එමලිට දැන් අවුරුදු 7 ක්. මේ තාක් කල් එමලි බත්, Noodles , පැස්ටා,ඇට වර්ග වගේ කිසිම කෑමක් අතින් හෝ හැන්දකින් කාලා නැහැ. ඒකට එක හේතුවක් තමයි එමලි කන්නේ තෝරාගත් කෑම වට්ටෝරුවක් වීම.මේක ඔටිසම් දරුවන් සහ පුද්ගලයින් අතර දකින්න පුලුවන් ඉතාමත් සාමාන්‍ය දෙයක්. මේ වගේ Safe foods විතරක්ම කන්න හේතු කීපයක්ම තියනවා. එකක් තමයි රසය කියන සංවේදනයේ සංවේදීතාවය ඉතා අධික වීම.ඒ වගේම කෑම වල සුවඳ සහ ස්පර්ශයේ දැනීම. ගොඩක් වෙලාවට මිනිස්සු හිතනවා මේක දරුවාගේ මුරන්ඩු කම හෝ එහෙම නැත්තන් අම්මලා කවන්න දන්නේ නෑ ,පොඩි කාලේ ඉදන් දරුවට කෑම ජාති හුරු කරලා නෑ කියලා.මට එහෙම හිතන අය ඕනේ තරම් හම්බෙලා තියනවා. ඒත් මේ Safe foods පමණක් ආහාරයට ගැනීම ඉතාමත් සංකීර්ණ අභියෝගයක්. එමලි පොඩිම කාලේ හැම කෑමක්ම කාපු දරුවෙක්. ඒත් කාලයත් එක්ක එමලිගේ සංවේදන සංවේදීතාවයන් වල දැනීම වර්ධනය වෙනකොට එයාට අපහසු උනා හැම දේම කන්න. තමන්ගේ රසය ,ස්පර්ශය, ගඳ/සුවඳ වගේ සංවේදනයන් වල සංවේදීතාවය අධික වීම මත එමලි කෑම වර්ග කීපයක් තෝරාගෙන කන්න පටන් ගත්තා.මම මේ ගැන කලින් ලියපු ලිපියක ලින්ක් එක පහළින් දාන්නම්.ඒකේ මේ Safe food සම්බන්ධව හැම කාරණයක්ම ඇතුළත් වෙලා තියනවා.
කලින් ලියපු ලිපිය
ඒ වගේම එමලිට ආහාර සම්බන්ධව ඉතා දැඩි ආතතියක් තිබ්බා.මට ඒක කළමනාකරනය කරගන්න අවුරුදු දෙකකට වඩා ගත උනා. දැන් එමලි ඕනේම කෑමක් කැමැත්තෙන් රස බලනවා.ඒත් ඒවා අතරින් කෑමට තෝරගන්නේ ඉතාම කීපයක් විතරයි. බත් එළවලු නං එමලිගේ Safe food වට්ටෝරුවේ නැහැ. ඒත් මම කොහොම හරි බත් කටවල් පහක් හයක් වත් දවසට කවනවා.එමලිට මාළු, හාල්මැස්සො වගේ දේවල් කන්න බෑ. වමනෙට එනවා..මස් වගේ කන්න පොඩි ප්‍රමාණයක් කන්න පුලුවන්.අල පරිප්පු හැරෙන්න වෙන කිසිම එළවලුවක් කන්න බැහැ.වමනෙ කරනවා. මම එයාට නොතේරෙන්නෙ ඉතාම පොඩි ප්‍රමාණයක් තමයි වෙනත් එළවලු යන්තම් ගාවලා වගේ බත් එක්ක කවන්නේ. ඒ කවනකොටත් හරිම කල්පනාවෙන් කවන්නේ කොයි මොහොතේ වමනේ කරයිද කියන එක ගැන.
