එමලිට ” ඉගෙන ගන්නවා ” කියන එක ගැන කිසිම අදහසක් තාම නෑ. මම මේක neurotypical මේ වයසේ දරුවෙක්‍ට සාපේක්ශ කරලා කියන්නේ එමලිට දැනුම ලබා දෙන විදිය ගැන පැහැදිලි කරන්න. කිසිම වෙලාවක එමලිගේ හැඩයවත් දැනීමේ පරාසයවත් දුර්වල එහෙම නැත්තන් මදී කියන ගැටලුවක් මට නැහැ. ඒකට හේතුව එමලි එයාට අවශ්‍ය කාලය අරගෙන අභියෝග පහු කරගෙන යන දරුවෙක් නිසා.මම එමලිට Homeschooling කරන්නේ එමලිව තේරුම් අරන් දැනුම දෙන්න පුළුවන් මට විතරයි කියන විශ්වාසය මට තියන නිසා. ඒකට එක හේතුවක් එමලිගේ ස්නායු පද්ධතියේ විවිධත්වය. ඒ මත තමයි එමලිගේ මනස තොරතුරු කළමනාකරණය කරගන්න විදිය, සංවේදන සහ දැනීම ලබා ගන්න විදිය තීරණය වෙන්නේ.
එමලි එක තැනක ඉන්න දරුවෙක් නෙමේ. එමලිට ඕනේ දවසෙම එහා මෙහා යන්න.එමලි හරිම කඩිසරයි. අධිකව ක්‍රියාශීලී. එමලි දේවල් ඉගෙන ගන්නේ ක්‍රමානුකූලව එමලිගේ දැනීම සංවර්ධනය වෙන වේගයට සාපේක්ශව. එමලිට මම උගන්වන්නේ එයා එක්ක දුවන පනින ගමන්ම තමයි. එමලිගේ කුසලතාවය තමයි ඕනේම Pattern එකක් ඉක්මනට හඳුනගන්න එක. ඒක හැඩතල, රූප, අංක, අකුරු ඕනේම එකක් වෙන්න පුළුවන් . එක පාරක් ඒ පිළිවෙළ දිහා බැලුවම ඒක එමලිගේ මනසේ තදින් කොපි වෙනවා. මෙන්න මේ නිසයි එමලි අංක වලට කැමති.
ඉගෙන ගන්නවා කියන එක එමලිට අප්‍රසන්න පීඩාකාරී දෙයක් නොවෙන්න වගබලා ගන්න එකට මම සෑහෙන්න මහන්සි වෙනවා. එමලිගේ තියෙන්නේ Intuitive learning style එකක්.ඒ කියන්නේ ඍජුවම උගන්නලා දැනුම ගන්න එකට වඩා ස්වාභාවිකව අත් වැරදීම්, අත් හදා බැලීම් එක්ක තමා විසින්ම වටහාගෙන ඉගෙන ගැනීම. දැන් මේක මම තේරුම් ගත්තේ එමලි පොඩි කාලේදිම තමයි. Video , Board books, Play හරහා කියන සහ ඇහෙන දේවල් නිරීක්ෂණය කරලා ඒ හරහා තමයි ඉගෙන ගන්නේ. එතකොට මම කරන්නේ එමලිගේ ඒ හැඩයට හරියන්න පරිසරය සකස් කරන එක සහ මූලාශ්‍ර දෙන එක. ඒවා දෙන්නෙත් එමලිගේ interests වලට හරියන්න. ඒත් එක්කම එමලිගේ මනස සන්සුන්ව පවත්වාගෙන යන්න අවශ්‍ය පහසුකම සහ නිදහස දෙන්න ඕනේ.වත්තේ වැලි උඩ නටලා , වැස්සේ තෙමිලා මඩ පාගලා එමලි ලබා ගන්නේ අන්න ඒ මානසික සන්සුන්බව සහ උත්තේජනය. එතකොට මේ හැමදෙයක්ම මම සමබර කරන්න ඕනේ.
