එමලිට අවුරුදු හත ලැබුවා පහු උන 24 වෙනිදා. උපන්දිනය කිව්වම එමලි ඒක තේරුම් ගන්නේ Happy Birthday කියලා ඉටිපන්දම නිවලා කෙක් එකක් කපලා තෑගී දෙන සිදුවීමෙන්.එහෙම නැතුව මොකක්ද Birthday එක කියන්නේ කියලා තාම එමලිට තේරුමක් නැහැ. ඒ වගේම වයස කියන්නේ මොකක්ද මට දැන් අවුරුදු හතයි කියන එක ගැන එමලිට දැනීමක් නැහැ. අපි එමලිගේ උපන්දිනය ලොකුවට සමරන්නේ නෑ. ඒකට හේතුව එමලි කැමති නෑ ලොකු ඝෝෂාකාරී අවස්ථාවන්ට. ඒත් මට මේ පාර ඕනේ උනා එමලිට මේක එයාගේ උපන්දිනය කියලා අමතක නොවෙන අත්දැකීමක් එමලිට දෙන්න.

එමලි හරි ආසයි කාර්ටූන් වල දකින කහ පාට ලස්සන School bus වලට. එමලි Verbal stimming කරන කොටත් ” School bus” කියලා නොනවත්වා කියනවා. ඉතිං මම හිතුවා එමලිව එයාගේ හිතේ තියන කහ පාට බස් එකකින් එයාගේ යාළුවො එක්ක පොඩි රවුමක් එක්කන් යන්න. කහ පාට පොඩි හුරුබුහුටි බස් එකකුත් හොයාගන්න පුළුවන් උනා.
Trip එක ගැන රූප ඇදලා මම එමලිට ඒත්තු ගැන්නුවා අපි ඔයාගේ Birthday එකට යාලුවො එක්ක Trip එකක් යනවා කියලා. ඒ යන්නේ කහ පාට School bus එකකින් කියලත් කිව්වා. දවස් කීපයක්ම එමලිට ඒක කියලා දුන්නම එමලි තේරුම් ගත්තා එයාගේ උපන්දිනයට තමයි මේ පොඩි Trip එක අපි යන්නේ කියලා.
එමලි කන්නේ තෝරගත්ත කෑම වට්ටෝරුවක්( Safe foods) උනත් ඉස්සරට වඩා දැන් වෙන වෙන කෑම try කරනවා.ඒත් හරිම පොඩ්ඩයි. මඟදි කෑම කයිද නැද්ද කියන එක දන්නේ නැති නිසා මම ගෙදරින් යන්න කලින් ලොකු සීරියල් කෝප්පෙකුයි යෝගට් දෙකකුයි කොහොම හරි කවාගත්තා. එමලි එදා ඉදන් අද වෙනකල් කන්නේ වයස අවුරුදු 1/3 ත් අතර බබාලට තියන nestle cereal එක විතරයි.
ගෙදරින් යන්න කලින් උදේ එමලි කුස්සියට ආවේ හයියෙන් තාලෙට ” Happy Birthday to you ” කියාගෙන.ඉතිං අපිට ඒකට තවත් සතුටුයි. පේජ් එකත් එක්ක අලුතින් එකතු වෙලා ඉන්න අය නොදන්න නිසා මම ආයේ මතක් කරන්නම් එමලි කියන්නේ minimally verbal බබෙක්.ඒ කියන්නේ එමලිගේ වාචික සන්නිවේදනය අවමයි. ඒ නිසා එමලි කියන හැම වචනයක්ම, වාක්‍යයක් ම අපිට ලොකු සතුටක් ගේනවා.
