එමලි පොඩි කාලේ එයාගේ හැඟීම් ප්‍රකාශ කරගන්න අපහසු උනාම සහ මනස සන්සුන් කරගන්න අපහසු උනාම එයාට අහු වෙන දේ අතට අරන් විසික් කරා. මේ බඩු විසික් කිරීම එයාගේ සන්නිවේදනය කියන එක මම තේරුම් අරන් මම කරේ ඒ වගේ වෙලාවට ඒ විසික් කරන බඩුව සන්සුන්ව අරන් අදාළ තැනින් හෝ එමලිට ගන්න බැරි තැනකින් තිබ්බ එක. බඩු විසික් කරලා තමන්ගේ මනස සන්සුන් කරගන්න බැරි බව සහ ඒකට මගෙන් ප්‍රතිචාරයක් ලැබෙන්නේ නෑ කියලා තේරුම් ගත්තම එමලිගේ ඒ ක්‍රියාව නතර උනා. ටික ටික ලොකු වෙනකොට එමලිට Regulation ක්‍රම හඳුන්වා දුන්න නිසා බඩු විසික් කරන එක කරන්න එයාට උවමනා උනේ නෑ.
හැබැයි අත් වැරදීමෙන් සහ කුතුහලය නිසාම එමලිගේ අතින් බඩු නං හරියට කැඩෙනවා.ලගදි මගේ ටැබ් එක එමලිගේ අතින් කැඩුනා. මට ඒක එයාට ගන්න බැරි තැනකින් තියන්න අමතක උනා. මම හිතන්නේ එමලි ඒක අරගන්නකොටම බිම වැටෙන්න ඇති. ඒකෙන් ස්ක්‍රීන් එක ඩැමේජ් වෙලා.මට පොඩි චුරු චුරුවක් ඇහුන නිසාම ඇයි එමලි කියාගෙන කාමරේට යනකොට කැඩුන ටැබ් එක අතේ තියන් ඉන්නවා. ටැබ් එක කැඩුන එක නිකන් මගේ අතක් පයක් කැඩුනා වගේ. හිත ටිකක් රිදුනත් මම ඉතිං එමලිට කෑ ගහලා තේරුමක් නැති නිසා ” අම්මගේ ටැබ් එක දැන් කැඩිලා” කියලා ඒක අරන් තිබ්බා. ඒක නං ස්ක්‍රීන් එක දාලා ආයේ පාවිච්චි කරන්න ගන්න පුලුවන්. ඒත් ඒ උන දේ ගැන මගේ හිතේ තිබ්බ පොඩි දුකත් නැති වෙලා ගියේ ටිකකින් එමලි මගෙ ළඟට ඇවිල්ලා Temu / black tab කියලා කිව්ව නිසා
. එමලිට මම Temu එකෙන් එයා එක්කම Toys තෝරලා ගෙනල්ලා දෙන නිසා එමලි හිතනවා ඒකෙන් ඕනේ දෙයක් ගෙන්න ගන්න පුලුවන් කියලා. එයා මට ඇවිල්ලා කිව්වේ Temu එකෙන් අලුත් ටැබ් එකක් ගෙන්න ගන්න කියලා
. එමලි එහෙම හිතපු එක ගැන මට සතුටක් ආවා. එමලිට තාම කිසිම දැනීමක් නෑ බඩු ගන්නේ සල්ලි වලට කියලාවත් සල්ලි සහ වටිනාකම ගැනවත්.
එදා රෑ නිදාගන්න ගියාම මම කිව්වා අම්මා Sad. අම්මගේ ටැබ් එක කැඩිලා නිසා කියලා. මට නිකන් එමලිට ඒත්තු ගන්වන්න ඕනේ උනේ දෙයක් කැඩිලා හෝ නැති වෙන එක එයාට වගේම අපිටත් දුක හිතෙන දෙයක් කියන එක. එමලි මගේ මූණ එයාගේ මූණට ලන් කරලා කිව්වා ” Mommy Happy ” කියලා. මම ඒක භාර ගත්තේ එමලි මට දුකෙන් නැතුව සතුටින් ඉන්න කිව්වා විදියට. ඒ මොහොත මට ඉතාම වැදගත්ම මොහොතක්. ඒකට හේතුව මම කියන්නං.
එමලිට තියන තව අභියෝගයක් තමයි තමන්ගේ හැඟීම් ප්‍රතිචාර වශයෙන් අනෙකාට පෙන්වන එක. ඒක අභියෝගයක්ම නෙමේ. ඒක එමලිගේ ස්නායු විවිධත්වයේ හැඩය. ඒ නිසා මම එමලිට පේන්න ඇඩුවත්, වැටිලා තුවාල වෙලා කෑ ගැහුවත් ඔය කිසිම වෙලාවක එමලිගෙන් කිසිම ප්‍රතිචාරයක් ඇවිල්ලා නැහැ.ඒකට හේතුව අනෙකාගේ හැඟීම් එයාට තෝරා බේරා ගන්න අපහසු වීම.
