එමලිව අපි අරගෙන යන්නේ ගෙවල් වලට ටිකක් ලඟ බීච් එකකට. එමලි එතන්ට කියන්නේ ” Milkshake beach ” කියලා. ඒකට හේතුව ඒ යන හැම පාරම අපි එමලිටයි අක්කටයි Chocolate milkshake අරන් දෙන නිසා. එතකොට මේ යන ගමනේ Routine එකක් විදියට Milkshake එක බොන එකත් එමලි එකතු කරන් තියනවා.

මෙතන්ට යන්න අපිට තැන් දෙකක රේල් පාරවල් දෙකක් පහු කරන්න වෙනවා. ඒ හැම වෙලාවෙම එමලි හයියෙන් කියනවා ” ,No Sounds ” කියලා. හේතුව එමලිට කෝච්චියේ ශබ්ධය දරාගන්න අපහසු වීම.කෝච්චියක් ආවත් නැතත් කෝච්චි පාරක් දකිනකොට එමලිගේ මනසට කෝච්චියෙන් එන අධික ශබ්ධය මතක් වෙනවා. මේක Sensory memory එක. තමන්ට සංවේදන සංවේදීතාවය දරාගන්න අපහසු උන අවස්ථාවන් සම්පූර්ණයෙන්ම දරුවාට ඉතා තදින් මතක තියනවා. ඒ නිසා එමලිට රේල් පාරක් දැක්කම කෝච්චිය නැති උනත් බ්‍රේන් එක අනතුරු අඟවනවා අතීතයේ දවසක ඇහුන ඒ දරාගන්න අපහසු කෝච්චියේ ශබ්ධය ගැන.මෙන්න මේ Memory Pattern එක නිසා තමයි ඔටිසම් දරුවන්ව හැකිතාක් පීඩාකාරී අත්දැකීම් වලට නිරාවරණය නොවෙන්න අපි වගබලාගන්න ඕනේ. ඉතිං අපි එමලිට ආයේ ආයෙත් මේ වෙලාවේ මතක් කරනවා බය වෙන්න එපා.කෝච්චිය එන්නේ නෑ කියලා.හදිස්සියේවත් කෝච්චිය ආවොත් එමලි ශබ්ධය අවම වෙන Headphones දාගෙන ඉන්න නිසා එයාට ඒ ශබ්ධය හිරිහැරයක් වෙන්නේ නෑ.

අපි අද යන වෙලාවේ කට්ටිය මා දැලක් අදිනවා. එමලිට තේරුම් ගන්න පුළුවන් විදියට අපි සරළව පැහැදිලි කරා ඒ කරන්නේ මාළු අල්ලන එක කියලා.

අද උන තවත් සිද්ධියක් තමයි අපේ නරක වෙලාවට Milkshake නෑ කිව්වා. එතන Villa එකේ blender එක කැඩිලා. එමලි ඉදගත්ත ගමන් ඉල්ලන්නේ Milkshake. ඒක බොන්නම උවමනාවක් නැති උනත් අනිවාර්යයෙන් එමලිට Milkshake එක ඕනේ. හේතුව ඒක මේ බීච් එකට යන එකේ එක අනිවාර්ය සාධකයක් නිසා. මට ඇත්තටම දෙලොව රත් උනා එමලිට එයාගේ Milkshake එක නැති එක මනසට දරාගන්න කොයිතරම් අපහසු වෙයිද කියන එක ගැන හිතලා. අද Milkshake නෑ කියලා කියනකොටම එමලි චුරු චුරුව පටන් ගත්තා. පස්සේ මම හිතුවා මේ Routine එක බාධා නොවෙන්න මොනවාම හරි තියන Drink එකක් ගෙන්න ගන්නවා කියලා. තිබ්බේ කොකා කෝලයි, ස්ප්‍රයිට් දෙක විතරයි. ඒ දෙකම ගෙන්න ගත්තට පස්සේ එමලි ඒ දෙකෙම ටිකක් රහ බලලා අයින් කරා. ඒත් එමලි ලොකුවට කලබල උනේ නැත්තේ එයාගේ Routine එකට බාධාවක් නොවෙන්න Drinks මේසෙට ආව නිසා. ඉතිං මෙහෙම නොවුනා නං අද දවසම එමලිගේ Mood එක ගොඩක්ම අප්සෙට් වෙන්න තිබ්බා. අපි ගෙදර යන ගමන් එමලිට කොත්මලේ Chocolate drink එකකුත් අරන් දුන්න නිසා එයාගේ Mood එක හොදින් තිබ්බා.

ඇයි දැන් බහුතරයක් ඔටිසම් දරුවන්ට වගේම පුද්ගලයින්‍ට තමන් විසින් පවත්වාගෙන යන පිළිවෙළක්, රටාවක්, එකම ආකාරයේ චර්‍යාවකට බාධා වුනාම මනසට දරාගන්න අපහසු වෙන්නේ?