ඉතිං බස් එක දැක්ක ගමන් එමලිට පුදුමාකාර සතුටක් ආවා. ඒක එමලිගේ හීනයක් හැබෑ උනා වගේ වෙන්න ඇති කියලා මට හිතුනා.එමලිට විතරක් නෙමේ එයාගේ අක්කටත් හරි සතුටුයි. තනි සීට් එකක එමලි ඉදගත්තා. ටිකකින් Driving seat එකටත් යන්න හැදුවා. එමලිගේ යාලුවො ටික බස් එකට මඟින් නැග්ගම එමලිට තවත් සතුටුයි. එමලි මේ යාලුවන්ගෙන් වැඩියෙන්ම කැමති සනුක අයියට. එයා ලඟ ඉදගෙන ගියා ටික දුරක්.
neurotypical දරුවන් වගේ එමලි එයාගේ යාලුවො එක්ක සම්බන්ධ වෙන්නේ නෑ. ඒ කියන්නේ ලගට ගිහින් මූණ දිහා බලලා කතා බහ කරන සාම්ප්‍රදායික හැසිරීම එමලිගේ නැහැ. ඒක එමලිගේ අඩුවක් නෙමේ.ඒක තමයි එමලි ඔටිසම් වීම නිසාම එයාගේ සමාජ සම්බන්ධතා හැඩය.ඒ වගේම එමලිට වාචිකව සන්නිවේදනය කරගන්න තියන අපහසුව. එකම එක වෙලාවක සනුක අයියගේ මූණට එබිලා එමලි ” oops ” කියලා කිව්වට ඒක අයියට තේරුනේ නෑ.
මේ දවස් වල එමලිගේ එක හැසිරීම් රටාවක් තමයි ඩිවයිස් රීස්ටාර්ට් කරලා බලන එක.ඒකෙන් එමලිට ස්නායු උත්තේජනයක් ලැබෙනවා.ඉතිං මම්මාච්චිගෙයි, පුංචිගෙයි දෙන්නගෙම ෆෝන් රීස්ටාර්ට් කරලා බැලුවා. තාත්තාගෙයි අක්කගෙයි ඔරලෝසු දෙකම අතේ බැදගත්තා. සැරින් සැරේ ” Mommy cheese ” කියලා එයාගේ ෆොටෝස් ගන්න කියලා මට කිව්වා.
කෑම කන්න යන ගමන් Kfc එකට ගියාමත් එමලි හරි සතුටින් හිටියා. ටිකක් කෑමත් කෑවා.ඒකේ තිබ්බ Christmas tree එක දිහත් බලලා ටිකකින් අඩන්න ගත්තා එලියට යන්න. එතන බිම එක පාරට පෙරළුනා. ඉතිං එමලිගේ තාත්තා ටිකක් එලියේ පොද වැස්සෙම එමලිව ඇවිද්දවලා සන්සුන් කරා. පස්සේ බස් එකට ආයේ නැග්ගම එමලිගේ ඇඩිල්ල නතර උනා.
අපි ගියේ තේ වත්ත පල්ලියට. ඒ පරිසරය හරිම ලස්සන නිසා මට හිතුනා එමලි කැමති වෙයි කියලා.අපි ටිකක් ඇවිද්දා. ලාවට වැස්ස තිබ්බා. එමලි කොහොමත් වැස්සට කැමතියි. සනුක අයියට කිව්වා ටිකක් එමලිව අතින් අල්ලන් යන්න කියලා. එමලි කිසිම අකමැත්තක් නැතුව අයියා එක්ක ටික දුරක් පල්ලිය වත්තේ ඇවිද්දා. එහේ ටික වෙලාවක් ඉදලා වත්තේ හිටපු බලු ළමයි ටිකටත් බිස්කට් අරන් දීලා අපි ආයේ ගෙදර ආවා.
මේ ගමන එමලිට අමතක වෙන එකක් නෑ කියලා මට හිතෙනවා.ඒකට හේතුව කහ පාට බස් එකේ මේ පොඩි ගමන ගිය නිසා. මට ඕනේ වෙලා තිබ්බා එමලිට කේක් එකක් අරන් මගදි බස් එකේම ළමයි එක්ක කපන්න දෙන්න.ඒත් මහ වැස්සක් වහින්න ගත්ත නිසා ඒක කරන්න උනේ නෑ.ඒ කොහොම උනත් එමලි දන්නවා අපි මේ ගියේ එයාගේ Birthday එකට පොඩි Trip එකක් කියලා.

මුල් සබැඳිය : එමලිට අවුරුදු හතක්