” වේදනාව ” කියන සංවේදනයට එමලිගේ ස්නායු පද්ධතිය ප්‍රතිචාර දක්වන්නේ ටිකක් වෙනස් විදියට. ඒ කියන්නෙ එමලිට high pain tolerance එකක් තියනවා.වැටිලා තුවාලයක් උනත්, ලේ එන තරම් කැපීමක් උනත් එමලි ඒවාට ප්‍රතිචාර දක්වන්නේ හරිම අඩුවෙන්. ඒක මම එමලිගේ පොඩි කාලේ ඉදන්ම දැකපු දෙයක්.
වේදනාව කියන්නෙත් ශබ්ධ, ස්පර්ශ වගේම ශරීරයේ සංවේදනයක්. එතකොට ඔටිසම් දරුවන්ට තියෙන්න පුළුවන් දෙයක් තමයි Pain එකට සංවේදී අවම කම. hyposensitivity කියලා අපි කියනවා සංවේදන වලට අවම සංවේදීතාවයක් දැක්වීම.මේකෙන් අදහස් වෙන්නේ නෑ වේදනාව දැනෙන්නේ නෑ කියලා. ඒත් ඒක දැනෙන්නේ අවමව.ඒ නිසා අපි සෑහෙන්න පරිස්සම් වෙනවා එමලි ගැන. එක හේතුවක් තමයි ඇඟට අපහසුතාවයක් දැනුණත් ඒක එමලිට දැනීම අවම වෙන්නත් පුළුවන් වගේම වාචිකව අපිට කියන්න අපහසු නිසා.
පහු ගිය කාලේ දරුවෙක් නැති උනා සර්පයෙක් දෂ්ට කරලා. ඒ දරුවා ආච්චි අම්මට කියලා තිබ්බේ කඩියෙක් කකුල කෑවා කියලා.පස්සේ බඩ රිදෙනවා කියලා තිබ්බා.දැන් එමලි වගේ වේදනාවට අවම ප්‍රතිචාරයක් දක්වන දරුවෙක්ට සහ වාචිකව සන්නිවේදනය කරගන්න අපහසු දරුවෙක්ට මේ වගේ අවස්ථාවන් වලදී මෙහෙම හැඟීම් කියන්න බැරි වෙන්න පුළුවන්. මම නිතරම අනියත බයකින් ඉන්න එක හේතුවක් තමයි මේක. ඒ නිසා මම එමලිට කාලයක් තිස්සේ ඉඳන් කියලා පෙන්නුවා වේදනාවක් දැනෙනව නං “Ouch ” කියලා ඒක කියන්න.
මම එමලි ඉස්සරහා එමලිට පේන්න බොරුවට කකුල පුටුවේ වද්දගෙන කෑ ගැහුවා “Ouch” කියලා. බඩ අල්ලන් පෙන්නුවා ” Ouch” කියලා. මේ වගේ එක එක ක්‍රම වලින් මම එමලිට ඒත්තු ගැන්නුවා රිදෙනවා නං අම්මට ඒක පෙන්නලා කියන්න පුළුවන් සරළම විදිය. පස්සේ එමලි ඒ විදියට සමහර වෙලාවට මාව හොයන් ඇවිල්ලා පොඩි පොඩි තුවාල පෙන්නන්න ගත්තා. ඉතිං අපි ඒ තුවාලේ පොඩි උනත් එමලිට පේන්න ලස්සන ප්ලාස්ටර්ස් තුවාලේ උඩින් ඇලෙව්වා. එමලි ඒකට ආස උනා.පස්සේ බොරුවටත් ඇඟ පුරාම ප්ලාස්ටර්ස් ගහන් හිටියා. වීඩීයෝ සහ පොත් වලින් එමලිට පෙන්නුවා තුවාලයක්, වේදනාවක් දැනුනම ඒක අංග චලන වලින් පෙන්නන්න.
එමලිට උණ හැදිලා අසනීපෙන් ඉන්නකොට මම අහනවා බඩට අත තියලා ” Tummy Ouch ” කියලා. ඒත් ගොඩක් වෙලාවට එමලි ඒකම ආයේ රිපීට් කරනවා මිසක් කියන්නේ නෑ.
