2025 ඉවර වෙන අවසන් දවස 31 රෑත් මායි එමලිගේ තාත්තයි හිටියේ අපි මූණ දෙමින් හිටපු තව අභියෝගයකට විසදුම් හොය හොය. පාන්දර දෙක පහු වෙනකනුත් අපි නිදි නැතුව ඒ ගැන හිත හිතා හිටියේ.ඒ අභියෝගේ මොකක්ද කියලා මම පැහැදිලි කරන්නම්.
දැන් පේජ් එක කාලයක් පුරා කියවන හැමෝම දන්නවා එමලි මනස සන්සුන් කරගන්න පහු ගිය කාලේ නොයෙක් දේවල් , ක්‍රම වේදයන් හදාගත්ත හැටි.විශේශයෙන් දවසෙම ගෙදර Keyboard එක Play වෙන්න දාලා තිබ්බ එක වගේම අපිට පවත්වාගෙන යන්න අපහසු Routines.
දැන් එක දිගට ඒ කියන්නේ කෙටි කාලයක් අතර නොනවත්වා දරුවෙක් මනස සන්සුන් කරගන්න උත්සාහ ගන්නකොට අපිට තේරුම් යනවා කොතනක හරි දරුවාගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ නොවන තැනක් තියනවාය කියන එක.
උදාහරණයක් විදියට පාසල් යන ඔටිසම් අනන්‍යතාවය ඇති දරුවෙක් පාසලේදී ඉතා සන්සුන්ව ඉඳලා ගෙදර ආව ගමන් ඉතාමත් නොසන්සුන් වෙනවා නම් දිගින් දිගටම Stimming හෝ Repetitive behaviors පෙන්නනවා නම් අපි දන්නවා ඒකට හේතුව දරුවා පාසලේ ඉතා අසීරුවෙන් ඒ පරිසරය දරාගෙන ඉදලා ගෙදර ආව ගමන් තමන්ගේ පහසු පරිසරය තුළ ඒ හිරකරන් හිටපු පීඩනය පිටතට මුදා හරිනවා කියලා.
මේ වගේ දරුවන්ගේ හැම හැසිරීමකටම හේතුවක් තියනවා. එමලි එයාට අපහසු පරිසරයන් වල හිර වෙලා ඉන්නේ නෑ. ඒ නිසා එමලිගේ යම් යම් හැසිරීමේ වෙනස්කම් වලට හේතුව ඒක නෙමේ කියන එක මම දන්නවා.ඒත් එමලි ටික කාලයක ඉඳන් ප්‍රධානම වශයෙන් Regulate වෙන්න ඒ කියන්නේ එයාගේ මනස සන්සුන් කරගන්න සෑහෙන්න උත්සාහ ගන්නවා කියලා මට හිතුනා. ඒකට හේතුව විදියට මම අනුමාන කළේ තවදුරටත් ගෙදර පරිසරය එමලිගේ මනසට Safe නෑ කියන එක.ඒකට හේතුව ගෙදර සම්පූර්ණයෙන්ම පිරිලා තියෙන්නේ අවුරුදු ගාණක ඉඳන් එමලිගේම අවශ්‍යතාවයන් මත ගෙනාපු Toys, Board books පිරුණු කබඩ්.එමලිගේම චිත්‍ර වලින් පිරිලා ගියපු අපිළිවෙල බිත්ති. ඒ වගේම ඇඳ විට්ටමේ ලා දුඹුරු පාට විට්ටම තනි කළු පාටට එමලිගේ චිත්‍ර වලින් වැහිලා.
ඒ නිසා මට මාස කීපයක ඉදන් සැරින් සැරේ ඔලුවට ආව දෙයක් තමයි එමලිට එයාගේ ගෙදර තවදුරටත් දරාගන්න අපහසුයි කියන එක. අපේ ගෙදර සාම්ප්‍රදායික ගෙදරකට වඩා වෙනස්. අපේ ගෙදර කෙලින්ම පොඩි නර්සරි එකක්. 80% ක්ම පිරිලා තියෙන්නේ එමලිගේ අවශ්‍යතා වෙනුවෙන් තියන බඩු භාණ්ඩ වලින්. ඒ වගේම බිත්ති සම්පූර්ණයෙන් වගේ අවුරුදු දෙකක වගේ ඉදන් එමලි අදින්න අරගෙන එයාගේ චිත්‍ර ,හැඩ රටා වලින් වැහිලා තියෙන්නේ. කොටින්ම කිව්වොත් මේ ගෙදර හැම කාමරයකම, හැම මුල්ලකම, හැම බිත්තියකම තියෙන්නේ එමලිගේ මතකයන්, හැඟීම් හැමදේම.අපි ඇඳට දාන බෙඩ්ශීට් එකේ ඉදන් ඒ හැමදේම එමලිට දරාගන්න පහසු විදියට තියෙන්නෙ. ඒත් මෙන්න මේ අවුරුදු ගාණක් එකතු වුන Sensory + Emotional Load එක මේ විදියටම දිගටම පවතිනකොට දරුවට Regulate වෙන්න ගෙදර ඉඩක් නැති වෙලා යනවා.
