එමලිගේ මී ආච්චි ඒ කියන්නේ මගේ ආච්චි අම්මට අපි කියන්නේ සුදු අම්මා කියලා. සුදු අම්මව එමලි අදුරනවා. ඒත් එමලිට වැටහීමක් නෑ සුදු අම්මා කියන්නේ මගේ ආච්චි අම්මා කියන ඒ නෑදෑකම, නෑදෑ සම්බන්ධකම් ගැන එමලිට වැටහීමක් නැති හේතුවත් මම කියන්නං.
දැන් එමලිට තේරුම් ගන්න පුලුවන් Concrete relationships.ඒ කියන්නේ තමන්ට දකින්න පුළුවන් , ඍජුව අත්දකින සම්බන්ධතා. උදාහරණයක් විදියට එමලි මාව හඳුනාගන්නවා ” අම්මා” කියන චරිතයෙන්. එයාව රැක බලාගන්න, කෑම කවන, ලග ඉන්න මේ හැමදේම එමලි ප්‍රායෝගිකව අත්දකින නිසා එමලි මාව එයාගේ අම්මා කියලා හදුනගන්නවා. ඒ වගේම තමයි එමලිගේ තාත්තා සහ අක්කවත්, ආච්චි අම්මවත්.
ඒත් මේ සම්බන්ධතා යටින් තියන Invisible , Abstract idea එක එමලිට තේරෙන්නේ නෑ. ඒ කියන්නේ අම්මායි තාත්තයි එකිනෙකාව Marry කරලා ඉන්නේ, අක්කව අම්මට මුලින්ම හම්බුනා, එයාගේ මම්මාච්චි කියන්නේ මගේ අම්මා, මී ආච්චි කියන්නේ මම්මාච්චිගෙ අම්මා කියන පිටතට පේන්නේ නැති සම්බන්ධතා හැඩයන් එමලිට වටහා ගන්න බෑ.
දැන් තවත් මේක පැහැදිලි කරොත් හිතන්නකො ඔයා එමලිව බලන්න නිතරම එනවා.එයා කැමති දේවල් ගේනවා.මම එමලිට ඔයාව හදුන්වා දෙනවා මේ ඉන්නේ ඔයාගේ නැන්දා කියලා. එමලි ” නැන්දා” කියන නමින් හදුන්වන චරිතය විදියට එයා කැමති දේවල් අරන් නිතරම එයාව බලන්න එන පුද්ගල හැඩය තමයි හදුනාගන්නේ. එහෙම නැතුව නැන්දා කියනකොට තියෙන්න ඕනේ ඒ නෑදෑ සම්බන්ධකම එමලිට තේරුම් ගන්න අපහසුයි.
තවත් සරළවම කිව්වොත් එමලිට ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් සම්බන්ධතා හැඩයන් විතරයි එමලිට දැනට වටහා ගන්න පුළුවන්. එමලි ටික ටික ලොකු වෙනකොට එයා සූදානම් කාලේ මේ දේවල් ගැන එමලි තේරුම් ගනී.ඒ කාලෙට මට පුලුවන් සම්බන්ධතා ගැන එමලිට කියලා දෙන්න.
මට කියන්න ඕනේ උනේ මේ නෑදෑ සම්බන්ධතා ගැනම නෙමේ. එමලිගේ සුදු ආච්චිගේ වයසත් එක්ක එයාට එමලිගේ හැඩය ගැන තේරෙන්නේ නෑ. එමලි ඇයි කතා කරන්නේ නැත්තේ කියලා සුදු අම්මා කවමදාකවත් මගෙන් අහලා නෑ. එමලි ඉංග්‍රීසි වචන දෙක තුනක් කියනකොට සුදු අම්මා හිතන්නේ එමලි කතා කරන්නේ ඉංග්‍රීසියෙන් කියලා. ඒත් එක්කම මට මතකයි දවසක් සුදු අම්මා කිව්වා වැඩිය කතා නොකර ඉන්න දරුවෙක් නෙ එමලි කියලා. ඊයේ මම සුදු අම්මව බලන්න ගියාම සුදු අම්මා මගෙන් ඇහුවා දැන් එමලි ඉස්කෝළේ යනවද කියලා.එයාට එහෙම ලොකුවටම කල්පනාවක් නෑ දැන්. ඉතිං මම එමලිට Homeschooling කරන්නේ කියලා ඒ විස්තර කියන්න ගියේ නෑ. එයාට ඒවා තේරුම් ගන්න සංකීර්ණ වැඩී. ඉතිං මම කිව්වා ඔව් ඉස්කෝළේ යනවා කියලා.ආයේ ඇහුවා කීය වසරෙද ඉන්නේ කියලා.මම කිව්වා දෙක වසරේ කියලා. ආයේ ඇහුවා හොදට ඉස්කෝළේ වැඩ කරනවද කියලා. මම කිව්වා ඔව් කියලා.
