ඔටිසම් දරුවන්, පුද්ගලයින්ගේ එකම ආකාරයේ නොවෙනස්වෙන රටාවන් ,චර්‍යාවන් තියනවා කියන එක බහුතරයක් දෙනා දන්න කාරණයක්. මේ නොවෙනස් වෙන Pattern , routine හදාගන්න ප්‍රධාන හේතුව මනස සන්සුන් කරගන්න. ඒත් එක්කම මේවා සම්බන්ධ වෙනවා ඔටිසම් දරුවන්ගේ හෝ පුද්ගලයින්ගේ සංවේදන සංවේදීතා විවිධත්වයට. දැන් මම කියන්න යන්නේ ඔටිසම් බබාලගේ අම්මලට තියෙන්න පුලුවන් පොදු ප්‍රශ්නයක් ගැන. ඒක තමයි දරුවා නිර්මාණය කරගන්න යම් Pattern එකක් හෝ Routine එකක් නිසා දරුවාටම හෝ අනෙකන්ට හිරිහැරයක් වෙනවා නම් ඒක කොහොමද නතර කරන්නේ කියන එක. දැන් මේ හිරිහැරයක් කියන එකෙන් අදහස් වෙන්නේ නෑ දරුවාගේ ක්‍රියාවන් අසාමාන්‍යයි කියලා දෙමාපියන්ට ලැජ්ජා හිතෙන එක ගැන. ඒක දෙමාපියන් ගේ ගැටළුවක් මිසක් දරුවාගේ නෙමේ. උදාහරණයක් විදියට හිතන්නකො එමලි ටික කාලයක ඉදන් ගෙදර බිත්ති අල්ලනවා ගෙදරින් එලියට යනකොටයි නිදාගන්න යනකොටයි. ඒ අල්ලන්නෙත් කාමරයයි Bathroom එකයි අතර තියන කොරිඩෝවේ දෙපැත්තේ බිත්ති. දැන් මේක එමලිටවත් , අපටවත් හිරිහැරයක් නෙමේ. එමලි මේක කරන්නෙත් මනස සන්සුන් කරගන්න. මේවා නතර කරන්න හේතුවක් නෑ. කෙනෙක් හිතනවා නං මේ හැම දේම අසාමාන්‍ය ක්‍රියාවන් කියලා එහෙනං සිද්ධ වෙනවා දරුවාගේ ඔටිසම් විවිධත්වය ගැන ආයේ ආයේ දැනුවත් වෙලා දරුවාව පිළිගන්න.

එමලිගේ එක්තරා Routine එකක් තිබ්බා නිදාගන්න යනකොට ඇප් එකක ලියුමක් වගේ ෆොටෝ එකක් බලලා නිදාගන්න යන්න. මේ Routine එක හිරිහැරයක් බවට පත් වුනේ එමලි පාන්දර එකට දෙකට ඇහැරිලා ආයේ ඒ ෆොටෝ එක බලලා නිදාගන්න යන්න පටන් ගත්ත නිසා. මේක අපිට හිරිහැරයක් නොවුනත් එමලිගේ නින්ද මැදින් කැඩෙන එක එයාට අපහසුවක් කියන එක මට තේරුන නිසා මම කරේ සම්පූර්ණයෙන් ම ඒ App එක අයින් කරලා දාපු එක. දැන් මම දරුවා අවුරුදු තුන හතරක් එක දිගට පුරුදු වෙලා තිබ්බ පිළිවෙළක් නතර කරා. මේක ටිකක් සංකීර්ණයි සහ Risk එකක්. හේතුව දරුවාගේ මනස සම්පූර්ණයෙන් ම ඒකෙන් කළබලයට පත් වෙන්න පුළුවන් නිසා. ඒ නිසා අපි දැනගන්න ඕනේ Routine එකක් වෙනස් කරනවා නම් දරුවාට ඒ වෙනුවට වෙනත් Routine එකක් නිර්මාණය කරගන්න ඉඩ දෙන්න.එහෙම නැත්තන් අපිම හදලා දෙන්න.

දැන් එමලිගේ හැඩය අපි තේරුම් අරන් ඉන්න නිසා අපි දන්නවා තමන්ගේ Routine වෙනස් උනාම එමලි වෙනත් Routine එකක් හදාගන්නවා කියලා. මෙන්න මේ පරණ Routine එක වෙනුවට අලුත් Routine එකක් හදාගන්න යන කාලය අපි ඉතාම පරිස්සමින් සහය දෙන්න ඕනේ කාලයක්.හේතුව ඒ කාලය අතරතුරු දරුවා ඉතාමත් නොසන්සුන් හා කලබලකාරී වෙන්න පුළුවන් නිසා.

