මේ දවස් වල එමලි එයාගේ chewing necklaces එක දාගෙන ඉන්නේ. ඒකට හේතුව එමලිගේ Sensory need එකක් නිසා එයාට අතට අහු වෙන හැමදේම හපන්න හිතෙනවා.පැන්සල්, Toys,ටීශර්ට්, ප්ලාස්ටික් බෝතල් පියන් වගේ හැම දේම අතට අහු උන ගමන් හපනවා. මේක වෙන්නේ Strong Oral input need එකක් නිසා. ඉතිං ස්නායු පද්ධතිය සන්සුන්ව තියාගෙන යන්න එමලි කරන්නේ අතට අහුවෙන දෙයක් කටේ දාන් බුලත් හපයක් වගේ ඒක හපන එක. අන්න ඒ වගේ Sensory need එකකට අපිට පාවිච්චි කරන්න පුලුවන් chewing necklaces එකක් හරි chewing tube එකක් හරි. අර පොඩි බබාලා දත් එන කාලෙට හැමදේම හපන්න උත්සාහ කරනකොට අපි හපන්න දේවල් අතට දෙනවා වගේ. මේ හැම දේම අපි ස්වාභාවිකව වටහාගන්නකොට ඇයි ඔටිසම් දරුවන්ගේ අවශ්‍යතා විතරක් බහුතරයක් අය වටහා ගන්නේ නැත්තේ කියන එක මට ප්‍රශ්නයක්. මම ඇයි මෙහෙම කියන්නේ කියලත් පැහැදිලි කරන්නම්.
බහුතරයක් අය හිතනවා ඔටිසම් දරුවන් එයාලට මානසිකව සහ ශාරීරිකව දැනෙන අපහසුතා දරාගෙන ඉන්න පුරුදු වෙන්න ඕනේය කියලා. ඒක හරිම අසාධාරණයි වගේම අමානුශික සිතුවිල්ලක්. ඇයි හැම දරුවෙක්ටම , මනුස්සයෙක්ටම පහසුවෙන් ජීවත් වෙන්න අයිතිය තියෙද්දී ඔටිසම් දරුවන් විතරක් එයාලට දැනෙන අපහසුතාවයන් වැඩිහිටියන්ට බයේ සහ සමාජ විනිශ්චයන් ට බයේ සඟවාගෙන දරාගෙන ඉන්න ඕනේ.
අපි පොඩි කාලේ ඉඳන්ම ඔටිසම් දරුවන්ට එයාලගේ අභියෝග කළමනාකරනය කරගන්න සහය දෙන්න පටන් ගත්තම ඒ දරුවන් ඔවුන්ගේ ස්නායු විවිධත්වය මත උපරිම උත්සාහ ගන්නවා තමන්ගේ අභියෝග තමන්ම ස්වාධීනව කළමනාකරනය කරගන්න. උදාහරණයක් විදියට එමලි එයාට නොයෙක් ආගන්තුක ශබ්ද වලින් ඇති වෙන්න පුලුවන් අපහසුතාවය වළක්වා ගන්න ” Noise Cancelling Headphones ” පාවිච්චි කරනවා. මේක අපි එමලිට දාන්න අවශ්‍ය නැහැ. ගෙදරින් එළියට යනකොට සපත්තු දාන්න ඕනේ, වහිනවා නම් කුඩේ අරන් යන්න ඕනේ කියලා හිතනවා වගේම තමයි එමලි ගෙදරින් එළියට යනකොට අනිවාර්යයෙන් මුලින්ම කරන්නේ දුවලා ගිහින් headphones දෙක දාගන්න එක. ඒක හරියට දුර්වල ඇස් පෙනීමක් තියන දරුවෙක් ඇස් කණ්ණාඩි දෙකක් පාවිච්චි කරනවා වගේම තමයි. අපි දරුවට කියන්න ඕනේ නෑ අමුතුවෙන්. දරුවා දැන් ඉඳන්ම දන්නවා තමන්ගේ අපහසුතාවයන් කළමනාකරනය කරගන්නේ කොහොමද කියන එක.
දැන් අපි Loud speaker එකක් ලග හිටන් ඉන්නවා කියල හිතන්න. ඒ සද්දෙ අපේ මොළය අස්සටම යනවා.දරාගන්න හරිම අපහසුයි. ඔළුව රිදෙන්න ගන්නවා.අවට කිසිම දේකට අවධානයක් දෙන්න බෑ.අපි ඉක්මනට එතනින් ඉවත් වෙනවා හෝ කන් වහගන්නවා. දැන් කාට හරි පුලුවන් ද අපිට බලපෑම් කරන්න කන් වහගන්න එපා. සද්දේ දරාගෙන කොහොම හරි ඉන්න කියලා. මේකම තමයි ඔටිසම් දරුවන්ට අපහසුතාවයන් දරාගන්න,පුරුදු වෙන්න කියලා බලපෑම් කරන එකත්.
දරුවෙක්ගේ අපහසුතාවයන් නොසලකා හැරීම හරහා අපි දරුවට උගන්නන්නේ , ඒත්‍තු ගන්වන්නේ body signals ගණන් ගන්න එපා කියන එක. අපහසුතාවයෙන් ඉන්න කියන එක. දරුවගේ අවශ්‍යතා සහ අපහසුතා විශ්වාස කරන්නේ නෑ කියන එක. එතකොට මෙහෙම දිගින් දිගටම කරාම අධික ආතතිමය තත්ත්වයකට දරුවා මුහුණ දෙනවා. Meltdowns / shutdowns ඇති වෙනවා. තමන් ගැන විශ්වාසය නැති වෙලා තමන් තුළ යම් වරදක් තියනවා කියලා හිතන්න ගන්නවා. පොඩි කාලේ ඉදන්ම තමන්ගේ අපහසුතා වැඩිහිටියන්ට බයේ දරාගෙන සහ සඟවාගෙන ඉඳලා ඒ පීඩනය යම් වයසකදී පිටතට පුපුරා යනවා.
autistic anatomy එකට ගෞරව කරනවා කියන්නෙ අපි පිළිගන්නවා කියන එක ඔටිසම් පුද්ගලයින්ගේ ශරීරය සහ මනස එකිනෙකට සම්බන්ධ වී තියෙන්නේ විවිධත්වයෙන් කියන එක.
එමලි අතට අහු වෙන දේවල් කටේ දාගෙන හපන හැම වෙලාවෙම මම එයාට chewing necklaces එක දාලා කියනවා මේක හපන්න කියලා.ඒ නිසා එමලි දන්නවා එයාගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න වඩා ආරක්ෂාකාරී ක්‍රමයක් තියනවාය කියන එක. මේ නිසා එමලිට නියපොතු හපන්න, ඇදන් ඉන්න ටීශර්ට් එක හප හපා ඉන්න ඕනේ වෙන්නේ නෑ. අපි පොඩි කාලේ ඉදන්ම මේ වගේ Safe විකල්ප එමලිට ලබා දෙන නිසා එමලි දැන් දෙපාරක් නොහිතා ගොඩක් වෙලාවට ඒ අපි ලබා දෙන විකල්පයට කැමති වෙනවා. ඒ නිසා ඒක මටත් ලොකු පහසුවක්.