මේ අතරේ එමලි මගේ අත අරන් සුදු අම්මට Point කරලා මේ කවුද කියලා ඇහුවා. මම කිව්වා මේ ඉන්නේ ” සුදු ආච්චි ” කියලා. ඊට පස්සේ එමලි රිපීට් කරන්න ගත්තා ” සුදු ආච්චි ෆෝන් ” කියලා. එමලිට ඕනේ උනේ සුදු ආච්චිගේ ෆෝන් එක රීස්ටාර්ට් කරලා බලන්න
. අපි ඒකට ඉඩ දුන්නේ නෑ.අපි ඒ වෙනුවට ඩවුන්ලෝඩ් කරපු ෆෝන්ස් බ්‍රෑන්ඩ්ස් වල Logos පෙන්නුවා. ඒක බැලුවම එමලිට ෆෝන් එක රීස්ටාර්ට් කරන උවමනාව නැති උනා.
ඔය වීඩියෝ එකේ සුදු අම්මා අහනවා එමලිගෙන් කීවෙනි පන්තියේද ඉන්නේ කියලා
එමලි ඒ අස්සේ සුදු අම්මගෙන් නොනවත්වාම ” සුදු ආච්චි ෆෝන්” කියලා ඉල්ලනවා. දැන් මෙහෙම වාචිකව ඉල්ලනවා මිසක් ඒක නොලැබුනා කියලා නොසන්සුන් වෙන්නේ , දිගින් දිගටම අඩ අඩා ඉල්ලන්නේ නෑ. ඒකට හේතුව එමලිට අපි අර Download කරපු Samsung , Nokia, Huawei,MI වගේ phones brands වල Logos පෙන්නන නිසා.
මම කිසිම වෙලාවක සුදු අම්මට එමලි ඔටිසම් කියලාවත් එමලිට වාචික සන්නිවේදනය අපහසුයි කියලාවත් කියලා නෑ. කියන්න අදහසකුත් නෑ. ඒකට හේතුව ඒවා වටහා ගන්න තරම් පැහැදිලි මානසිකත්වයක් , දැනුමක් මගෙ ආච්ච් අම්මට නැති නිසා. ඒත් ඒක නොකිව්වා කියලා ලොකු ගැටළුවක් නෑ. ආච්චි අම්මට එමලිගෙන් පේන්නේ මගේ පොඩි කාලේ. එමලි නිතරම එහා මෙහා ඇවිදිනකොට සුදු අම්මා මට මතක් කරනවා ” ඔයත් පොඩි කාලේ මෙහෙමයි” කියලා. මම මේක විශේශයෙන් කියන්නෙම සමහර නෑදෑයින් මට කලාතුරකින් හම්බුනත් කතා කරත් ඒ මොහොතේ බලන්නෙම හිත රිදෙන්න දේවල් අහන්න. අපිවත් නොදන්න අනාගතයක් ගැන හාර අවුස්සලා ප්‍රශ්න කරන එක තරම් මම අකමැති තව දෙයක් නෑ. කිසිම මනුස්සයෙක්ගේ අනාගතය නිශ්චිත එකක් නෙමේ.
එමලි එයාගේ සුදු ආච්චි දුන්න බිස්කට් නං පුටුවේ ඉදගෙන කෑවා.මට හිතෙනවා එමලිට එයාගේ මී ආච්චිගේ ආදරේ දැනෙන්න ඇති කියලා.
