අද එමලි එයාගේ යාළුවො හම්බෙන්න ගියා. එමලි Busy මේ දවස් වල😅.එයාට ගමන් වැඩී. මේ සෙනසුරාදත් එමලිට තියනවා යාලුවෙක් හම්බෙන්න යන්න. ගෙදරින් එළියට බහිනකොට එමලිගේ Brand names වල ගත්ත Print outs ටික පොඩි බෑග් එකක දාගෙන ගියා. මම්මාච්චිගෙ ගෙදර ගිහින් ඒ Brand names බලන් ආයේ ඒවා කොළ වල ලිව්වා. එමලි ගිය වෙලේ ඉදන් සෑහෙන්න වෙලාවක් යනකල් ගෙයින් පිට ඉස්තෝප්පුවේ තමා හිටියේ. ඒ මනස කළබල වෙලාවත් / Sensory overload වෙලාවත් නෙමේ. මට හිතෙන්නේ නං එකපාරට කට්ටිය එක්ක එකතු වෙන්න කලින් මනසට එමලි විවේකයක් දුන්නා කියලා.

කොහොම උනත් එමලිගේ සමාජ සම්බන්ධතා හැඩය සාම්ප්‍රදායික නැහැ. අපි ඔටිසම් දරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙනවා නම් සාම්ප්‍රදායික සමාජ සම්බන්ධතා හැඩය ඒක ඒ දරුවට කරන අසාධාරණකමක්. අපි එමලිව පුහුණු කරන්නේ නෑ කොහොමද පුද්ගල සම්බන්ධතා පවත්වන්නේ කියල. ඒ වෙනුවට අපි කරන්නේ එමලිට නිදහස සහ අවස්ථාව දෙනවා බය නැතුව ඔයා ඔයාගේ හැඩය වෙනස් නොකර යාලුවො එක්ක එකතු වෙන්න කියලා. මම එමලිගේ ලගින් ඉදන් කියලා දෙනවා සමහර දේවල්. මම එහෙම එමලිට කියලා දුන්න එකක් තමයි කෑම තනියම නොකා යාළුවො එක්ක බෙදාගෙන කන්න කියලා. එමලි එක පාර නැතුව හෙමින් ඒක තේරුම් ගනී.

සෑහෙන්න වෙලාවක් එමලි එලියේ ඉදලා හෙමින් ගෙට ආවා. ඇවිල්ලා කට්ටිය ඉන්න තැන මැදට වෙලා හිටියා. ලොකු අම්මගේ ෆෝන් එක අරන් රීස්ටාර්ට් කරා.මට ඒක එක පාර වළක්වන්න අපහසු උනා. ඒත් එක පාරක් එහෙම කරාට පස්සේ මම එමලිට කිව්වා ලොකු අම්මට Thank you කියලා ෆෝන් එක ආයෙත් දෙන්න කියලා. එමලි ඒ විදියටම කරා. යාලුවො අතරේ එයාලා දිහා බලන් ඉදලා එයාලා උඩ පනින කැරකෙන විදියට එමලිත් නැටුවා.

මම එමලිගේ මෑතකදී ඉදන් දකින වෙනස්කම් තමයි එමලි සමාජ සම්බන්ධතා පවත්වන්න එයාගේ අභියෝග ගැටළුවක් කරගන්නේ නෑ කියන එක. දැන් වාචිකව සන්නිවේදනය කරගන්න අපහසුතාවය එමලිට ගැටළුවක් නෙමේ එයාගේ යාළුවො එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම මම්මාච්චි එක්ක විතරක් නෙමේ පුංචි, ලොකු පුංචි එක්කත් එමලි කිසිම ආතතියක් නැතුව එයාගෙම හැඩය හරහා සම්බන්ධ වෙනවා. සරළව කියනවා නම් එමලි එමලිගේ Safe Zone එකේ පරාසය පුළුල් කරගන්නවා ක්‍රමයෙන්. විශේශයෙන් පළවෙනි වතාවට එමලි අපි ගෙදර යන්න වාහනයට නැග්ගම පුංචිගේ අතින් ඇදලා Lets go කියලා කිව්වා. මම්මාච්චිටත් ඒකම කිව්වා. ඒ කිව්වේ අපිත් එක්ක යමු කියලා. මෙහෙම දෙයක් එමලි කරපු පළවෙනි වතාව තමයි ඒ. ඒ වගේම ගෙදර එන්න ලෑස්ති උනාම එමලිට මම කිව්වා හැමෝටම බායි කියන්න කියලා. එමලි බායි කිව්වා. එයාගේ යාලුවන්ටත් Hug එකක් දුන්නා.

මුල් සබැඳිය : එමලිගේ සමාජ සම්බන්ධතා හැඩය