එමලිට තියෙන්නේ spiky sensory profile එකක්. ඒ කියන්නේ එමලිට සමහර සංවේදන වල සංවේදීතාවය අවමයෙන් දැනෙන කොට තවත් සමහර සංවේදීතාවයන් අධිකව දැනෙනවා. එකම සංවේදන සංවේදීතාවය උනත් අඩු වැඩි වෙනවා. මේ අඩු වැඩි වීම සිද්ධ වෙන්නේ හරිම Uneven විදියට. උදාහරණයක් විදියට එමලි ආලෝකයට සහ චලනයන්ට ඉතා අධිකව සංවේදී. ඒත් බඩගින්න , වේදනාව ,උශ්නත්වය වගේ Body signal වලට අවම සංවේදී. ඒ වගේම මඩ, Slime ,පස් , වතුර වගේ ඕනේම දෙයක් ඇල්ලුවට බත්, Noodles ,Pasta වගේ කිසිම කෑමක් අතින් අල්ලන්න කැමති නෑ. ලයිට් එක දාන සද්දේට පවා එමලි අධික සංවේදී උනාට උපරිම Volume එක දාලා Keyboard එකේ Music play වෙන්න දානවා. සමහර කෑම සුවදවල් වලට වමනේ යන තරම් සංවේදී වෙනකොට සැර පර්ෆියුම් සුවඳට කැමතී.
එමලිගේ Sensory system එක අසමබරයි. මේ නිසා එමලිගේ මනස හරි ඉක්මනට අධිකව නොසන්සුන් වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා තමයි එමලිට Routines ,pattern ගොඩක් ඕනේ වෙන්නේ. ඒ හරහා තමයි එමලි එයාගේ අසමබර Sensory system එකයි නොසන්සුන් මනසයි සමබරව තියාගන්න උත්සාහ කරන්නේ.
මේකයි පැහැදිලිව මම නිරන්තරයෙන් කියන්නේ හැම ඔටිසම් දරුවෙක්ම එකිනෙකට වෙනස් කියන එක. ඒ දරුවන්ගේ අභියෝග ,කුසලතා වෙනස්. ඒ මත දරුවන්ට ලබා දෙන සහය වෙනස්. ඔටිසම් දරුවන් ඉන්න සෑම පවුලක්ම අනිවාර්යයෙන් තමන්ගේ දරුවන්ට සහය දෙන්න නං ඔටිසම් ගැන දැනුවත් වෙන්නම ඕනේ. එහෙම නැතුව දරුවන්ගේ ස්නායු විවිධත්වය නිසාම ඒ ඒ දරුවන්ගේ වෙනස් වූ හැසිරීම් සහ අවශ්‍යතාවයන් වටහා ගන්න අපහසු වෙන්න පුළුවන්.
එමලිගේ මේ Spiky sensory profile එක නිසාම එමලි නිතරම එක එක Pattern , routines හදාගන්නවා. ඒත් ඒවා හරහා එමලි මානසික සන්සුන් බවක් ලබා ගන්නේ උපරිම සති දෙකක් වගේ කාලයක් විතරයි. ඊට පස්සේ සිද්ධ වෙන්නේ ඒ Routines ,pattern අධික නොසන්සුන් තාවයක් දක්වා පරිවර්තනය වෙලා එමලිට ඒවා දරාගන්න අපහසු වෙන එක. ඒ නිසා මෙන්න මේ දරාගන්න අපහසු වෙන තැන සීමාව ඉක්මවලා යන්න කලින් මම කරන්නේ ඒ Routines , pattern හෙමින් වෙනස් කරන එක.
