එමලිගේ වාචික සන්නිවේදනය සංවර්ධනය වෙන්නේ GLP ක්‍රමයට. ඒ ගැන වෙබ් එකේ තියනවා.අවශ්‍ය කෙනෙක්ට දැනුවත් වෙන්න පුළුවන්.බහුතරයක් ඔටිසම් බබාලගේ වාචික සන්නිවේදනය සංවර්ධනය වෙන්නේ එහෙමයි. එමලි මේ දවස් වල වැඩිපුර උනන්දුවක් දක්වන්නේ Device Brands වලට. විශේශයෙන් ෆෝන්ස් රීස්ටාර්ට් කරලා ඒක ඕෆ් වෙලා ඔන් වෙනකොට Screen එකේ වැටෙන Brand name එක බලන්න එමලි කැමතියි. ඒත් එමලිට තේරෙන්නේ නෑ දකින හැම කෙනාගෙන්ම ෆෝන් එක ඉල්ලගෙන ඒක රීස්ටාර්ට් කරන එක අපිට කරන්න බැරි දෙයක් කියලා. සමාජ රීතීන් , පුද්ගල සම්බන්ධතා හැඩයන් වගේම කෙනෙක්ගේ පුද්ගලික අවකාශය වගේ පරාසයන් ගැන එමලිට තාම තේරුමක් නැහැ.
වත්ත ටිකක් ක්ලීන් කරන්න මගේ උදව්වට හැම සිකුරාදම අන්කල් කෙනෙක් එනවා. එමලිට මම හැම බ්‍රහස්පතින්දා රෑකම කියනවා අද බ්‍රහස්පතින්දා හෙට සිකුරාදා. හෙට අන්කල් එනවා වත්ත ක්ලීන් කරන්න අම්මට උදව් කරන්න කියලා. මම මෙහෙම කියන්නේ එමලිට දවස් ගැන අවබෝධයක් දෙන්න. එමලිගෙන් දවස් ගැන ඇහුවම සදුදා ඉදන් ඉරිදා වෙනකල් එමලි කියනවා. එහෙම කිව්වට අද දවස මොකක්ද හෙට, අනිද්දා , ඊයේ ගැන එමලිට අදහසක් නෑ. මාස සහ අවුරුදු ගැනත් වෙලාව ගැනත් එමලිට තාම තේරෙන්නේ නැහැ. ඒ නිසයි මම දවස කියලා ඒ දවසේ වෙන විශේශ දෙයක් ගැන එමලිට කියන්නේ. එතකොට ඒක එමලිට මතක තියාගන්න පහසුයි. දැන් අපි සදුදා බීච් එකට ගියා නං මම සදුදා රෑට එමලිට කියනවා අද සඳුදා අපි බීච් එකට ගියා.හෙට අඟහරුවාදා.හෙට අපි යනවා සුපර්මාර්කට් එකට කියලා. සඳුදා ගමන ගැන ඉරිදා කියනවා.මේ වගේ හැම දවසකම අපි කරන වැඩක් එක්ක තමයි දවස හඳුන්වා දෙන්නේ.
අද අපේ අන්කල් ආව ගමන්ම එමලි මාවත් අතින් ඇදගෙන අන්කල් ෆෝන් කියලා අන්කල්ගේ ෆෝන් එක ඉල්ලන්න ගත්තා. ඒත් එක්කම “අන්කල් ෆෝන්” කියලා මං ලව්වා Google search කරලා බලන්නත් එමලිට ඕනේ උනා.
අන්කල්ට ෆෝන් එකක් නෑ කියන එක එමලිට කියන ගමන්ම මම මේ අවස්ථාව පාවිච්චි කරේ මම මැදිහත් නොවී එමලිට කෙලින්ම අන්කල් ලගට ගිහින් ෆෝන් එක ඉල්ලගන්න කියලා.
මට ඕනේ එමලිට මං ලවා නැතුව ඍජුවම කෙනෙක්ගේ ඉස්සරහට ගිහින් එයාට පුළුවන් විදියට අවශ්‍යතාවය කියන්න එමලිව උනන්දු කරවන්න. ඒ අවශ්‍යතාවය වචන වලින් හෝ අංග චලන වලින් හරි ඕනේම සන්නිවේදන මාධ්‍යක් හරහා එමලි ආතතියක් නැතුව ප්‍රකාශ කරන එක තමයි වැදගත්.
ඉතිං එමලි අන්කල්ගෙන් “අන්කල් ෆෝන් ” කියලා ඉල්ලුවා. අන්කල්ගේ අතට ඇඟිල්ලෙන් හෙමින් ඇනලා තමයි ඒකත් කිව්වේ
.අන්කල්ට තේරෙන්නේ නෑ එමලිට දක්වන්න ඕනේ ප්‍රතිචාරය. අපේ අන්කල් කොහොමත් වැඩි කතාවක් තියන කෙනෙක් නෙමේ. ඉතිං අන්කල් සුපුරුදු විදියට හිනා උනා. එමලි අන්කල්ගේ හැසිරීමෙන් තේරුම් ගත්තා රීස්ටාර්ට් කරන්න ෆෝන් එකක් නං හම්බෙන්නේ නෑ කියලා
. ටිකක් වෙලා බලන් ඉදලා එමලි ගෙට ගියා.
හැම අවස්ථාවක්ම පොඩිම පොඩි මොහොතක උනත් දරුවන්ට සහය දෙන්න පුලුවන් විදියට ඒ අවස්ථාව දරුවන්ට පීඩාවක් නොවෙන විදියට පාවිච්චි කරන්න අපිට පුළුවන්. විශේශයෙන් Social Anxiety , Selective mutism තත්ත්වය තියන බබාලට බල කිරීම්,පීඩා නැතුව හෙමින් සහය දෙන්න ඒ තත්ත්වය කළමනාකරණය කරගන්න. 
