එමලි එයාගේ ෆොටෝස් ගන්න කියලා ඒවට එක එක ඉරියව් වලින් ඉන්නවා. එමලිගේ කාලෙන් කාලෙට මේ වගේ කාලවල් පහු වෙනවා.එක කාලයක් බිත්ති පුරාම ඇන්දේ එක එක ඇඳුම් ඩිසයින්ස්. තවත් කාලෙක මුළු ඇගේම කලු පාට මාර්කර් එකෙන් ඇඳ ගත්තා.වෙනස තමයි මේ දේවල් පටන් ගන්න කාලෙට කරන්නේ ඒකම තමයි. ඒක විනෝදාංශයක් වේවා, යම් දේකට ඇති වුන අධික කැමැත්තක් වේවා මොනවා උනත් හරිම ගැඹුරු විදියට ඒවට අවධානය දෙනවා. මේ දේවල් දැන් ඇබ්බැහි කියලා නිර්වචනය කරන්නේ නෑ..ඒ වෙනුවට ඒවා යොදාගන්නවා දරුවන්ගේ සංවර්ධනයට සහ මනස සන්සුන් කරන්න.
මේ වගේ එක දිගට වැඩි අවධානයක් යොමු කරන විෂයන් හෝ යම් විනෝදාංශ හරහා දරුවන් ස්නායු උත්තේජනය කරගන්නවා. ඒ වගේම තමන්ව වඩා පැහැදිලිව ලෝකය එක්ක සම්බන්ධ කරගන්නවා..ඒත් එක්කම මනස සන්සුන් කරගන්නවා.
වෙලාවටක අපි තුන්දෙනාටම එමලි එන්න කියනවා එයාගේ ෆොටෝස් ගන්න.ඉතිං අපි තුන්දෙනාම Photographers ලා වගේ එමලි ඉස්සරහා ඉඳන් එමලි කියන විදියට ෆොටෝස් ගන්නවා.ඊට පස්සේ එමලිට ඒවා බලන්නත් ඕනේ. කොටින්ම කියනවා නං එමලි පොතක් අරන් ඒ පොතේ වැඩ කරනව වගේ ඉරියව්වකින් ඉන්නවා😅. අපි ඒ විදියට එයාගේ ෆොටෝස් ගන්න ඕනේ. දැන් ලඟදි ඉඳන් අක්කට ගිහින් කියනවා ” Sister come” කියලා. එහෙම අක්කව කතා කරන් ගිහින් අක්කා ලවා ෆොටෝස් ගන්නවා. එමලි අක්කට නම කියලාවත් අක්කා කියලාවත් නෙමේ කතා කරන්නේ. Sister කියලා තමයි කියන්නේ. හැබැයි අක්කගේ නම දන්නව. කාලයක් තිබ්බා අක්කට Baby කියලා කතා කරපු.
අක්කා හරි කැමතියි නංගිගේ ෆොටෝස් ගන්න. ඒ වෙන කිසිම දෙයක් නිසා නෙමේ. අක්කා Capcut ඇප් එකට නංගිගේ ෆොටෝස් දාලා නංගිට රැවුල්, කණ්ණාඩි දාලා Edit කරනවා. එහෙම කරලා හිනා වෙවී නංගිටම ඒවා ආයේ පෙන්නනවා🫠. ඒක තමයි අක්කා හරි උනන්දුවෙන් නංගි කතා කරපු ගමන් ෆොටෝස් ගන්න දුවන්නේ. මම මේ හැම දේම දකින්නේ එමලිගේ සමාජ සම්බන්ධතා සංවර්ධන හැඩය දියුණු වීමක් විදියට. දරුවා මුලින්ම පවුල ඇතුළේ සාමාජිකයින් එක්ක සම්බන්ධකම් පවත්වන්න ඕනේ. තමන්ට පහසු ක්‍රම හරහා සන්නිවේදනය කරගන්න ඕනේ. එමලි අක්කට ආදරේ පෙන්නන්න ඕනේ. රණ්ඩුත් වෙන්න ඕනේ.අකමැති දෙයක් තියනව නං කෙළින්ම පැකිළෙන්නේ නැතුව No කියන්න ඕනේ.බෙදාගන්න ඕනේ. මේ හැම ස්වාභාවික මනුස්ස ගනුදෙනුවක්ම එමලි පවුල ඇතුලින් හඳුනාගත්තට පස්සේ එයාට පුළුවන් වෙනවා පහසුවෙන් වෙනත් සමාජ සම්බන්ධතා එක්ක අනාගතයේ ගනුදෙනු කරන්න.
ඔටිසම් අන්න්‍යතාවය තහවුරු උනාම දෙමාපියන්ට තියන එක අභියෝගයක් තමයි තමන්ගේ දරුවාගේ සංවර්ධන හැඩය කොහොම එකක් වෙයිද කියන එක. අපි දරුවා ලොකු වෙනකොට තමයි වටහා ගන්නේ දරුවගෙ අභියෝග සහ කුසලතා. ඒකයි අපිට දරුවා මුලින්ම හැන්දක් අරන් තනියම කෑම කන මොහොතේ ඉඳන් දරුවා අපේ මූණ දිහා බලලා හිනා වෙන එක, කණ්ණාඩියෙන් මූණ බලන එක, අලුතින් වාක්‍යක් ,වචනයක් කියන එක, දැනුම සහ දැනීම තේරුම් ගන්න පුළුවන් හැම මොහොතක්ම පුදුමාකාර සතුටක් ගේන්නේ.
