතිං මේ වෙහෙසෙන අතර තුර අපිට පුළුවන්ද බලහත්කාරකමින් කියන්න අයි කන්ටැක් දෙන්න, මූණ බලන්න ,පැන්සල අල්ලගන්න, කට වගන්න, ඉදගන්න කියලා. අපි සහය දෙන්න ඕනේ දරුවාට විරාම කාලය, නිදහස, සන්සුන් පරිසරය ලබා දීලා. විශේශයෙන් අපි දැනගන්න ඕනේ අපේ හඩ පාලනය කරලා කතා කරන්න.විධාන අවම කරන්න.

මෙන්න මේකට තමයි කියන්නේ ඔටිසම් දරුවාගේ Anatomy එකට ගෞරව කරන්න සහ පිළිගන්න කියලා. මේක වටහා ගන්න පුළුවන් නං දරුවන්ට තමන්ගේ කුසලතාවයන් සංවර්ධනය කරගන්න සහ අභියෝග කළමනාකරනය කරගන්න විශාල සහයක් අපිට ලබා දෙන්න පුළුවන්.

මුල් සබැඳිය : එමලි ගේ දවසේ වැඩ