සාමාන්‍යයෙන් මගේ Shopping කියන්නේ උපරිම විනාඩි 20 ක් හෝ පැය භාගයක් ඇතුලත කොහෙට හරි ගියා අවශ්‍ය දේ ගත්තා ආවා.හරිම කලාතුරකින් තමයි මම නිදහසේ ගිහින් ටිකක් ඇවිදලා Shopping කරන්නේ. එමලි ඉස්සර වගේ මම නැති උනාම අඩන්නේ,මාව හොයන්නේ නෑ. ඒත් මට තාමත් එමලිව දාලා හිත නිදහසේ ගෙදරින් එලියට ගිහින් එන්න අමාරුයි.
ඊයේ මම සෑහෙන්න කාලෙකට පස්සේ අම්මා එක්ක Shopping ගියා.අපි එමලි එක්ක මම්මාච්චිගෙ ගෙදර ගිහින් එමලිගේ තාත්තයි ,අක්කයි එක්ක එමලිව එහේ තියලා මම අම්මා එක්ක එලියට ගියේ අම්මට අවශ්‍ය දේවල් වගේම එමලිගේ Christmas tree එකට ඕනේ කරන Decorations ගන්න. යන්න කලින් එමලිට කිව්වා අම්මා ගිහින් ඔයාට Slime ගොඩක් අරන් එන්නං කියලා.
ගෙදරින් ගිහින් පැයක් යන්න කලින් මට එමලිගේ තාත්තාගෙන් කෝල් එක ආවා. කෝල් එක ආන්සර් කරනකොටම එමලි යටි ගිරියෙන් අඩන සද්දේ ඇහුනා
. අපි ගෙදරින් ගිය වෙලේ ඉදන් එමලි දිගටම Mommy ,Mommy කියලා අඩන්න පටන් ගත්තා කියලා හස්බන්ඩ් කිව්වා නිසා ඉක්මනට එමලි එක්ක අපි ඉන්න තැනට එන්න කියලා අපි ඉතිං Shopping වැඩේ නතර කරලා එතනින් එලියට ආවා.
අපි ඉන්න තැනට එනකල් එමලි තාත්තට එයාගේ ෆොටෝස් ගන්න කියලා
. ඩ්‍රයිව් කරන ගමන් ෆොටෝස් ගන්න බැරි නිසා ඒ වැඩේ අක්කට බාර දීලා. මායි අම්මයි වාහනේට නගිනකොට එමලිගේ ඇඩිල්ල සම්පූර්ණයෙන් නතර වෙලා තිබ්බේ. ඉතිං මම්මාච්චි එක්ක හුරතල් වෙවී ආයේ මම්මාච්චිගෙ ගෙදර ආවා. අපි එනගමන් හිනා වෙවී එමලිගෙන් අහ අහා ආවේ මොකටද මේ එකපාර අඩන්න ගත්තේ කියලා. එමලිට අපි කියන දේ තේරුනත් වාචිකව උත්තර දෙන්න අපහසු නිසා අපිට උත්තරයක් හම්බුනේ නං නෑ. මම්මාච්චිගෙ ගෙදර ඇවිල්ලා ඉක්මනට එමලිට බත් ටිකක් කවාගෙන අපි ගෙදර ආවා. ඔන්න ඉතිං ටිකක් නිදහසේ අම්මා එක්ක එලියේ ඇවිදලා මොනවා හරි අරගන්න කියලා හිතන් ගියපු මට උනේ ආයේ අනික් පැත්තට ගෙදර එන්න. හැබැයි ඊයේ දවස එතනින් ඉවර උනේ නෑ.
ගෙදර ඇවිල්ලා හවස මම එමලිව පොඩ්ඩක් මිරිකලා හුරතල් කර කර ඉන්නකොට මූණට වැටුන කොණ්ඩ ගස් ටිකක් වම් කන අස්සට රදවනකොට එමලි එක පාරටම මගේ අත ගසලා දාලා ඔලුව අයින් කරගත්තා. මට හිතුනා කනේ අමාරුවක් තියෙන්න පුලුවන් කියලා. දවල් අඩපු නිසා තමයි වැඩියෙන්ම ඕක හිතුනේ. පස්සේ හෙමින් ෆොන් එකේ ටෝච් එක ගහලා කන අස්ස බලනකොට ඇතුලේ ලා කහ පාටට වගේ දැක්කා. එමලි කන අල්ලනවට ලොකුවට කැමති උනෙත් නෑ. එමලිට එයාගේ වේදනාව වාචිකව කියන්න අපහසුයි වගේම එහෙම අංග චලන වලින්වත් මට පෙන්නන්නේ නෑ. ඒත් එමලිට උණක් තිබ්බේ නෑ. කෑමත් වෙනදා වගේ කෑවා. වෙනදා වගේම ඇක්ටිව්. ඒත් එකම වෙනස තමයි කන අල්ලන්න නොදුන්න එක.
