එමලිට මේ මාසෙට අවුරුදු හතක් ලබනවා. ජිවිතේ පළවෙනි පාරට එමලිට තව දරුවෙක්ගේ Birthday එකක් ගැන අදහසක් පොඩි තේරුමක් දැන් තියනවා. එමලි වැඩිපුරම කැමති යාළුවාගේ උපන්දිනයට කලින් අපි එයාව බලන්න ගියා පොඩි තෑග්ගක් අරන්. එමලිට මම යාලුවගේ ෆොටෝ එකක් පෙන්නලා කිව්වා අපි ඔයාගේ යාලුවගේ Birthday party එකට යනවා.ඊට කලින් තෑග්ගක් ගන්න ඕනේ කියලා.එමලි ඒක තේරුම් ගත්තා. ඉතිං අපි ලස්සන කාර් එකක් අරන් එමලි එක්කම ඒක wrap කරා. මම එමලිගෙන් රෑ ඇහුවා අපි හෙට කොහෙද යන්නේ කියලා. එමලි හයියෙන් “Birthday party” කියලා කිව්වා. ඇත්තටම party එකක් තිබ්බේ නැති උනත් දරුවො වෙනුවෙන් අපි පොඩි කේක් එකකුත් කැපුවා.
එමලි ඊයේ රෑ wrap කරපු තැග්ග නිදාගන්න යනකල්ම එයා ලග තියන් හිටියා. යනකොටත් ඒක අරන් ගියේ එමලි. එහේ ගියාම මම කිව්වා යාළුවට Happy birthday කියන්න කියලා. එමලි Happy birthday brother කියලා කිව්වා. ගෙදර අපි එක්ක එයාගේ අක්කා එක්ක වාචිකව සන්නිවේදනය කරගන්න ප්‍රමණයවත් එමලි එළියට ගියාම යාලුවො එක්ක සන්නිවේදනය කරගන්නේ නෑ. ඒත් ඒක එමලිට ගැටලුවක් වෙලා නැහැ. හේතුව එමලිගේ ඔටිසම් විවිධත්වය හොඳටම තේරුම් ගත්ත යාලුවො ටිකක් තමයි එමලිට ඉන්නේ.
එහේ ගියාම එමලි එකම එක තත්ත්පරයක්වත් සන්සුන්ව නං හිටියේ නෑ. මගේ වැඩේම එමලිගේ පස්සෙන්ම දුවපු එක. හේතුව අපි හිටියේ උඩ තට්ටුවක නිසා වටේම බැල්කනි ළඟට ගිහින් පහළ බලන්න එමලි උත්සාහ කරපු නිසා.
මම එමලිගේ අනික් යාළුවා සෙනුලිට පොඩි බෝනික්කෙක් අරන් ගියා. එමලියි සෙනුලියි එයාව බෙදාගන්න බැරුව කීප වතාවක් රණ්ඩුත් කරා. ඒ රණ්ඩු තරහින් වුන ඒවා නෙමේ. සෙනුලි එමලිගේ ඇඟ උඩ ඔළුව තියන් හිටියා ආදරේට. එමලිගේ Headphones දෙකත් අරන් දාගත්තා. එමලිගේ කනට ලං කරලා හයියෙන් හූ තිබ්බා. එමලි ඒවට හරියට කැමති උනා.
අයියට අරන් ගියපු කාර් එකට වතුර දැම්මම ඒකේ පිටිපස්සෙන් පොඩි දුමක් වගේ යනවා. මෙන්න මේක එමලි බලන් ඉදලා මට කිව්වා “Drink water car / splash” කියලා. මේ වගේ වචන එකතු කරලා කොහොම හරි තමන්ට අවශ්‍ය දේ කියන්න එමලි උත්සාහ ගන්නවා. එමලි මේ වචන වලින් කිව්වේ කාර් එකට වතුර දාල අර දුම බලන්න ඕනෙ කියලා. එමලිගේ මනසේ භාෂාව සංවර්ධනය වෙලා තියෙන්නේ. එමලි හැම වචනයක්ම දන්නවා. මේවා එකතු කරලා වාචිකව ප්‍රකාශ කරගන්න අපහසුතාවය එමලිට තියෙන්නේ එමලිගේ ස්නායු විවිධත්වය නිසා. ඒ නිසා දරුවා කියන හැම වචනයක්ම, අංග චලනයක්ම, මූණේ ඉරියව්වක්ම හරහා සන්නිවේදනය කරන්න උත්සාහ ගන්නේ මොකක්ද කියලා තේරුම් අරන් සහය දෙන්න ඕනේ. එහෙම උනාම තමන්ට වාචිකව සන්නිවේදනය කරගන්න තියන අපහසුතාවය දරුවාට පීඩාවක් බවට පත් වෙන්නේ නෑ.
අපි ගෙදර එන්න ලෑස්ති වෙලා කේක් එකකුත් කැපුවා. එමලි අයියට කලින් ඉටිපන්දම් නිවන්න ගියා. මම එපා කිව්වම ආයේ ඉදගත්තා. ඒත් කේක් නං කෑවා. කේක් කපපු පිහියත් ලෙවකෑවා
. මම ඔය දැක්කමයි එමලි එහෙම කේක් කෑමක් කනවා. වෙනදට කේක් ගෙනාවම චුට්ටක් කාලා තියනවා. අද යාලුවො ඉන්න නිසා වෙන්න ඇති එයාලා කනවා බලන් ඉඳලා කේක් කෑවේ.
කොහොම උනත් අද එමලි ඇති වෙන්න සෙල්ලම් කරා. මේ යාලුවො එක්ක එකට එකතු වෙලා සෙල්ලම් කරන්න එමලිට එයාගේ වාචික සන්නිවේදනයේ අසීරූතාවය පොඩ්ඩක්වත් බාධාවක් උනේ නෑ. ඔටිසම් දරුවන්ගෙන් ඔටිසම් නොවන දරුවන්ගේ සම්බන්ධතා හැඩය බලාපොරොත්තු වෙන්න එපා. දරුවන්ට නිදහස දෙන්න එයාලා කැමති විදියට ස්වාභාවික සම්බන්ධතා ගොඩ නගා ගන්න. බලහත්කාරකමින් හැසිරීම් හදන්න උත්සාහ කරන්න එපා. සෙල්ලම් කරන්න ඕනේ මෙහෙමයි, අනිවාර්යයෙන් අයි කන්ටැක් තියන් යන්න ඕනේ වගේ සාම්ප්‍රදායික හැඩයන් අස්සට ඔටිසම් දරුවන්ව පුහුණු කරන්න එපා. ඉඩ දෙන්න දරුවට එයාට පහසු විදියට සමාජ සම්බන්ධතා ගොඩනගා ගන්න.