ඔටිසම් කියන්නේ සුව කරන්න හෝ රිවර්ස් කරන්න පුලුවන් තත්ත්වයක් කියලා කෙනෙක් හිතනවා නම් ඒ වටා දරුවාට ලබා දෙන සහය ඉතාමත් අසාර්ථකයි. දරුවාව Fix කරන්න උත්සාහ ගන්න එකට වඩා දරුවාගේ අභියෝග කළමනාකරනය කරගන්න ලබා දෙන සහය පමණයි නිවැරිදි වෙන්නේ. හේතුව ඔටිසම් කියන්නේ ජීවිතය පුරා තියෙන ස්නායු විවිධත්වයක්.මනුශ්‍ය හැඩයක්. දැන් උදාහරණයක් විදියට මම එමලි තෝරාගත් කෑම පමණක් කන එක Fix කරන්න ගියා නං මම හිතන්නේ එමලිගේ කෑම වලට තියන තව තවත් බය වෙනවා සහ ආතතිය, මානසික පීඩාව වැඩි වෙන්න තිබුනා. ඒ වෙනුවට මම කරේ එයාගේ මේ අභියෝගය කළමනාකරනය කරගන්න සහය දෙන එක.
එමලිට කෑම ස්පර්ශ කිරීම තවදුරටත් අපහසුවක් නෙමේ. ඒකට හොඳම උදාහරණය තමයි මේ වීඩියෝ එක. එමලි කිසිම අපහසුතාවයක් නැතුව බිත්තර සාරු අතේ ගාවගෙන සීරුවට බිත්තර කඩන්න උත්සාහ ගන්නවා. මේ වගේ කෑම ස්පර්ශ කරන්න දෙන එක, සුවඳ බලන්න දෙන එක සහ ඒවා බලහත්කාරකමක් නැතුව රස බලන්න දෙන එක තමයි කෑම සම්බන්ධව අභියෝග වලට මුහුණ දෙන දරුවෙක්ට අපිට ලබා දෙන්න පුලුවන් ප්‍රධානම සහය. එමලිට හැන්දෙන් වතුර පොවපු කාලයක් තිබ්බා. ඒ වගේම යෝගට් සහ කිරි විතරක්ම ප්‍රධාන ආහාරය උන කාලයක් තිබ්බා. ඒත් ඒ අභියෝග එමලි ඉතාමත් සාර්ථකව කාලය අරන් පහු කරන් ආවා.
එමලි ආහාර සම්බන්ධ අභියෝගය කළමනාකරණය කරගන්නවා කියන එක වඩා පැහැදිලි කරොත් එයා අතින් අල්ලන්නකොට අපහසුතාවයක් දැනෙන කෑම කන්න හැන්ද සහ ගෑරුප්පුව පාවිච්චි කරනවා. පලතුරු හපලා කනකොට ඒ දැනෙන දැනීම දරාගන්න අපහසු නිසා පලතුරු ජූස් බොනවා. ඒ වගේම තමයි හැකි විදියට වාචික සන්නිවේදනය සහ Google search කරලා ඒ දකින කෑම වලින් කැමති දෙයක් තියනවා නම් අපිට පෙන්නලා ඒවා ඉල්ලලා රස බලනවා. ෆ්‍රිජ් එකේ තියන කෑම ජාති අරන් මට දීලා ඒ හරහා පෙන්නලා දෙනවා ඒක හදලා දෙන්න කියලා. මේ වගේ එමලි එයාගේ ආරක්ෂිත කෑම වට්ටෝරුවෙන් එහාට ගිහින් නොයෙක් කෑම අත් හදා බලනවා. ඒ නිසා තවදුරටත් මට එමලිගේ ආහාර සම්බන්ධව තියන අභියෝගය විශාල ගැටලුවක් නෙමෙයි.
එමලිගේ බිත්තර බිඳීම ගැනත් කියන්නම ඕනේ. එමලි බිත්තර පැක් ගණනාවක් කඩලා හැම තැනම ගාලා මිශ්‍ර කරපු බබෙක්. මේවා දඟ වැඩ නෙමේ. ඒ හැමදේම හරහා එමලි තේරුම් අරගත්තා බිත්තරයක් අල්ලන්න ඕනේ ඉතා සියුම්ව කියන එක. ඒත් එක්කම බිත්තරයක් බිඳින්න නං ලොකු බලයක් යොදවන්නේ නැතුව හෙමින් සීරුවට ඒක කරන්න ඕනේය කියන එක. දැන් එමලිට ඒක කරන්න සෑහෙන්න දුරකට පුලුවන් 
