එමලි ඇයි ගෙදරට තනි කළු පාට ඇඳලා ගෙදරින් එළියට යනකොට විතරක් පාට ඇඳුම් අදින්නේ කියන එක ගැන තමයි මම අද කතා කරන්නේ මේ වගේ හැසිරීම් වලින් අපිට ඉගෙන ගන්න සෑහෙන්න දේවල් තියනවා. මම එමලිගේ මේ වගේ හැසිරීම් සහ එයාගේ Needs වලින් අඳුරගන්නේ මේ Spectrum එකේ විවිධත්වය සහ ඒ සමහර තැන් කොයිතරම් විචිත්රද කියලා.
දැන් එමලිට ගෙදරට අදින්න තනි කළු පාට සයිස් එකෙන් ලොකු ටීශර්ට් ගොඩක් මම ගෙනල්ලා දීලා තියෙන්නේ.ඒවා අල්මාරියට දාන්නේ නැතුව එමලිට පහසුවෙන් ගන්න පුලුවන් තැනක නවලා තමයි තියෙන්නෙ. එමලි එදිනෙදා තමන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගැනීමේදි බොහෝ දුරට ස්වාධීනයි. තනියම Bathroom එකට යන්න, නාන්න, ඇඳුම් ඇඳගන්න මේ හැමදේම තනියම කරගන්නවා. දතුත් තනියම ඒත් බාගෙට මැදගන්නවා . කොටින්ම කියනවා නං මහ රෑ හරි පාන්දර හරි එමලිට Bathroom එකට යන්න ඕනේ උනොත් මාව ඇහැරවන්නේ නෑ. එයාම ඇඳෙන් බැහැලා bathroom එකේ Light එක දාලා Bathroom එකට ගිහින් එනකොට Light එකත් ඕෆ් කරලා තමයි එන්නේ.
දැන් මේ කළු පාට අඳින එකෙත් තව දෙයක් තියනවා.
එමලිට හිතුනම එමලි ගිහින් එයා ආස පාට ගවුමක් අදිනවා. ඒත් ඒක ඇදලා කෙලින්ම යන්නේ කාමරේට. කාමරෙන් එළියට එන්නේ නෑ ඒක ඇදගෙන. එයාට අවශ්‍ය වෙලාවක් එයා කාමරේ ඉදලා ආයේ සුපුරුදු කළු ටීශර්ට් එකට මාරු වෙලා තමයි කාමරෙන් එළියට එන්නේ. එමලිගේ සංවේදන සංවේදීතාවයේ හැඩය අනුව තමයි ගෙදර අපි සම්පූර්ණයෙන්ම සකස් කරලා තියෙන්නේ. ඒත් එමලිගේ Brain එකේ Sensory process වෙන්නේ එහෙමත් නැත්තන් සංවේදන කළමනාකරණය වෙන්නේ කොහොමද කියන එක අපි දන්නේ නෑ.
උදාහරණයක් විදියට මොන වගේ ශබ්ද තරංගද එමලිට දරාගන්න අපහසු වෙන්නේ කියලා සීයට සීයක්ම අපි දන්නේ නෑ. අපිට පුලුවන් එමලිගේ හැසිරීම හරහා අනුමාන කරන්න විතරයි. දැන් තමන් ජීවත් වෙන ගෙදර පරිසරය තමන්ට වඩාත් පහසු කරගන්න නං එමලිට ඒ පරිසරයේ පාලනය එයා අතට ගන්න ඕනේ. මේ පාලනය කියන්නේ සම්පූර්ණයෙන්ම මනස සන්සුන්ව හිඳීමේ සහ තමන්ගේ සෙන්සරි සිස්ටම් එකේ පාලනය. Sensory Comfort සහ Emotional Regulations කියලා අපි මේ පාලනය හඳුන්වනවා. ඔන්න මෙතනිදි දරුවන්ට තමන්ගේ සංවේදන දරාගන්න බැරි උනාම තමයි අපි කියන්නේ Meltdown එකක් එනවා කියලා. එතකොට Stimming කරන්නෙත් මෙන්න මේ සෙන්සරි දරාගන්න සහ මනස සන්සුන් කරගන්න.
දැන් ගෙදරට කළු ඇඳගෙන ඉන්න එකෙන් එමලි තමන්ගේ සංවේදන සංවේදීතාවයන් වල අසමබරතාවය යම් ප්‍රමාණයකට අවම කරගන්නවා. එක පැත්තකින් මේක එමලිගේ Symbolic Thinking හැඩය සහ Internal Rules කියන එකට අයිති වෙනවා. Symbolic Thinking කියන්නේ තමන්ගේ හැඟීම්, සිතුවිලි, අදහස්, දැනීම් යම් වස්තූන් සහ පාට හරහා පෙන්නුම් කිරීම. මේකෙන් අදහස් වෙන්නේ නෑ කළු පාට කියන්නේ අඳුරු සිතුවිලි හෝ පීඩාව කියන එක. කළු පාට තමයි එමලිගේ මනස සන්සුන් කරන සහ ඝෝෂාකාරී නොවන පාට.