දැන් කෙනෙක්ට අහන්න හිතෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ඇයි මේ Routine සහ Pattern හදාගන්නකොටම වළක්වන්න බැරි කියලා. උත්තරය තමයි අපිට එහෙම කරන්න බැරි ඒ හරහා ඒකෙන් දරුවාගේ මනස සන්සුන් වෙන්න ගන්න උත්සාහය අපි වළක්වන නිසාත් ඒක ස්නායු පද්ධතියට කොහෙත්ම සෞඛ්‍ය සම්පන්න නොවන නිසා. එතකොට සිද්ධ වෙන්නේ දරුවාගේ Brain එක නිතරම Fight mode එකේ තියන එක. දරුවාට දැනෙනවා එයා ඉතා අනාරක්ෂිතයි කියලා.ඒක හරියට උදාහරණයක් එක්ක පැහැදිලි කරොත් ඔයා ඉතාම ආසාවෙන් සහ උත්තේජනයකින් බීජ වපුරලා ඒවා පැළ දක්වා ගොඩ නැගෙන හැටි බලන් ඉන්නකොට කෙනෙක් ඇවිල්ලා ඔයාගේ පාත්තිය සම්පූර්ණයෙන්ම විනාස කරලා දාලා යනවා වගේ. එතකොට ඔයාට ඇති වෙන මානසික පීඩනය, වේදනාව, මානසික නොසන්සුන්තාවය වගේම තමයි ඔටිසම් දරුවන්ට එයාලගේ Pattern , Routines වලට බාධා කරලා නතර කරන එකෙන් දැනෙන්නේ. ඒ නිසා අපි කරන්න ඕනේ දරුවාට හිරිහැරයක් හෝ දරුවාගෙන් අනෙකාට හිරිහැරයක් නැති Routine , pattern පවත්වාගෙන යන්න සහය දෙන එක.
දැන් එමලිගේ හැඩය මත සිද්ධ වෙන්නේ එයා විසින් මානසික සන්සුන්බව සහ උත්තේජනය ලබා ගන්නත් Sensory system එක සමබරව පවත්වාගෙන යන්නත් හදා ගන්න Routines ටික කාලයක් යනකොට එමලිටම දරාගන්න බැරි වෙන එක. ඒක හරියට බීජ වපුරලා පැළ ගොඩනැඟෙනකොට ඒක රැකබලාගන්න සහ ඒවා කළමනාකරනය කරගන්න එක මනසට අධික පීඩාවක් ගේනවා වගේ.
එමලිට තේරෙන්නේ නෑ එයාගේ මනස වෙහෙස වෙලා වැඩී සහ දරාගන්න පුළුවන් කැපෑසිටි එකට එහා ගිගින් කියලා. එතනිදී එමලිට මගේ සහය අවශ්‍ය වෙනවා ඒ Routines වෙනස් කරගන්න.
දැන් මම හිතන්නේ සති තුනක් හෝ මාසයක් එමලි සාලේ තියන Keyboard එකේ Music Auto play වෙන්න දාන්න අරන්. Full volume එකට දාල මේ Music එක දවස පුරාම Play වෙනවා. ඒ වගේම තමයි කිසිම වීඩියෝ එකක් Tv Show එකක් සද්දේ නැතුව අවුරුදු දෙකකට කිට්ටු වෙන්න බලපු එමලි එක පාරටම ඒවා සම්පූර්ණ සද්දෙන් අහන්න පටන් ගත්තා. දැන් මම මේක පටන් ගන්නකොටම දන්නවා කොයි මොහොතක හරි මේක එමලිට දරාගන්න අපහසු තැනක් එනවා කියන එක. ඒත් මේක ආරම්භයේදී එමලි ඒ හරහා ලොකු මානසික උත්තේජනයක් ගත්ත නිසා මම කරේ එමලිගේ හැසිරීම මොනිටර් කරගෙන හිටපු එක.
අපිත් මේ සද්දය දරාගැනීමේ උපරිමයකට ඇවිත් හිටියේ. උදේ එමලි නැගිට්ට වෙලේ ඉදන්ම රෑ නින්දට යනකල්ම ගෙදර Musical show එකක් වගේ සද්දේ. ඒ අතර එමලි Tv එකේ ” Kids camp ” channel එකේ වීඩියෝ බලන්න ගත්තා Volume එක 100 ට වැඩි කරන්.ඒක පොඩ්ඩක්වත් අඩු කරනවට කැමති උනේ නෑ. ඒත් එක්කම අලුත් වචන සහ වාක්‍ය Kids camp videos හරහා කොපි කරන් කියන්න ගත්තා. මම ඒක පාවිච්චි කරලා Language model කරන්න ගත්තා.