උදාහරණයක් විදියට හිතන්න එමලි දකිනවා කියලා තවත් දරුවෙක් අඩනවා. සාම්ප්‍රදායික ස්නායු පද්ධතියක් සහිත ඔටිසම් නොවන දරුවෙක්ට ඒ මොහොතේ හිතෙනවා ” ඇයි මේ බබා අඩන්නේ. මම ටිකක් එයාව සනසන්න ඕනේ” කියන එක. ඒත් ඒ වෙනුවට එමලිට හිතෙන්නේ ” මොකක් හරි සිද්ධ වෙනවා.ඒත් මට ශුවර් නෑ මොකක්ද මේ වෙන්නේ කියලා” වගේ හැඟීමක්. එයාට තේරුම් ගියත් දුක නිසා අඬනවා කියලා එමලි දන්නේ නෑ මොකක්ද එයා ඒ වෙලාවට දක්වන්න ඕනේ ප්‍රතිචාරය කියලා. ඔන්න ඔය හේතුව නිසා තමයි සමාජයේ මිථ්‍යාවක් පැතිරිලා තියෙන්නේ ඔටිසම් පුද්ගලයින් සහකම්පනය නොදැනෙන පුද්ගලයින් කියලා. ඒත් ඇත්තම දේ නම් ඔටිසම් පුද්ගලයින්ට ඉතා ගැඹුරුවෙන් හැඟීම් දැනෙනවා. ඒත් ඒ හැඟීම් තෝරා බේරාගන්න, ඒවා කළමනාකරනය කරගෙන ප්‍රකාශ කරන එක අභියෝගාත්මක වෙන්න පුලුවන්.
ඒ වගේම තමයි අපි දැන් බබෙක්ට කිව්වොත් ටිකක් හිනා වෙන්න කියලා ඒ බබා හිනා වෙයි. ඒත් එමලිට අපි එහෙම කිව්වට හිනා වෙන්න බෑ. ඒ වෙනුවට එමලි අපිට පෙන්නන්නේ හිනාවක් කෘතිමව මූණේ හදලා. ඒක හදන්නේ ඇඟිලි දෙක කට දෙපැත්තට තියලා හිනා වෙනවා කියන එක නිරූපණය කරලා. ඒකට හේතුව අපි කියන දේ ඒ මොහොතේ මනසට අරන් ඒක කළමනාකරනය කරලා ස්වාභාවිකව ඒකට ප්‍රතිචාරය දක්වන්න එමලිට අපහසු නිසා මිසක් එමලි හිනා වෙන්න නොදන්න නිසා නෙමේ. මෙන්න මේ වගේ තමයි තමන් ඒ ඒ අවස්ථාවට දක්වන්න ඕනේ හැඟීම මොකක්ද, ඒ අවස්ථාවේ වෙන්නේ මොකක්ද වගේ දෙවල් මනසේ ක්ෂණිකව කළමනාකරනය වෙන්නේ නෑ. එතකොට එමලි වගේ ඔටිසම් බබාලා ටික ටික ලොකු වෙනකොට අනෙකාගේ සමාජ හැසිරීම් නිරීක්ෂණය කරලා ඒවා පිටපත් විදියට මනසේ කොපි කරන් අවස්ථාවට අනුව නිරූපණය කරනවා. කෙනෙක් දුකක් බෙදාගන්න ඕනේ කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ, අංග චලන සහ හැසිරීම්, කියන්න ඕනේ වාක්‍ය වගේ මේ හැමදේම මනසේ කල් තියා පිටපත් හදන් නිරූපණය කරනවා. මෙන්න මේ සමාජ සම්බන්ධතා හැඩය ඉතා වෙහෙසකර වෙන්න පුලුවන්. ඒ නිසයි අපි හැකිතාක් ඔටිසම් දරුවන්ට පොඩි කාලේ ඉඳන්ම ඒත්තු ගන්වන්නේ ඔයාලගේ හැඩය වරදක් නෙමේ කියන එක සහ සමාජ විනිශ්චයන් ට අනුව ජීවත් විය යුතු නැහැ කියන එක. අනික් පැත්තෙන් අපි ඔටිසම් ගැන සමාජය දැනුවත් කරන්නේ ඔටිසම් දරුවන් සහ පුද්ගලයින් තවදුරටත් වැරදි විදියට විනිශ්චය නොවෙන්න.
මම එමලි මම්මාච්චි සහ එයාගේ පුංචි එක්ක සෙල්ලම් කරන ඒවා සහ එයාලා එක්ක සම්බන්ධකම ගොඩ නගා ගන්න විදිය ගැන කතා කරන්නේ ඔන්න ඔය උඩ කිව්ව කාරණා නිසා. මට එමලි එයාලා එක්ක ගනුදෙනු කරන විදිය හරිම වැදගත්. ඒ හරහා මම එමලිගේ සංවර්ධනය සහ එයා සමාජය එක්ක අනාගතයේ ගනුදෙනු කරන විදිය ගැන යම් අනුමානයක් ඇති කරගන්නවා. ඒකයි ඔටිසම් දරුවන් ඉන්න දෙමව්පියන්ට තමන්ගේ දරුවාගේ සමාජ සම්බන්ධතා හැඩය, Pretend play වගේ දේවල් ඉතා වැදගත් වෙන්නේ. ඒ නිසා ඔටිසම් නොවන දරුවන්ට ස්වාභාවිකව අපහසුතාවයක් නැති සමාජ සම්බන්ධතා, සන්නිවේදන, හැඟීම් ප්‍රකාශයන්, අනුකරණ සෙල්ලම් ඔටිසම් දරුවන්ට අභියෝගාත්මක වෙන්න පුලුවන්. ඒකයි ඔටිසම් දරුවන්ගේ දෙමව්පියන් හැටියට අපිට අපේ දරුවන් කෙනෙක්ගේ මූණ දිහා බලලා කරන තත්ත්පරයක හිනාවක් පවා විශාල ජයග්‍රහණයක් වෙන්නේ 