Internal Rules කියන්නේ තමන්ම තමන්ගේ පහසුව සඳහා නිර්මාණය කරගන්නා නීතී. උදාහරණයක් විදියට ගෙදරට කළු ඇඳීම සහ ගෙදරින් පිටත පාට ඇඳුම් ඇඳීම.
දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුලුවන් තමන්ගේ පහසුව නිසා ගෙදරට කළු අදිනවා නං ඇයි ගෙදරින් එළියට පාට අදින්නේ කියලා.ඒකටත් හේතුවක් තියනවා.
එකක් තමයි අර කලින් කිව්ව Internal Rules. අනික් එක තමයි එමලි හිතනවා අපි ගෙදරින් එළියට යනකොට පාට ඇඳුම් ඇඳගෙන යන්න ඕනේය කියලා. හේතුව එයාට එළියට ගියාම පේන්නේ හැමෝම එක එක පාට ඇඳුම් ඇඳගෙන යනවා.එතකොට එමලි දන්නවා ගෙදරට ඉන්න විදියටම අපිට ගෙදරින් එළියේ ඉන්න බැහැ කියන එක.මේක එක්තරා විදියකට Neurotypical ලෝකය එක්ක එකතු වෙන්න තමන් කරන්න ඕනේ දෙයක් කියලා එමලි හිතනවා වෙන්න පුලුවන්. මෙන්න මේ නිසා ගෙදරින් එළියට ගිහින් ඉන්න කාලය පුරාවට එමලි යම් ආකාරයකට තමන්ගේ සෙන්සරි සිස්ටම් එකට දැනෙන සංවේදන දරාගන්නවා.
දැන් ගෙදර වගේ නෙමේ පිටත. පිටත ලෝකයෙන් දැනෙන සංවේදන ( Sensory input ) තමන්ට පාලනය කරගන්න බැරි තරමට විශාලයි. එතකොට ගෙදරින් පිටත තියන මේ මහා විශාල ලෝකයේ අල්ප මාත්‍රයක්වත් තමන්ට පාලනය කරගන්න බැහැ කියන එක එමලි දන්නවා. එමලිට ගෙදර වගේ තමන්ට ඇහෙන ශබ්ධ, ගඳ/සුවඳ, දෘශ්‍ය වෙනස් කරන්න බැහැ. ඒ වෙනුවට එමලි කරන්නේ ගොඩක් දුරට එයා කැමති පොතක් ගෙදරින් එළියට යනකොට අරන් යන එක. මනස කලබල උනාම එමලි කරන්නේ ඒ අරන් යන පොත බලන එක. මෙන්න මේ දරාගැනීම සහ තමන්ගේ අහියෝග කළමනාකරනය කරගන්න එක තමයි මේ අවුරුදු කීපය පුරාවටම අපි ප්‍රධානවම එමලිට සහය දුන්න අභියෝගය.
එමලිගේ අයිස්ක්‍රීම් ට්‍රිප් වීඩියෝ එක.
ඔය වීඩීයෝ එක අද උදේ ගත්තේ.එමලිව අරන් ගියා අපි Ice cream අරන් දෙන්න. දැන් අපි indoor restaurant වලින් එහාට ගිහින් මේ වගේ පාර අයිනේ තියන Shops වලට එමලිව අරන් යනවා. ඒත් තාම අපේ අත අත් හැරලා පාරේ ඇවිදන් යන්න එමලිට තේරුමක් නෑ. ඒකට හේතුව Autistic Eloping. සරළවම ඒ ගැන කියනවා නං තමන්ගේ මනසට නැඟෙන සිතුවිල්ල මත ක්ශණිකව මහ පාරේ හෝ හිතෙන ඕනේම තැනකට දුවන ඔටිසම් දරුවන් ඉන්නවා. ඒ කොහොම උනත් දැන් එමලි හරිම ඉවසීමෙන් තමන්ගේ කෑම එක හෝ Order කරපු දේ ලැබෙනකල් බලන් ඉන්නවා. ඉතිං මේවා අපිට පුංචි පියවරල් නෙමේ. අභියෝග ගොඩක් මැද්දේ සමරන්න පුලුවන් විශාල ජයග්‍රහණ.

එමිලිගේ ඇදුම් විලාසිතා (ගෙදර හා එළියට යනකොට)