එකක් තමයි මොළය ඉතා සන්සුන්ව පවතින්නේ තමන්ට පාලනය කරගන්න පුළුවන් ඉතා සාමකාමී තත්ත්වයන් වලදී. අනපේක්ෂිත සිදුවීම් කළමනාකරණය කරගන්න මොළයට දරන්න වෙන වෙහෙස නිසා ඉතා ඉක්මනින් මනස නොසන්සුන් වෙන්න පුළුවන්..ගෙදරට අමුත්තන් එන එක, අලුත් සෙල්ලම් බඩු,ඇඳුම්, අලුත් කෑම වර්ගයක්, ගෙදර ගෘහ භාණ්ඩ වෙනස් වීම, අලුත් ශබ්ධ, පන්තියකින් තව පන්තියකට මාරු වීම පවා මනසේ සාමකාමීත්වයට බාධාවක් වෙන්න පුළුවන්.

ඒ වගේම තමයි Executive function difference එකත් හේතුවක් වෙනවා. ඒක තවත් පැහැදිලි කරොත් තමන්ගේ සුපුරුදු සැළසුමක් , රටාවක් හෝ පිළිවෙළකට බාධා වුනාම ආයේ අලුත් සැලසුමක් නිර්මාණය කිරීමට මොළයට වෙහෙස වෙන්න සිදුවීම හා එය අසීරූ වීම.දැන් එමලි ලස්සනට පිළිවෙළට හදන් ඉන්නවා බීච් එකට යන සැළසුම.එතන්ට ගියා, බීච් එකේ ඇවිද්දා, ආයේ ඇවිල්ලා ඉදගත්තා, Milkshake එක බිව්වා, ගෙදර ආවා. මෙන්න මේ පිළිවෙළ ඉතාම සාමකාමීව ඉදිරියට ඇවිල්ලා එක තැනකදී බිද වැටෙනවා.ඒක තමයි Milkshake එක නැති වීම.දැන් මේකට මොකක්ද කරන්නේ, අලුත් ප්ලෑන් එකක් හදගන්න ඕනේ, මම ඒ වෙනුවට බොන්නේ මොනවද වගේ හිතලා අලුත් ප්ලෑන් එකක් හදාගන්න එමලිට අපහසුයි.ස්විච් එකක් On, off වෙනවා වගේ එහෙම ස්නායු වලට තොරතුරු කළමනාකරණය කරගන්න බෑ. හේතුව ඔටිසම් නිසා. එතකොට මේ වුන බාධාව නිසා මනස ඉතාමත් නොසන්සුන් වෙලා අඩන්න,කෑ ගහන්න, බිම පෙරළෙන්න පුළුවන්. ඒක මුරන්ඩු හෝ නරක හැසිරීමක් නෙමේ. දැන් මෙහෙම මනස කළබල උනාම ඔටිසම් දරුවන් එකම ක්‍රියාව ආයේ ආයේ රිපීට් කරනවා.උදාහරණයක් විදියට අතක් කරකවනවා.දණ හිසට තට්ටු කරනවා, කොණ්ඩේ අත ගානවා, එකම සිංදු කෑල්ල , වචනය මුමුණනවා වගේ දේවල් කරන්න පුළුවන්. ඒ කරන්නේ අර නොසන්සුන් උන මනස සන්සුන් කරගන්න. ඉතිං එතකොට මේවා අසාමාන්‍ය හැසිරීම් කියලා ලමයට බැනලා නතර කරන්න ගියාම වෙන්නේ ඒ දරුවගේ මානසික පීඩනය තව දෙගුන තෙගුණ වෙන එක. ඊට පස්සේ දරුවා අම්මට තාත්තට පහර දෙනකොට දරුවා Aggressive කියලා ඩොක්ටර් ලගට ගිහින් අධි මාත්‍රා ඖෂධ දෙනවා.ඒත් අපි කරන්න ඕනේ දේ තමයි හැකිතාක් මනස සන්සුන් කරගන්න දරුවට ක්‍රමයන් හදුන්වා දෙන එක.

එමලිට මානසික පීඩනයක් ඇති නොවෙන්න ඒ වෙලාවේ වෙන Drinks ගෙනල්ලා දීලා එයාගේ පිළිවෙළ සම්පූර්ණ කරපු නිසා හැමදේම ආයේ සාමකාමී තත්ත්වයට පත් උනා. ඉතිං ඔටිසම් දරුවෙක්ගේ අවශ්‍යතා කියන්නේ මෙන්න මේ විදියට දරුවාව වටහාගෙන සහය දීම මිසක් මතු පිටින් පෙන්වන හැසිරීම් බලෙන් වැළැක්වීම නෙමේ.

මුල් සබැඳිය : එමලිගේ Milkshake beach