දැන් මේ අලුත් හැසිරීම ටිකෙන් ටික Intense Behavior එකක් වෙන්න පටන් ගත්තා. මේ Intense Behavior එකක් කියන්නේ නරක හැසිරීම් වත් මුරන්ඩු හැසිරීම්වත් නෙමේ. Routines ස්නායු පද්ධතියට දරාගන්න බැරි තැනකට පත් වීම පිටතට පෙන්නුම් කරන හැසිරීම්. එකක් තමයි ඩිවයිස් වල Brands Names බලන්නයි ෆෝන්ස් රීස්ටාර්ට් කරන්නයි ගත්ත නිසා. දකින හෝ යන තැනක ඉන්න නන්නාඳුනන අයගේ ෆෝන්ස් පවා රීස්ටාර්ට් කරලා බලන්න එමලිට ඕනේ උනා. ඒ වගේම ගෙදරින් එලියට යනකොට Keyboard එකෙ Music එක Off කරන්න ඉඩ දුන්නේ නෑ. එමලිට ගෙදරින් ගිහින් ආයේ ගෙදරට එනකොට ඒ Music එක Play වෙවී තියෙන්න ඕනේ.
දැන් ටික ටික මේ Environment එක එමලිගේ මනස සන්සුන් කරනවා වෙනුවට නොසන්සුන් කරනවා කියන එක පෙන්වන ලක්ශණ මතු වෙන්න ගත්තා. ඒක තමයි එමලි එක පාරට අඩන්න ගත්තා අධික උත්තේජනය නිසා. හරිම නොසන්සුන් බවක් පෙන්නුවා. Keyboard එකේ Music එක නතර උන ගමන් හයියෙන් අඩාගෙන ඉක්මනට ඒක ආයේ දැම්මා. නින්දෙන් සැරින් සැරේ ඇහැරිලා Verbal stimming කරන්න ගත්තා. verbal stimming කියන්නේ දරුවන් මනස සන්සුන් කරගන්න එකම ආකාරයේ ශබ්ධ, වාක්‍ය හෝ වචන රිපීට් කිරීම.
ඉතිං මම එතකොට දන්නවා එමලිගේ Routines , pattern වෙනස් කරන්න කාලය හරි කියලා. දැන් අපිට හිතුන ගමන් හිතුන හැටියට මේක කරන්න බෑ. ඒකෙන් දරුවාගේ හැසිරීම වෙනස් වෙන්න පුළුවන්. Sensory overload වෙන්න Autistic burnout එකකට යන්න පුළුවන්. ඒ නිසා Routine එකක් වෙනස් කරන්න නං ඒ Routine එක හෝ Pattern එක හරහා දරුවා ලබා ගන්නා මානසික උත්තේජනය ගැන වටහාගන්න ඕනේ. ඒවා හා දරුවාගේ Sensory profile එක අතර තියන සම්බන්ධය වටහා ගන්න ඕනේ. උදාහරණයක් විදියට දරුවෙක් වහලෙට ගල් ගහලා ඒ හරහා යම් උත්තේජනයක් ලබා ගන්නවා නම් ඒක සම්බන්ධ වෙන්න පුලුවන් දරුවගේ ශබ්ධ සංවේදන සංවේදීතාවයට. එතකොට අපි ඒ හැසිරීම වළක්වන්නේ දරුවාට ඒ හා සමාන උත්තේජනයක් ලබා ගන්න පුළුවන් වඩා හොද ,කාටවත් හිරිහැරයක් නැති දෙයක් Replace කරලා.