මේ අභියෝගේ කොයිතරම් සංකීර්ණද කියලා අපි තේරුම් ගත්තේ එමලිගේ කිරි දත් හැලෙනකොට. එමලිට අපහසුවක් දැනෙනවා දතක් හෙල්ලි හෙල්ලි තියනකොට.එමලි ඒ වෙලාවට බලනවා පැන්සල්, කතුරු,පිහි අරන් දත ගලවගන්න. ඒ නිසා අපි ඒ දේවල් හංඟලා එමලිගේ පස්සෙන්ම තමයි ඒ දවස් වල ඉන්නේ. කොහොම හරි මට මතකයි දවසක් මම වත්තේ ඉන්නකොට එමලි කාමරේ ජනෙල්ලෙන් Mommy come කියලා මට කතා කරලා මම ජනෙල්ලෙ ළඟට ආවම මගේ අත ජනෙල් ග්‍රිල් අස්සෙන් අරන් එයාගේ හෙල්ලෙන දත උඩින් තිබ්බා.ඒ වෙලාවෙම මම ඉන්න අම්මා එන්නම් කියලා පිටිපස්සේ දොරින් ඇතුළට ඇවිල්ලා එමලිව හොයනකොට එමලි Bathroom එකේ කටේ ලේ පෙරාගෙන දත අතේ තියන් ඉන්නවා. මම හිතන්නේ අතින් හයියෙන් ඇදලා හොල්ලලා දත ගලවගෙන. වේදනාවට අඩු සංවේදීතාවයක් තියන නිසා මේ වගේ දේවල් හරිම පහසුවෙන් එමලිට කරන්න පුළුවන්.
මෙන්න මේ අභියෝගයට එමලිට අපි සපෝට් එක දෙන්නේ Proprioceptive (body awareness) activities වලින්. ඇක්ටිවිටීස් කිව්වට ඒ හැම එකම එමලිට පීඩාවක් දැනෙන්නේ නැති Play විදියට තමයි අපි කරන්නේ. අර ඊයේ පෙරෙදා එමලි ලීටර් පහේ වතුර බෝතලේ පුරවන් එන එකත් ඒ Play වලට අදාලයි.
Pushing / pulling games , Animal walks, Deep pressure hugs වගේ දේවල් වලින් ශරීරය ගැන ඇති දැනීම සමබර කරන්න සපෝට් එක දෙන්න පුළුවන්.
අපිට සාර්ථකම දේ උනේ අපි කාලෙකට කලින් අපිට exercise කරන්න ගෙනාපු body vibration machine එක. ඒකේ උඩ හිටගත්තම සම්පූර්ණයෙන් ම ඇඟ Vibrate වෙනවා. එමලි ඒකට හරි කැමතියි. එයාට ඕනේ උනාම ගිහින් ඒක On කරලා බෝනික්කන්වත් ඒකේ උඩ තියන් හිටගන්නවා. ඒකෙන් එමලිගේ ශරීරයට අවශ්‍ය Sensory input එක හම්බෙනවා.

අපි ඉතිං කාලයක් තිස්සේ එමලිගේ කාලෙන් කාලෙට එන අභියෝග වලට මූණ දෙන නිසා ඒවට හොදට හුරු වෙලා ඉන්නෙ. ඒ නිසා මේ දේවල් නිකන් එදිනෙදා ජිවිතයේ කොටසක්. මම කිසිම වෙලාවක එමලිට ප්‍රශ්න තියනවා කියලා හිතන්නේ නෑ.මම හිතන්නේ මේ හැමදේම අභියෝග කියලා. අපි නැති දවසකට එමලිට තනියම එයාගේ අභියෝග හැකිතාක් සාර්ථකව කළමනාකරණය කරගන්න කියලා දෙන එක තමයි අපි කරන්නේ.ඒත් එක්කම එමලිගේ විවිධත්වය වටහාගත්ත සමාජයක් නිර්මාණය වුනොත් ඒක එමලිට තවත් ලොකු පහසුවක් වෙනවා. ඒ නිසයි මම ඔයාලා එක්ක එමලිගේ අත්දැකීම් බෙදාගන්නේ. මම හිතනවා දෙමාපියන් , පාසල්, ගුරුවරුන් වැඩි වැඩියෙන් දරුවන්ට විවිධත්වය ගැන කියලා දුන්නම අනාගතයේ හැම දරුවෙක්ටම පහසුවෙන් , අවබෝධයෙන් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හැදෙයි කියලා.