එමලිගේ පරණ රටාවක් අපි නතර කරපු නිසා එමලිට සිද්ධ උනා අලුත් රටාවක් හදාගන්න. ඒකට එමලි සති කීපයක් කල් ගත්තා. මේ සති කීපය තුළ එමලිගේ හැසිරීම හරිම නොසන්සුන් උනා. නිදාගන්න වෙලාව ලන් වෙනකොට හෙමින් අඩ අඩා බිත්ති අල්ලන්න පටන් ගත්තා. keyboard එකේ Music එක හයියෙන් දැම්මා.නිදාගන්න ඇදට ගිහින් මට hundred photos කියලා එයාගේ ෆොටෝස් ගන්න කිව්වා. ඕඩිකොලොන් බෝතල් දෙකක් ලග තියාගත්තා. ඒවල සුවඳ බැලුවා සැරින් සැරේ. මේ නොසන්සුන්තාවය සහ කළබලය තිබ්බේ එමලිට එයාගේ ස්නායු පද්ධතිය සන්සුන් කරගන්න ස්ථිර රටාවක්, Routine එකක් හදාගන්න බැරි වීම නිසා. දැන් මේ intense ගතිය කියන්නේ කළබලකාරී ගතිය වගේ අපිට පෙනුනට ඇත්තටම ඒක දරුවා අධිකව අවධානය දෙන විදිය. එමලි තමන්ගේ Routine එක හදාගන්න දැඩි අවධානයක් ඒකට දීලා තිබ්බ නිසා අපිට ඒක පෙනුනේ කළබල සහ නොසන්සුන්තාවයක් විදියට.

ඉතිං එමලිගේ තාත්තයි මමයි මේ ගැන කතා කරලා එමලිට නිදාගන්න යනකොට අලුත් Routine එක ස්ථීර කරගන්න එමලිට උදව් කරා. ඒ උදව් කරේ එමලිම කරන දේවල් තවත් හොදින් සහ ක්‍රමානුකූලව කරගෙන යන්න සහයක් විදියට. දැන් රෑ නිදාගන්න යන වෙලාව ආවම එක පාරටම Wash දාලා කාලා නිදාගන්න යන්න ඕනේ කියලා නොකියා අපි කරේ එමලිව සන්සුන් කරපු එක. ඒක කරේ එමලි ඒ වෙලාවේ කර කර ඉන්න Play එකට එකතු වෙලා. උදාහරණයක් විදියට එමලි ඒ වෙලාවේ ක්ලේ වලින් Play කරනවා නම් අපි දෙන්නත් ඒ Play එකට එකතු උනා. එහෙමත් නැත්තන් එමලි ලග ඉදන් එයාගේ Play එක බලාගෙන ඊට අදාළව වාක්‍ය වචන කියලා එමලිව තවත් උනන්දු කරා. ඒ අතර එමලිගේ තාත්තා එමලිට කියනවා දැන් Night time එක.නිදාගන්න වෙලාව හරි. අපි Wash දාලා කෑම කාලා නිදාගමු කියලා. එතකොට එමලි ටිකක් කලබලයෙන් Play එක නතර කරලා නැගිටිනවා.ඒ වෙලාවට එමලි ටක් ගාලා දුවලා ගිහින් බිත්ති අල්ලලා තමයි Bathroom එකට යන්නේ නාන්න. එතකොට අපි දෙන්නා කරේ එමලි එක්ක “Touch the wall” කියලා එමලි එක්කම බිත්ති අල්ලපු එක. එතකොට එමලිගේ නොසන්සුන්බව නැති වෙලා ඔන්න මූණේ හිනාවක් ඇදුනා. ඊට පස්සේ සිංදු කිය කියා එමලිව නාවලා කෑම කැව්වා. කෑම කවනකොටත් මම සැරින් සැරේ එමලිව සන්සුන් කරා ” Tap Tap breathe කියලා එමලිගේ බඩට පොඩි තට්ටුවක් දාලා. ඒක මම එමලිට මනස සන්සුන් කරගන්න ඉස්සරම එයාට හඳුන්වා දුන්න “Breathe, Think , Do with sesame කියන Game එකේ තියන වාක්‍යක්. ඊට පස්සේ කෑමත් කාලා නිදාගන්න යන්න කලින් ආයෙත් ” Touch the Wall” කියලා බිත්ති ඇල්ලුවා. එමලිගේ පොඩි කොට්ටෙයි ,Mushroom man Toy එකයි, ඕඩිකොලොන් බෝතල් දෙකයි එමලිගේ ලග තිබ්බා. hundred photos කිව්වම මම එමලිට 1 2 3 කියලා ෆොටෝස් තුනක් අරන් පෙන්නුවා. ඊට පස්සේ Gd night , Sweet Dream, I love you කියලා හැමදාම වගේ කිව්වා. ඊට පස්සේ එමලිට ආයෙත් ෆොටෝස් ගන්න ඕනේ උනා.Hundred photos කිව්වම මම 1 2 3 කියලා ෆොටෝස් තුනක් විතරක් අරගත්තා. එතනින් අපි නිදාගන්න යන අලුත් Routine එක සම්පූර්ණ කරා.එමලි එළි වෙනකල් කිසිම බාධාවක් නැතුව නිදාගත්තා.

