Emotions ගැන කතා කරමු. හැම දරුවෙක්ම හැඟීම් හඳුනාගෙන ඒවාට ප්‍රතිචාර දක්වන විදිය වෙනස්. ඔටිසම් දරුවන් ඉන්න පුළුවන් තමන්ගේ හැඟීම් තෝරාබේරා ගන්න අපහසු සහ අනෙකාගේ හැඟීම් වලට දක්වන්න ඕනේ ප්‍රතිචාරය ගැන අදහසක් නැති. මම අපේ එමලි නෝනා ගේ Emotions ගැන කියන්නං. දැන් මම වැටිලා තුවාල වෙලා මම හයියෙන් ඇඩුවත් එමලිට තේරෙන්නේ නෑ මගේ ළඟට ඇවිල්ලා ඒකට ප්‍රතිචාර දක්වන්න. හැබැයි එමලි දන්නවා අම්මාට තුවාල වෙලා කියලා. ඒකට එමලිට දුක දැනෙනවද කියලා මට තේරිලා නෑ. ඒකට හේතුව එමලි කවදාවත් මම අපහසුවෙන් හෝ අසනීපයකින් ඉන්නකොට ළඟට ඇවිල්ලා ඒකට ප්‍රතිචාර දක්වලා නැති නිසා. ඒකට හේතුව විදියට මම දකින්නේ එමලිට හැඟීම් නොදැනෙනවා නෙමේ.එයා Confuse වෙනවා හැඟීම් වලට දක්වන්න ඕනේ ප්‍රතිචාරය මොකක්ද කියන තැන.

දැන් එමලිට ෆොටෝ එකක් ගන්න කොට හිනා වෙන්න කිව්වොත් එමලිට බැහැ හිනා වෙන්න. ඒකට හේතුව අපි අහන දේ මොළයට ගිහින් ඒ හරහා අවශ්‍ය ප්‍රතිචාරය දක්වන්න අපහසු වීම. එමලි කරන්නේ හිනා වෙන සංකේතය පෙන්වන එක.ඒක පෙන්නන්නේ කම්බුල් දෙකට අත් දෙකේ ඇඟිලි දෙකක් තියලා මූණ හිනා ඉරියව්වකින් හරි ගස්සන එක. ඒක එමලි කොපි කරන් තියෙන්නෙ වීඩීයෝ එකකින්.

Alexithymia කියන තත්ත්වය ඔටිසම් පුද්ගලයින්ට තියෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ හැඟීම් හඳුනාගන්න, විස්තර කරන්න සහ අනෙකාගේ හැඟීම් වටහා ගන්න අපහසු වීම. එමලි තාම පොඩි නිසා මට තාම එමලිට එහෙම තත්ත්වයක් තියනවද කියලා කියන්න බෑ. කොහොම උනත් මේ මොහොතේ එමලි තමන්ගේ Emotions හඳුනාගන්න උත්සාහ කරනවා කියන එක නං මට පැහැදිලි යි.

එමලි කණ්ණාඩිය ලඟට ගිහින් තමන්ගේ මූණේ සහ ශරීරයේ ඉරියව් වෙනස් කරලා බලන, කෑම කන ගමන් කණ්ණාඩියෙන් බලන දේවල් වලින් මේ කාලයේ එමලි හැඟීම් හඳුනාගන්න උත්සාහ කරනවා කියන එක තේරුම් ගන්න පුළුවන්.

දැන් මට මේ වෙලාවේ වැඩියෙන්ම ඕනේ එක දෙයකට එමලිට සහය දෙන්න. ඒක තමයි ඉතාමත් පොදු හැඟීම් කීපයක් කොහොමද ප්‍රකාශ කරන්නේ කියන එක එමලිට හඳුන්වා දෙන්න. එතකොට ප්‍රධාන හැඟීම් කීපය එමලිට පුළුවන් පහසුවෙන් අපිට පෙන්වන්න. ඒකට මම Visuals පාවිච්චි කරා.ඒත් එක්කම ප්‍රායෝගිකව පෙන්නලා දුන්නා. එමලි දුකෙන් ඉන්න වෙලාවට Sad , සතුටු වෙලාවක happy ,එමලි හිනා වෙනකොට Laugh , අඩනකොට Cry, කේන්ති ගියාම Angry වගේ මම වාචිකව,ප්‍රායෝගික අවස්ථාවලදී ඒ හැඟීම් එමලිට හඳුන්වා දුන්නා. ඒත් එක්කම Emotions පෙන්නන පොඩි ස්ටිකර්ස් පාවිච්චි කරා. දැන් එමලි Emotions අනුකරණය කරනවා.ඒක ලොකු පියවරක්.

අපි මේ දේවල් හඳුන්වලා දෙන්න ඕනේ ඉතාම පරිස්සමට. අපිට බෑ දරුවන්ව පුහුණු කරවන්න . ඒත් අපිට පුළුවන් Play හරහා සහ ප්‍රායෝගිකව හැඟීම් හඳුන්වා දෙන්න.  ඔය වීඩීයෝ එක ගත්තේ එමලිගේ තාත්තා වැඩකට එළියට ගිහින් එනකල් අපි වාහනේට වෙලා බලන් හිටපු වෙලාවක. එමලි ඒ වගේ වෙලාවට ” Say cheese ” කියලා එමලිගේ ෆොටෝස් ගන්න කියනවා. මම ඒ වෙලාව පාවිච්චි කරලා තමයි එමලිට නිකන් මේ Emotions කියලා බැලුවේ. එමලි First time තමයි අඬනවා වගේ අනුකරණය කරේ. ඒත් අඬනවා වගේ රඟපානකොට නං ලෝබ හිතුනා මට 🥺

මුල් සබැඳිය : අපේ එමලි නෝනා ගේ Emotions