මහ වැස්සෙම දෙපාරක් නොහිතා අපි එමලිව අරන් ගියා Private medical center එකකට. මගෙන් අහන්න එපා එමලි කොහොමද ඒ අවස්ථාවට මූණ දුන්නේ කියලා නං. මට ඊයේ නං නිකන් මහ වැස්සෙම ඔලුව හැරුන අතේ යන්න හිතුනා
. ගිය වෙලේ ඉදන් එතනින් එලියට බහිනකල්ම එමලි එක දිගට ඇඩුවා.බිම පෙරළුනා. උඩ පැන්නා, බිම දිගා උනා, බඩ ගෑවා.ඇඟ පණ නැති කරලා වැටුනා.මමයි එමලිගේ තාත්තයි හරිම අමාරුවෙන් එමලිව අල්ලගෙන හිටියේ. මේ හැසිරීමට හේතුව Sensory overload වීමක් ම නෙමේ. ඒ කියන්නේ ඒ ක්ලිනික් එකේ ලයිට්ස්, සෙනඟ, ශබ්ධ දරාගන්න එමලිට අපහසු වීම නෙමේ. මේ හැසිරීමට සරළවම හේතුව එතන බෙහෙත් ගන්න ඇවිල්ලා ඉන්න අයගේ ෆෝන්ස් අරන් රීස්ටාර්ට් කරන්න එමලිට ඕනේ උන නිසා. ඒක නොදුන්න නිසා එමලිගේ Emotions overload වෙලා මනස සන්සුන් කරගන්න අපහසු උනා.
එමලිට තේරෙන්නේ නෑ Boundaries ගැන. අපිට එහෙම දකින දකින අයගේ ෆොන්ස් රීස්ටාර්ට් කරන්න බෑ කියන එක එමලිට තේරෙන්නේ නෑ. එයාට ඒක කියලා දෙනවා කියන්නේ හරියට අවුරුද්දක දරුවෙක්ට ඒ ගැන කියලා දෙනවා වගේ. දැන් Phones restart කරලා ඒ Brand name එක බලලා එමලි ලබා ගන්න ස්නායු උත්තේජනය අපිට තේරුම් ගන්න පුළුවන්.ඒ විතරක් නෙමේ Tv brand , car audio set brands, smart watch වගේ දේවල් ගැන එමලිට තියන Special interest එක ගැනත් අපිට තේරුම් ගන්න පුලුවන්. ඒත් මේ අලුත් කැමැත්ත සහ උවමනාව ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා දකින දකින අයගේ ෆොන්, Smart watch වගේ දේවල් අල්ලලා බලන්න යනකොට. මම එමලිට මානසික පීඩනයක් නොවෙන්න එයාගේ Special interest එක සමබර කරන්න ඕනේ කියලා එවෙලේම හිතුවා. ඒක මම කොහොමද කරන්න පටන් ගත්තේ කියලා වෙන පෝස්‍ට් එකකින් ලියන්නං.
කොහොම හරි අපි ඩොක්ටර් ලගට ගියාම අඩ අඩා හරි එමලි ඩොක්ටර්ට කන චෙක් කරන්න ඉඩ දුන්නා. කනේ කිසිම ගැටළුවක් නෑ කියල ඩොක්ටර් කිව්වා. නිකන්ම නිකන් Wax විතරයි කිව්වා තියෙන්නේ. ඒත් එමලිගේ කන ඇතුලම බලන්න එමලි ඉඩ දෙන එක්ක නෑ කියලා ඩොක්ටර්ට තේරුන නිසා ඒක කරේ නෑ. ඒ ඩොක්ටර් එමලිගෙන් ප්‍රශ්න අහනකොට මම කිව්වා එමලි Autistic – Semi verbal බබෙක් කියලා. එතනින් එහාට ඩොක්ටර් කිසිම ප්‍රශ්නයක් එමලිගෙන් අහන්නේ නැතුව එමලිව කළබල නොකර ඉක්මනට කරන්න අවශ්‍ය දේ අපිට කිව්වා.
කොහොම හරි මුලු හොස්පිට්ල් එකම පොඩි වෙලාවකට කණපිට ගහලා තමයි එමලි ගෙදර ආවේ. එමලිගේ අක්කා පවා බය වෙලා නිරුත්තර වෙලා හිටියේ නංගිගේ හැසිරීම ගැන. ඒ අස්සේ එමලිව සන්සුන් කරන්න හදන ගමන් මට අක්කාගේ හිතත් සනසන්න උනා. ඊයේ දවස මානසිකවත් ශාරීරිකවත් අපි හැමෝම හෙම්බත් උන දවසක්. ඒ කොහොම උනත් මට තාමත් හිතෙනවා එමලිට වම් කන පැත්තේ යම් අපහසුවක් දැනෙනවා කියලා. ඒ නිසා ආයේ ඒ ගැන ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා සම්පූර්ණයෙන්ම චෙක් කරලා බලන්න ඕනේ කියලා මම හිතුවා.
* එමලිගේ Special interest එකත් එක්ක තියන Intense ගතිය අවම කරන්න ඊයේ රෑම මම ක්‍රමවේදයක් හැදුවා.ඒක මේ වෙන කොට සාර්ථකයි. ඒ ගැන මම පෝස්ට් එකක් දාන්නම් 
මුල් සබැඳිය : එමලි ගේ කනේ වේදනාව