ඔටිසම් දරුවන්ගේ හැසිරීම් සහ Sensory environment එක ගැන අධ්‍යනයන් සහ Research ගොඩක් පහු ගිය කාලය ඇතුළත් ලෝකේ සිද්ධ වෙලා තියනවා.ඒවා ගැන මම පේජ් එකේ ලියලා තියනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නං ඒ ගැන වැඩිදුර දැනුවත් වෙන්න පුළුවන් මම මේ පහළ දාන Studies ( Framework ) හරහා.
* Sensory Integration Theory – Ayres, A.J.
* environment + nervous system fit – Winnie Dunn
* Allostatic Load (Nervous System Strain) – McEwen සහ Stellar
* Co-Regulation Theory – Alan Fogel, Stephen Porges
* Polyvagal Theory – Stephen Porges
* Low Arousal Approach – Andrew McDonnell
මේ හැම Framework එකක් ගැනම මම පහු ගිය අවුරුදු තුනේම පේජ් එකේ , වෙබ් එකේ ලියලා තියනවා.
එමලිට ගෙදර පරිසරය ඇතුළේ Emotional Memories ගොඩක් එකතු වෙලා තිබීම නිසා තවදුරටත් එමලිට ගෙදර ඇතුළේ එයාගේ ස්නායු පද්ධතිය සන්සුන් කරගන්න අපහසුයි. ඒක මම හරියටම තහවුරු කරගත්තේ 31 වෙනිදා අපි එමලිගේ මම්මාච්චිගේ ගෙදර ගිහින් ආවට පස්සේ. එහේ ගියාම එමලි හරිම සන්සුන්. මම අරන් ගිය පොත් වල වැඩත් එමලි කරා. පුදුමාකාර මානසික සැහැල්ලුවකින් එමලි හිටියේ. ඒත් ගෙදර ආව ගමන් එමලි සම්පූර්ණයෙන්ම වෙනස් උනා. Regulate වෙන ක්‍රම හෙව්වා.නොනවත්වා වතුර බේසමේ බැහැලා නෑවා. කනට දරාගන්න අපහසු Music ආයේ ආයේ අහන්න ගත්තා. මේකෙන් අපි හරියටම තේරුම් ගත්තා මේකට හේතුව ගෙදර Environment එක කියලා.
එමලි ලොකු වෙනකොට එයාගේ දැනීම සංවර්ධනය වෙනකොට තවදුරටත් එමලිට එයාගේ ගෙදර හැඩය ගැළපෙන්නේ නෑ. එයාගේ Needs වලට ගෙදර පරිසරය Match වෙන්නෙ නෑ. ඒක හරියට අතීත මතක මාවත් වල ආයේ ආයේ හිර වෙලා ඉන්න සිදුවීම මනසට අපහසුවක් දැනෙනවා හා සමානයි. ඒ නිසා එමලි උත්සාහ කරනවා අවුරුදු ගාණක් පුරා එයාම පාට කරපු රටා ඇඳපු බිත්ති දකිනකොට අධිකව උත්තේජනය වෙන මනස සන්සුන් කරගන්න. බෝනික්කන් දිහා නොබලා ඉන්න. තවත් වැදගත් දෙයක් තමයි ඉතා පැහැදිලි තනි පාට බිත්ති ඔටිසම් දරුවන්ට චිත්‍ර අදින්න , රටා මවන්න පුලුවන් කැන්වස් එකක් වගේ. මේ කැන්වස් එක පුරාම ඒ අදින රටාවන් සම්පූර්ණ වුනේ නැත්තන් ඒක හරියට බාගෙට ඇදලා නතර කරපු චිත්‍රයක් හා සමානයි. ඉතිං තැනින් තැන චිත්‍ර වලින් පිරුනු තවත් තැන් තනි හිස් වෙලා තියන මේ බිත්ති පිරුනු ගෙදර ජීවත් වීම එමලිට බාගෙට වැඩ අවසන් කරපු නිර්මාණයක් අස්සේ හිර වෙලා ඉන්නවා වගේ.
