මං හරි කැමතියි එමලිගේ Play දිහා බලන් ඉන්න. එක හේතුවක් තමයි ඒ හැම Play එකක්ම එයාට කැමති විදියට හදාගෙන කරන ඒවා. එතකොට ඒ දිහා බලන් ඉන්නකොට මට තේරුම් ගන්න පුලුවන් එමලිගේ Cognitive development හැඩය. ඒ Play වලදී එමලි මූණ දෙන ගැටලු විසදගන්න එයා ගන්න ක්‍රියාමාර්ග, කොහොමද සෙල්ලම නිර්මාණය කරගන්නේ, හිතන්නේ, ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ වගේ දේවල්. දැන් හෙට එමලි ආයේ මේ Play එක කරනකොට මුලින්ම කරන්නේ මේ වතුර බේසම් දෙකේ වතුර තනියම බේසම් උස්සලා අයින් කර ගන්න එක. ඊට පස්සේ වතුර පුරවනවා. තනියම ටැප් එක ඇරගෙන ලොකු බෝතලේ සමබරව බිම තියලා වතුර පුරවලා වැටෙන්නේ නැතුව ඒ බර බෝතලය උස්සන් එනවා. ඊටත් පස්සේ හරියට බේසමට වතුර ටික දාගන්නවා. මේවා අපිට ප්‍රායෝගික ජිවිතේදී අවශ්‍ය කරන කුසලතා. ඒ නිසයි අපි කියන්නේ දරුවන් එයාලගේ සෙල්ලම් හරහා ගොඩක් දේවල් ඉගෙන ගන්නවාය කියලා.
අනික් එක තමයි මනස සන්සුන් කරගන්න දරුවන් පාවිච්චි කරන ක්‍රම වලින් එකක් තමයි Play. හැම play හැඩයක්ම එකම වගේ නෑ. සමහර වෙලාවට කොළ ඉර දාන එක, වතුර පුරවලා විසික් කරන එක, toys සද්දේ ඇහෙන්න විසික් කරන එක වෙන්න පුලුවන් මේ හැමදේකින්ම ඔටිසම් දරුවන් තමන්ගේ මනසට අවශ්‍ය උත්තේජනය ලබා ගන්න උත්සාහ කරනවා. ඒ අතරම සංවේදන අවශ්‍යතා සපුරා ගන්නවා. එමලි ගොඩක් සෙල්ලම් කරන්නේ එමලිගේ මනස සන්සුන් කරගන්න. එමලිට තියනවා ඔටිසම් විවිධත්වය එක්ක බැඳුණු තවත් තත්ත්වයක් . ඒක තමයි Sensory processing condition. ඒ කියන්නේ එමලිගේ මනසේ අවට හා තමන් ගැන දැනෙන දැනීම කළමනාකරණය වෙන්නේ ඉතාම වෙනස් විදියකට. මේකෙන් වැඩියෙන්ම එමලිට බලපාන්නේ දෘශ්‍ය සංවේදන සංවේදීතාවය විටෙක අවම වීමත් විටෙක අධිකව දැනීමත්. ඉතිං මේ හැමදේම එමලි දරාගන්න උත්සාහ කරන්නෙ එක එක විදියේ Play හරහා. ඒකයි අපේ මූලිකම ඉලක්කය එමලිගේ මනස සන්සුන් කිරීමට යොමු වෙලා තියෙන්නේ.