පහු ගිය කාලේ එමලි පොතක් ඇල්ලුවේ නෑ.මම තේරුම් ගත්තා එමලිගේ මනසට ලොකු විවේක කාලයක් ගන්නවා කියලා. ඒකට අපි කරේ පුළුවන් තරම් Play කරන්න , විශේෂයෙන් Messy play කරන්න ඉඩ දුන්න එක. බෝනික්කො වැඩි වැඩියෙන් අරන් දුන්නේ එයාලා එක්ක Play කරන්න පුළුවන් වෙන්න. එතනින් එහාට ගමේ වෙලවල් ,රබර් වතු අස්සේ ඇවිද්දන්න එක්කන් ගියා. මනස සන්සුන් වෙන ලොකු විවේකයක් ගත්තම ආයේ එමලි එයාට කැමති පොත් තෝරගෙන වැඩ කරන්න ගත්තා. එමලිට ගෙදර හිතෙන තැනක හිතෙන වෙලාවකට තමයි වැඩ කරන්නේ. ඒක තමයි එමලිගේ පහසුව. ඒ වගේම මෙහෙම වැඩ කරනකොට එමලි සද්දේ බිංදුවටම අඩු කරන් එයා කැමති වීඩීයෝ එකක් Play වෙන්න දෙනවා එයාට පේන තැනක. ගොඩක් වෙලාවට ඒවා Word party show එකේ වීඩියෝ එකක් හරි Numbers ,Alphabet videos තමයි. මේක හරියට අපි සිංදුවක් හරි Tv එක දාලා තියලා අපේ වැඩක් කරනවා වගේ. මේ හැමදේම හරිම වැදගත් මනස සන්සුන් කරන් අදාළ වැඩේට අවධානය යොමු කරන්න.
මම එමලිට කිසිම Antipsychotic drug එකක්වත් stimulant drug එකක් වත් කවමදාකවත් දීලා නෑ. එහෙම දෙන්න බලාපොරොත්තුවක්වත් මගේ නෑ. එමලිට අවශ්‍ය ස්වාභාවිකව මනස උත්තේජය වෙන්න සහය දෙන එක සහ ස්වාභාවිකව එමලි කැමති දේවල් පාවිච්චි කරලා එමලිගේ අවධානය රඳවාගන්න පුළුවන් ක්‍රම විතරයි. දැන් ඉස්සර කාලේ ඔය Drugs දීලා නෙමේ නේ දරුවන් ඉගෙන ගත්තේ. 1943 තමයි පළවෙනි ඔටිසම් පුද්ගලයාව තහවුරු කරගත්තේ. එතකොටත් ඔටිසම් දරුවන්, ADHD දරුවන් ලංකාවේ ඕනේ තරම් හිටියා තහවුරු නොවුනු. ඒ දරුවන් පරිසරය එක්ක තමන්ගේ අභියෝග ස්වාභාවිකව කළමනාකරණය කරගන්න ඇති. එහෙම අපහසු වුන දරුවන් පවුලේ අයගේ රැකවරණය එක්ක ජීවත් වෙන්න ඇති. වැදගත් වෙන්නේ වටහා ගැනිම සහ සහය දීම මිසක් එක එක බෙහෙත් , උත්තේජන ඖෂධ දීලා දරුවන්ව පුටුවලට අලවලා තියන එක නෙමේ. හොඳම ස්වාභාවික උත්තේජන ඖෂධය තමයි දරුවාට Play කරන්න නිදහස දෙන එක.
යම් ඖෂධ තියනවා දරුවන්ට දෙන ඒත් ඒවා දෙන්නෙ අනිවාර්යයෙන් දිය යුතුම හේතු වලට මිසක් ඒවා ලංකාවේ දැන් මේ ලොසිංජර දෙනවා වගේ දෙන්නේ නෑ. දරුවා පොඩි කාලේ ඉඳන් හෙමින් හෙමින් ඉගෙන ගන්න ඕනේ කොහොමද මනස සන්සුන්ව කළමනාකරණය කරගන්නේ කියලා. කොහොමද මම වැඩකට අවධානය දෙන්නේ කියලා. මෙන්න මේ Natural regulations ක්‍රම තමයි ජිවිත කාලෙම දරුවට පහසුවෙන් ජීවත් වෙන්න සහය වෙන්නේ. එහෙම නැතුව උදේට නිල් පෙත්ත බීලා රෑට රතු පෙත්ත බීලා දවස ගෙවන ජීවිතයකට මම එමලිව ඇදලා දාන්නේ නෑ. මේ ගමන සෑහෙන්න වෙහෙසක් බව ඇත්ත. ඒත් මේ මොහොත දරුවා එක්ක උපරිම සාර්ථකව පහු කරන්න.