මුලින්ම මමයි එමලිගේ තාත්තයි කරේ ෆොන්ස් රීස්ටාර්ට් කරාම එන Logos වල ෆොටෝස් Google එකෙන් Download කරගත්ත එක. එමලි ගෙදරිදී ෆෝන් රීස්ටාර්ට් කරන්න කියලා කියනකොට අපි කරේ අර Download කරගත්ත ෆොටෝස් පෙන්නපු එක.එමලි ආයේ ආයේ රීස්ටාර්ට් කරන්නම ඉල්ලුවත් අපි දිගටම ඒක නොකර ෆොටෝස්ම පෙන්නපු නිසා එමලි ඒකෙන් සෑහීමකට පත් වුනා. දැන් මේ ක්‍රමයම අපිට ගෙදරින් එළියට ගියාම පාවිච්චි කරන්න පුළුවන්. ඕනේ නං එමලි ටිකක් අඩලා වෙන අයගේ ෆෝන්ස් ඉල්ලලා ඉදී. ඒත් කීප දවසක් යනකොට එමලිට ඒක කරන්න බැරි දෙයක් කියලා තේරුම් යයි. ඒ නිසා ෆොටෝස් සහ ඕනේ නං ෆෝන්ස් රීස්ටාර්ට් වෙන වීඩියෝ බලලා ඒ අවශ්‍ය ස්නායු උත්තේජනය ලබා ගෙන ඒ අවශ්‍යතාවය කළමනාකරණය කරගන්න ඉගෙන ගනී.
එතකොට ගෙදර එමලි හදාගෙන හිටපු Routine එකත් මම වෙනස් කරා. එමලි නිදාගත්තම මම කරේ Keyboard එක ගලවලා සාලෙන් අයින් කරපු එක. ඊට පස්සේ එමලිට ඒ වෙනුවට එයාගේ Toy keyboard එක පේන තැනකින් තිබ්බා. ඒකේ ඒ තරම් සද්දෙට music දාන්න බෑ. ඒත් එක්කම playdough පැකට් දෙකක් එක්ක playdough සෙල්ලම් කරන්න අවශ්‍ය දේවල් ටික සාලේ මැද බිමින් තිබ්බා. පාට පෑන් ටික තිබ්බා එමලිට අඳින්න ගන්න. මේ වගේ එමලිගේ මනස සන්සුන් වෙන්න පාවිච්චි කරන්න පුළුවන් දේවල් ටිකක් සාලේ එයාට පේන්න තිබ්බා. උදේ නැගිට්ටම එමලි මේ වෙනස් වීම එක පාරටම භාර ගත්තේ නෑ. පොඩි වෙලාවක් චුරු චුරු ගෑවා. ඒත් මම එමලිට Option එකක් දුන්නා Keyboard එකේ Loud music එක වෙනුවට Tv එකේ Kids camp channel එකකේ වීඩියෝස් බලන්න පුලුවන් කියලා. ඒකෙන් එමලිට පුලුවන් මනස සන්සුන් කරගන්න. ඒත් එක්කම Tv එකේ සද්දේ 100 Volume දාන්න කියලා එමලි කිව්වම මම හරිම සන්සුන්ව කිව්වා 100 ක් බැහැ ඒත් 30 ක් පුළුවන් කියලා. පොඩ්ඩක් චුරු චුරු ගෑවට සද්දේ 30ට දාගෙන ඒකෙන් සෑහීමකට එමලි පත් උනා. තිබ්බ Pattern , Routines වෙනස් වුනාම ඒකෙන් එමලිගේ මනස කලබල නොවුන හේතුව අපි තිබ්බ පරිසරය වෙනුවට එමලිට ඊට සමාන ඒත් Intense නැති පරිසරයක් ලබා දුන්න නිසා. දැන් ආයෙත් එමලි පරණ විදියට මනස සන්සුන් කරගෙන කිසිම කළබලකාරී හැසිරීමක් නැතුව සුපුරුදු විදියටම ඉන්නවා. අපිටත් මනසට ලොකු සැනසීමක්.
මෙන්න මේ වගේ තමයි මම එමලිට එයාගේ මනසට හිරිහැරයක් වෙන එයාගෙම Routines වලින් එළියට එන්න සහය දීලා මනසට වඩා පහසු Routines සහ Pattern Replace කරගන්න ඉඩ දෙන්නේ.
