මම කලින් පෝස්ට් එකක කිව්වා එමලි මේ කාලේ හරිම කැමතියි ඩිවයිස් රී ස්ටාර්ට් වෙනකොට ඒ එන ලොගෝ එක බලන්න කියලා. මේ හරහා එමලි Visual stimulate වීමක් ලබා ගන්නවා. ඒ කියන්නේ දෘශ්‍ය උත්තේජනයක්. ඒ වගේම ඒ එන නම සහ Logo එක බලාගෙන බිම ලියනවා. මේ වීඩියෝ එකේ තියෙන්නෙත් එමලි මම්මාච්චිගෙ ගෙදර ගිහින් පුංචිගේ ෆෝන් එක ඉල්ලන හැටි. පුංචි ඉතිං එමලි එක්ක ටිකක් Play කරලා තමයි ෆෝන් එක රීස්ටාර්ට් කරලා පෙන්නුවේ. එමලිට ෆෝන් එක විතරක් නෙමේ Smart watch එකක් හරි කමක් නෑ ඒක රී ස්ටාර්ට් කරලා බලලා සතුටු වෙන්න.
දැන් විශේශම දේ තමයි එමලි ටික ටික තමන්ගේ අවශ්‍යතාවය අපිට හැර මම්මාච්චිටත්, පුංචිටත් කියන්න පටන් අරගෙන තියන එක. වෙනදා එමලි අපි එක්ක සන්නිවේදනය කරන ප්‍රමාණයවත් වෙන කිසිම කෙනෙක් එක්ක සන්නිවේදනය කරේ නෑ. දැන් ඒක වෙනස් වෙලා එමලි තමන්ට පුලුවන් විදියට වචන සහ වාක්‍ය එකතු කරලා ඕනේ කෙනෙක් එක්ක සන්නිවේදනය කරගන්නවා. මෙන්න මෙතනිදි තමයි අපිට පවුලේ සහ හිතවතුන්ගේ සහය අවශ්‍ය වෙන්නේ. දරුවාගේ සන්නිවේදන හැඩය වටහාගෙන දරුවාව තේරුම් ගන්න.
පවුලෙන් පිටත සමාජය එක්ක සම්බන්ධ වෙනකොට එමලිට ආතතියක් දැනෙන්නේ නෑ.මම මේවා දකින්නේ කාලයත් එක්ක එමලි ලොකු වෙනකොට තමයි. මේ ආතතිය නොදැනෙන්නේ අපි එමලිව එක පාරටම එයාට දරාගන්න අපහසු තැන් වලට අත් හැරිය නැති නිසා. මම ඉතාම හෙමින් තමයි එමලිට සමාජයේ හැඩය වටහා ගන්න ඉඩ හදලා දෙන්නේ. අපි හැමෝටම එමලි එයාගේ මම්මාච්චි , පුංචි එක්ක මෙහෙම පොඩි දේවල් වාක්‍ය හරහා කියනකොට සෑහෙන්න සතුටක් එනවා. ඒ වගේම ඕනේම නන්නාඳුනන ගෙදරකට ගියාම කිසිම අපහසුවක් නැතුව ඒ ගෙදර ඉන්නවා. මේක අපිට ලොකු ජයග්‍රහණයක් වෙන්නේ ඉස්සර එමලි එයාගේ ගෙදරයි ,මම්මාච්චිගෙ ගෙදරයි , මගේ එකම එක යාලුවෙක්ගේ ගෙදරක් හැරුනු කොට වෙන කිසිම ගෙදරකට ගිහින් පොඩි වෙලාවක්වත් ඉන්න කැමති උනේ නැති නිසා.
ඊයේ මම පළවෙනි වතාවට මගේ යාලුවෙක්ගේ ගෙදර පොඩි වෙලාවකට එමලිව අරන් ගියාම එමලි කෙලින්ම ඒ ගෙදර ඇඳ උඩට ගිහින් ඉදගත්තා
එමලිට තාම තේරෙන්නේ නෑ අපි ගෙදරකට ගියාම සාලේ පුටුවක ඉදන් ඉන්න ඕනේ මිසක් ඒ ගෙදර කාමර ඇතුලට යන්නේ නෑ කියන එක. එමලි කරන්නේ මුළු ගේ පුරාම ගිහින් බලන එක.ඊට පස්සේ ඇද උඩට ගිහින් ඉන්නවා. ඒ වගේම එමලිට නොතේරෙන දෙයක් තමයි දකින දකින කෙනාගේ ෆෝන් එක අරන් ඒක රීස්ටාර්ට් කරන එක කරන්න හොද නැති දෙයක් කියලා. ඉතිං මම සෑහෙන්න පරිස්සම් වෙනවා මිනිස්සු එමලි ගැන වරදවා වටහා නොගන්න විදියට එයාලට එමලිගේ හැඩය ගැන කියලා දෙන්න සහ කිසිම කෙනෙක්ට කරදරයක් නොවෙන්න එමලිගේ මේ අලුත් හැසිරීම් සහ Special interests පවත්වාගෙන යන්න.
මම මෙතෙක් එමලි කාලෙන් කාලෙට පවත්වාගෙන ගියපු Special interests බහුතරයක්ම හෙමින් පාවිච්චි කරා එමලිට ඒ හරහා එක එක දේවල් උගන්වන්න. දැන් මේ හරහාත් මම කරන්නේ එමලිට වචන කියවන්න සහය දෙන්න. හේතුව එමලි හරිම උනන්දු වෙනවා Brand names, Logos යට තියන පුංචි වචන කියවන්න. මම ලවා ඒවා කියවගන්නකොට එමලිට තේරුම් යනවා ඒ අකුරු ශබ්ධ වෙලා වචනේ හැදෙන රටාව. එතනින් එහාට ඒවා ආයේ එමලි බිම ලියනකොට ඒ හරහාත් ආයේ එමලිට තේරුම් ගන්න පුලුවන් වෙනවා අකුරු , ශබ්ධ එකට එකතු වෙන අපූරුව ගැන. ඒත් එක්කම එමලි වැඩි වැඩියෙන් අපි එක්ක සම්බන්ධ වෙලා වචන වාක්‍ය කියනවා. Tik tok, amazon , apple tv , huawei ,samsung, Android වගේ Brand names ඒවල Logos එමලි මම ලව්වා හයියෙන් කියව ගන්නවා. එහෙම කියවලා එමලිම ආයේ ඒවා රිපීට් කරනවා. ඒ රිපීට් කිරීම හරහා එමලි කියන්නේ ඒවා Google හරහා Search කරලා ෆොටෝස් හොයලා දෙන්න කියලා. මම එහෙම හොයලා දුන්නම එමලි කරන්නේ ඒවා බලාගෙන ටයිල් පොලවේ ඒවා ලියලා අදින එක. දරුවන්ගේ Special interests ඇබ්බැහි කියලා වළක්වන්නේ නැතුව ඒ හරහා දරුවාගේ සංවර්ධනයට සහය දෙන්න පුලුවන්. මේවා තමයි ඔටිසම් ගැන තිබුන පැරණි දැනුම ප්‍රතික්ෂේප වෙලා නව දැනුම හරහා දරුවන්ට සහය දෙන ක්‍රමයන් විදියට ලෝකයේ උපයෝගී කරගන්නේ.