ඉතිං මම පලවෙනිදා උදේ ඉඳන් කරේ ගෙදර සාලේ සම්පූර්ණයෙන් වෙනස් කරපු එක. එමලි දැන් බලන්නෙවත් නැති එයාගේ බෝනික්කො ඔක්කොම Box වලට දාලා වහලා වෙනම කාමරයකින් තිබ්බා. Toys කබඩ් වල තිබ්බ Toys හැමදේම වගේ Box වලට දාලා වහලා දැම්මා. ඒ කබඩ් තිබ්බ තැන් වලින් අයින් කරා. සාලෙම එමලිට පහසු විදියට හිස් කරා. එමලි මේ මොහොතේ පාවිච්චි කරන අවශ්‍යම දේවල් තිබ්බා. එයාගේ පොත් කබඩ් එක පවා නොපෙනෙන්න වහලා දැම්මා. ලොකුම අභියෝගය උනේ කළු මාර්කර් පෑනෙන් හැමතැනම ඇදලා තිබ්බ චිත්‍ර මකලා දාන එක.බිත්ති වල චිත්‍ර යවන්න බැරි නිසා ලී බඩු වල ඇදලා තිබ්බ චිත්‍ර ටික හෝදලා යැව්වා. කාමරේ බිත්ති වල තිබ්බ අපේ පරණ ෆොටෝස් පවා ගලවලා Box වලට දැම්මා. එමලිගේ තාත්තා එදා ඔෆිස් ගිහින් තිබ්බ නිසා මේ හැමදේම කිසිම සහයක් නැතුව තනියම කරගන්න උන එක නං ටිකක් විතර අභියෝගයක් උනා. හැබැයි ගෙදර වෙනස් වෙලා සාලේ ඉඩ හැදෙනකොට තවදුරටත් එමලි සෙල්ලම් නොකරන එයාගේ බෝනික්කො ,Toys ටික නොපෙනෙන්න අයින් වෙනකොට එමලි සතුටින් උඩ පනින්න ගත්තා. ඒකෙන් මට ආයෙත් පැහැදිලි උනා එමලිට කොයිතරම් නං පරණ පරිසරය වෙනස් කරගැනීමේ උවමනාව තියෙන්න ඇතිද කියලා. දැන් අපිට ඉතිරි ගෙදර බිත්ති වල එමලි අවුරුදු ගාණක් පුරාවට ඇඳපු චිත්‍ර ටික නොපෙනෙන්න Paint කරන්න විතරයි. ඒත් දැනට මේ තියන වෙනස් පරිසරය ඇතුළේ එමලිට පහසුවෙන් තමන්ගේ ස්නායු පද්ධතිය සන්සුන්ව තියාගෙන ඉන්න පුළුවන්. දරාගන්න අපහසු Emotions / Memories නැහැ.
මේ තමයි දරුවන්ගේ Autonomic nerves system එක regulate වෙන්න උත්සාහ ගන්න විදිය. මේවා හැසිරීමේ ගැටලු නෙමේ. මේ වගේ ඒවා Environment mismatch එකක් කියලා හදුන්වනවා.
ඔටිසම් දරුවන්ගේ හැසිරීමේ ගැටළු කියලා ගොඩක් වෙලාවට කරන්නේ ඒවා හදන්න අසාර්ථක සහ දරුවාට පීඩාකාරී වෙන ක්‍රමයන් උත්සාහ කරන එක. ඒ වෙනුවට උත්සාහ කරන්න තේරුම් ගන්න දරුවාගේ ස්නායු පද්ධතියට දරාගන්න අපහසු දෙයක් සිද්ධ වෙනවද? දරුවාගේ සංවේදන සංවේදීතා අවශ්‍යතාවයන් වලට ගැලපෙන පරිසරයක්ද තියෙන්නේ කියන එක.
ඉතිං අළුත් අවුරුද්ද ආරම්භයෙදි මූණ දෙන්න උන ඒ අභියෝගයත් අපි සාර්ථකව විසදගත්තා.ඒත් එක්කම තව පෝස්ට් එකක් මම ලියන්නං එමලිගේ Point කිරීමේ සිද්ධ වෙමින් පවතින සංවර්ධනය ගැන.
