ඉසබෙල් නංගි ලවා වචන , වාක්‍ය කියාගන්න හරීයට උත්සාහ ගන්නවා.අක්කා කියන වාක්‍යක් නංගි කිව්වම ඉතිං අක්කට හරි සතුටුයි. ගොඩක් වෙලාවට මේක වෙන්නේ අපි කොහේ හරි ගමනක් යනකොට තමයි.ගෙදර ඉන්නකොට දෙන්නා දෙන්නාගෙ වෙන වෙනම වැඩ වල.
දැන් අපිට බැහැ එමලිට මේ වගේ වාක්‍ය බලෙන් කියන්න කියලා බල කරන්න. ඒක ඒ තරම් හොද දෙයක් නෙමේ. ඒත් අක්කා මේක කරන්නේ එක්තරා සෙල්ලමක් විදියට නිසා නංගිට ඒක පීඩාවක් විදියට දැනෙන්නේ නෑ. අක්කා පහු ගිය සති කීපයේ නංගිට සිංහල වාක්‍ය දෙකක් කියලා දුන්නා. ඒ වාක්‍ය දෙක තමයි
* කතා කරලා වැඩක් නෑ
* වතුර එකක් ගහන්න 
ඔය වාක්‍ය දෙක අක්කා නිතරම කියන එකක්. අපේ බලු බබාලා මොකක් හරි නෝටි වැඩක් කරොත් අක්කා Disappoint වෙලා කියන එකක් තමයි ” කතා කරලා වැඩක් නෑ ” කියලා. අනික් වාක්‍ය අක්කට තාත්තා Kettle එක on කරන්න කියලා කියන්නේ ” වතුර එකක් ගහන්න” කියලා
. මේවා තමා අක්කා නංගිට උගන්නන්නේ. මම අක්කට කිසිම වෙලාවක කියන්න යන්නේ නෑ ඔයා මොනවද නංගිට උගන්වන්න ඕනේ කියලා. එතකොට මේ වැඩේ නිකන් අක්කට වගකීමක් වගේ දැනිලා ඔලුවට බරක් වෙන නිසා. ඒ වෙනුවට මම කියන්නේ නංගි එක්ක කතා කරනකොට සරළව පැහැදිලිව කතා කරන්න කියලා. එතකොට නංගිට හරි පහසුවෙන් අක්කා කියන එක තේරුම් අරන් ඒ වචන , වාක්‍ය කොපි කරගන්න පහසුයි.
වාචික සන්නිවේදන අසීරූතා වලට මූණ දෙන ඔටිසම් දරුවන්ට මුලින්ම දෙන්න ඕනේ සහය තමයි ඒ දරුවන් අංග චලන, මූනේ ඉරියව්, ශබ්ධ සහ හැසිරීම් හරහා කරන සන්නිවේදනය වටහා ගන්න එක. එතකොට දරුවන්ට වාචිකව කියාගන්න බෑ කියලා මනසට දැනෙන පීඩනය අවම වෙනවා. ඒ නිසාම ඊට පස්සේ දරුවන් උත්සාහ ගන්නවා හැකි සන්නිවේදන ක්‍රම හරහා තමන්ගේ අවශ්‍යතාවය, අදහස් හුවමාරු කරගන්න.
පෙරේදා රෑ එමලිගේ අත චූටී කූඹියෙක් කෑවා. ඉතිං මම අතේ ක්‍රීම් ගාන ගමන් සරළ වාක්‍යයෙන් එමලිට පැහැදිලි කරා ඔයාගේ අත කූඹීයෙක් තමයි කාලා තියෙන්නේ කියලා. එමලි වචන තුනක් එකට කිව්වා.ඒ තමයි Ant / Hand / scratch කියලා. ඒ කියන්නේ කූඹියා කාපු අතේ ඒ තැන කසන්න කියලා.මේ වගේ එමලි ආතතියක් නැතුව කොහොම හරි වචන එකතු කරලා අවශ්‍යතාවය කියන්න උත්සාහ ගන්නවා.
එමලිගේ වාචික සන්නිවේදනය , භාශාව සංවර්ධනය වෙන්නේ GLP ක්‍රමයට. ඒ කියන්නේ Gestalt Language Processing. ඒ ක්‍රමයට අදාළව ඒ ඒ පියවරයන්ට අනුකූලව තියන සහය දීමේ ක්‍රමවේදයන් හරහා තමයි අපි එමලිගේ වාචික සන්නිවේදනයට සහය දෙන්නේ. ඒ ගැන වෙබ්සයිට් එකේ ලියලා තියනවා අවශ්‍ය කෙනෙක්ට පුලුවන් ඒක කියවලා තමන්ගේ දරුවාත් GLP ක්‍රමයට භාශාව සංවර්ධනය කරගන්න දරුවෙක්ද කියලා බලලා ඒ විදියට දරුවාට සහය දෙන්න.
