බඩු ගන්න යනකොට එමලිගේ බඩු ලිස්‍ට් එක අපිට කියන මොහොත වෙනකල් අපි බලන් ඉන්නේ.ඒ මොහොත ඒ තරම්ම අපිට වටිනවා. වාචික සන්නිවේදනය සංවර්ධනය වෙන දරුවෙක්ට අපි ඒකට තව උනන්දු කරවන්න සහ සහය දෙන්න නං දරුවාව පීඩාවට පත් කරලා බෑ. ඒ කියන්නේ පැරණි ක්‍රමවේදයන් වුන දරුවා කටින් වචන කියලා කෑම ටික ඉල්ලනකල්ම නොදී ඉන්න, වතුර කියලා කටින් කියනකල්ම වතුර ටික නොදී පීඩාවට පත් කරන එවා හරී අමානුශිකයි. ඒ වෙනුවට උත්සාහ කරන්න ඕනේ දරුවා වාචිකව හෝ අංග චලන වලින් හෝ මූණේ ඉරියව් වලින් වේවා ඕනේම ක්‍රමයකින් කියන්න හදන දේට ඇහුම් කන් දෙන එක. එමලි දන්නවා එයාව තේරුම් ගන්න අපි ගොඩක් උත්සාහ කරනවා කියන එක. ඒ නිසා එමලි හරි උනන්දුයි අපිට එයාගේ අවශ්‍යතා කියන්න.

තාත්තා ඔෆිස් ගියපු දවසටත් තාත්තට ගේන්න ඕනේ දේවල් කියන්න එමලි මාත් එක්ක තාත්තට වීඩියෝ මැසේජ් එකක් යවනවා. ඒ විදියටම තමයි Supermarket එකට යනකොට එමලි ඒක පේන දුරදි ටක් ගාලා ලිස්ට් එක කියන්නේ. දැන් එමලිගේ බඩු ලිස්ට් එක එන්න එන්නම දික් වෙනවා. අද 100 ශැම්පු ගන්න කියලා කිව්වා😅. එමලි ගොඩක් ඕනේ කියන එක කියන්නේ සීයක් කියලා. ඒත් එක්කම එයාගේ ලිස්ට් එක කියලා ඉවරයි කියලා කියන්න එමලි කිව්වේ ” We did it” කියන එක. ඒක වැරදි නෑ. අපි එකතු වෙලා වැඩක් කරලා ඒක ඉවර උනාම ” We did it” කියලා අත් පුඩි ගහනවා. ඉතිං අන්න ඒකම තමයි එමලි පාවිච්චි කරේ එයාගේ ලිස්ට් එක කියලා ඉවරයි කියලා. තාත්තා Supermarket එකට ගියාමත් එමලි ආයේ මට මතක් කරනවා එයාගේ ලිස්ට් එක. ඉතිං මම කියනවා ඉන්න අපි තාත්තට ආයේ වීඩියෝ මැසේජ් එකක් යවමු කියලා. මෙහෙම තමයි හෙමින් හෙමින් තව වැඩියෙන් වචන කියන්න අපි එමලිව උනන්දු කරන්නේ.

ඔය වීඩීයෝ එකේ අතර මැද එමලි කියනවා ” Bee Sticker / Fish ” කියලා. මේක එමලිගේ Verbal stimming එකක්. මනස සන්සුන් කරගන්න මන්තරේ වගේ නිතරම කියන එකක්.මේක වැඩියෙන්ම කියන්නේ ගෙදරින් එලියට ගියාම. ඉතිං ඒක කියන සිය පාරම හරි අපිත් ඒක රිපීට් කරන්න ඕනේ. එතකොට තමයි එමලිට Self – Regulate වෙන්න පහසු.

ඒත් එක්කම අක්කා ගැනත් කියන්නම ඕනේ. අක්කා හරිම ” සාමාන්‍ය ” සම්බන්ධකමක් තමයි එමලි එක්ක ගොඩනගාගෙන තියෙන්නේ. එමලිගේ විවිධත්වය අක්කා තේරුම් අරගත්තට ඒත් ඒක හරහා අක්කා නංගි දිහා බලන්නේ නෑ. ඕනේම සහෝදර සහෝදරියන් අතර ඇති වෙන රන්ඩුත් මේ දෙන්නා අතර තියනවා. එමලිත් එයා දන්න විදියට අක්කා එක්ක රන්ඩු කරනවා. ඒත් එක්කම අක්කා නංගිගෙන් ප්‍රශ්න අහනවා. නංගි කියන සමහර වචන අල්ලන් වරුවක් හිනා වෙනවා. අපි මේවට ඇඟිලි ගහන්නේ නෑ. ඒ නිසාම ස්වාභාවික සම්බන්ධතා හැඩය ඇතුලේ එමලි අක්කගෙන් තව තවත් දේවල් ඉගෙන ගන්නවා.

අද Supermarket ගියපු වෙලාවේ තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. එමලිට යන තැන අදාළ නෑ.එයා කැමති ඇදුම තමයි අදින්නේ. ඉතිං පාර්ටි එකකට යන්න වගේ තිබ්බ හොදම ගවුමකුත් ඇදගෙන තමයි එමලි අද බඩු ගන්න ගියේ.🤭

මුල් සබැඳිය : එමලිගේ බඩු ලිස්ට් එක එන්න එන්නම දික් වෙනවා