එමලි Over stimulate උන එයාගේ පරණ Routine එක වෙනුවට එයා Safe කියලා දැනෙන මනස සන්සුන් වෙන අලුත් Routine එකක් හදාගන්න අපි සපෝට් එක දුන්නේ එහෙමයි. හැබැයි පරණ Routine එක අයින් කරාට පස්සේ අලුත් Routine එක හදාගන්න කල් ඒ අතරතුර කාලය තමයි වැදගත්ම. උපරිම ඉවසීමෙන් දරුවාගේ නොයෙක් හැසිරීම් දරාගන්න, වටහාගන්න ඕනේ ඒ කාල සීමාවේ තමයි. අපිට ඒ කාල සීමාවේ හිතෙන්න පුලුවන් දරුවාගේ හැසිරීම් සම්පූර්ණයෙන් බය හිතෙන විදියට වෙනස් වේගෙන එනවද කියන එක. ඒත් ඒ වෙන්නේ දරුවා අලුත් Routine එකක් හදාගන්න කල් තමන්ගේ මනස සමබර කරගන්න දරන උත්සාහය.

දැන් දරුවා හදාගෙන තියන Routines හරහා දරුවා සන්සුන් නොවී අධික උත්තේජනයකට පත් වෙනවා කියන එක දැනගන්නේ කොහොමද කියලත් මම කියන්නං. Safe Routines නම් ඒවා නිතරම හරිම ස්ථීරයි, වෙනස් වෙන්නේ නෑ. ඒ හරහා දරුවා නොසන්සුන් වෙන්නේ නෑ.මනස සන්සුන්ව පවත්වාගෙන යන්න දරුවට පුළුවන්. ඒත් Over stimulating Routines නම් ඒ කියන්නේ දරුවට දරාගන්න අපහසු අධික උත්තේජනයක් දෙන Routines නම් ඒවා වලින් දරුවා නොසන්සුන් වෙනවා.නින්ද අක්‍රමවත් වෙනවා වගේම අධික ක්‍රියාශීලී වෙනවා. මේ හැසිරීම හරහා අපිට වටහා ගන්න පුලුවන් දරුවාගේ Routines දරුවාට Safe ද නැද්ද කියන එක.

එමලි සුපර්මාර්කට් යනකොට එකම ලිස්ට් එකක් ඉල්ලන එකත් එමලිගේ Routine එකක් මිසක් ඒ ඉල්ලන දේවල් අවශ්‍යම නිසා නෙමෙයි. මේ Routines නිර්මානය කරගන්නේ සෑම නිමේශයකම වෙනස් වෙන , දරාගන්න අපහසු ලෝකය තුළ තමන්ගේ පැවැත්ම සන්සුන් සහ සාමකාමී කරගන්න. ඒ නිසා ඔටිසම් කියන විවිධත්වය පිටතින් පෙනෙන හැසිරීම් සහ චර්‍යාවන්ගෙන් වටහා ගන්න යන්න එපා. ඒ හැසිරීම් සහ චර්‍යාවන් ඇතුලේ තියන ඉතා සියුම් තොරතුරු කියවන්න , වටහාගන්න.

* මේ වීඩියෝ එක ගත්තේ අපේ බලු බබාව වෙට් ලගට එක්කන් යන වෙලාවේ. එමලි ඒ වෙලාවෙත් එයාට ඕනේ List එක කිව්වේ කොහේ ගියත් Supermarket එකට යන්න ඕනේ කියන එක අපිට කියන්න. මේ ඉල්ලපු දේවල් නං එමලිට අරන් දෙන්න බැරි උනා.පොඩි බිස්කට් පැකට් 3 ක් අරන් දුන්නා. හැබැයි ඒකට එමලි ඇඩුවේ කරදර කරේ නෑ 🥹. ඒකත් අරන් ගෙදර ආවා. එමලි වීඩියෝ ,ෆොටෝස් වලටත් එයාගේ පොඩි කොට්ටය පෙන්නගෙන ඉන්නේ ඒ හරහා එමලිගේ ස්නායු අධික උත්තේජනය නොවී තියාගන්න සහයක් ලැබෙන නිසා. මේ අවුරුදු හයහාමාරක් විතර පරණ කොට්ටය එමලි තාමත් ලගම තියන් ඉන්නේ ඒකෙන් එමලිට මනසට Comfort එකක් ලැබෙන නිසා.

මුල් සබැඳිය : එමලිගේ එක්තරා Routine එකක්