එමලි තරම්ම එමලිගේ අක්කා ගෙදර අනික් පැත්ත පෙරළන්නේ නැති උනත් අක්කා නංගි එක්ක එකතු වෙලා කරන්නෙම මට ගෙවල් මුල ඉදන්ම අස් කරන්න වෙන වැඩ. මේවා අපිට කොයිතරම් ශාරීරික වෙහෙසක් උනත් දරුවන්ගේ Play වලට එපා කියන්න බෑ. හේතුව ඒ හරහා තමයි දරුවන් ඉගෙන ගන්නේ.
මේ ගිනි කූරූ සෙල්ලම මුලින්ම පටන් ගත්තේ අක්කා. ඉටිපන්දමක් පත්තු කරලා ඒකට එක එක ජාතියේ Objects ලන් කරලා බලනවා ගිනි ගන්න විදිය.ඕකට නංගිත් හවුල් උනා. නංගි වරද්ද වරද්දා ගිනි පෙට්ටියට ගිනි කූර අතුල්ල අතුල්ලා කොහොම හරි ඉගෙන ගත්තා ගිනි කූර පත්තු කරන්න.එතනින් එහාට නංගිට ඕනේ උනේ ගිනි කූරූ ගොඩක් එකට ගොඩ ගහලා පොඩි ගිනි මැළයක් ගහලා ඒක පත්තු වෙලා නිවෙන හැටි බලන් ඉන්න. ගින්දර ඇඟේ ගෑවුනාම පිච්චෙනවා කියල එමලි තේරුම් ගත්තේ මේ play එකෙන්ම තමයි.
ඉතිං මේ ගිනි මැල සෙල්ලම කාලෙකට කලින් දිනපතාම තිබ්බා. පස්සේ ඒකේ උනන්දුව නැති වෙලා ගියා දෙන්නටම.ආයේ ඔන්න ඊයේ එමලි ගිනි පෙට්ටි ගොඩක් උස්සන් සාලෙට ගියා ගිනි මැළේ ගහන්න. ඒක ප්‍රයෝජනයට අරන් මම ඉටිපන්දම් ටිකක් Box එකක් පිටිපස්සේ ගහලා ඒ එකින් එක පත්තු කරලා Happy Birthday කියලා නිව්වා කටින් පිබලා. ඒකට එමලිට හරි සතුටුයි. ඉතිං එයාටත් ඕනේ උනා කටින් පිඹලා ඉටිපන්දම් නිවන්න. මම ආයේ ඒ ටික පත්තු කරාම ගොඩක් වෙලා එමලි කටින් පිඹින්න පුරුදු උනා. මුලින්ම සද්දේ එක්ක කෙළ තමයි පිම්බේ
. ඒවා එමලිම වැරදි වැරදි ඉගෙන ගන්න ඕනේ ඒවා. ඇත්තටම අපිට ඒ වගේ දේවල් උගන්වන්න බැහැ. ඉටිපන්දමක් නිවන්න මොළය ප්ලෑන් කරලා පැහැදිලි
instructions දෙන්න ඕනේ කට/තොල් සහ respiratory system එකට. මේක ටිකක් සමහර ඔටිසම් දරුවන්ට අසීරූ වෙන්න පුළුවන් මොළය සහ ශරීරය අතර තියන සම්බන්ධතාවය දුරස්ත වීම නිසා.ඒ නිසා බලහත්කාරකමින් දරුවන්ට මේවගේ දේවල් පුහුණු කරවන්න හෝ උගන්වන එක ඉතාමත් අහිතකරයි. ඒ හරහා Anxiety අධික වෙන්න පුළුවන්.ඒ නිසා තමයි අපි Play හරහා දරුවා සූදානම් කාලයේදී විනෝදයෙන් දරුවාටම ස්වාභාවිකව මේ දේවල් ඉගෙන ගන්න අවශ්‍ය වට පිටාව සකස් කරන්න ඕනේ. අනික් එක තමයි දරුවන්ම හදාගත්ත Play හරහා දේවල් පුහුණු වෙනකොට දරුවන්ට වැරදුනත් කිසිම වෙලාවක වැඩේ අත් හරින්නේ නෑ.
ඉතිං කටින් සද්ද දදා පිඹලා පිඹලා එමලිම ඉගෙන ගත්තා ගන්න හුස්ම හුළං විදියට කටින් පිටකරලා පිඹින්න. ඉටිපන්දම් ටික එයාම පිඹලා නිවලා දැම්මා. ඉතිං මට හරී සතුටුයි. එමලිගෙ අක්කට නං හිනා නංගි ඉටිපන්දම් වලට පිම්බ විදිය දැකලා.
පස්සේ ගිනි කූරු ඔක්කොම එකතු කරලා ගිනි මැළේ ගහලා ඒක නිවෙනකල් බලන් ඉදලා මට ගෙවල් අතු ගාලා මොප් කරන්න වැඩ ගොඩක් ඉතිරි කරලා තමයි දෙන්නා play එක ඉවර කරේ.
ඔටිසම් දරුවෙක්ට තනියම සෙරෙප්පු දෙක දාගන්න, පැන්සලක්, හැන්දක් අල්ලගන්න, ශරීරය සමබරව දුවන්න,ඇවිදින්න, තනියම Bathroom එකට යන්න, ඇඳුම් ඇඳගන්න වගේ මේ හැමදේකටම ගත වෙන කාලය දරුවාගෙන් දරුවාට වෙනස් වෙන්න පුළුවන්. ඒකට හේතුව ඒ දරුවන්ගේ දෙමව්පියන් දරුවන්ට ඒ අභියෝග කළමනාකරනය කරගන්න සහය දෙන්නේ නැතිකම නිසා නෙමෙයි. සෑම දරුවෙක්ගේම ස්නායු විවිධත්වය එකිනෙකට වෙනස් නිසා. ඉතිං මම හිතන්නේ අපි හැමෝම අපේ දරුවන් පහු කරන පුංචි පියවරවල් පවා මහා ඉහළින් සමරන්නේ අන්න ඒකයි.
මුල් සබැඳිය : එමලි ගේ ගිනි කූරූ සෙල්ලම
