ඉතිං අදින් 2025 වසර අවසන් වෙනවා. මොන තරම් අභියෝග මේ වසරේ අපි පහු කරත් ඒ හැම අභියෝගයක්ම සාර්ථකව කළමනාකරනය කරගන්න පුළුවන් උනා. ඒකට මම සතුටු වෙනවා. ඊයේ හවස එමලි පළවෙනි වතාවට වචනයක් තනියම Spell කරා මට ලියන්න කියලා. ඒ තමයි ” Samsung” . ඉතිං මට ආයේ ආයෙත් තහවුරු උනා එමලිගේ Pattern හඳුනාගැනීමේ කුසලතාවය සහ Memory එකේ හැඩය කොයිතරම් ශක්තිමත්ද කියන එක. ඉතිං ඒකටත් මට සෑහෙන්න සතුටුයි. ඒ වගේම තමයි එමලි තමන්ගේ අවශ්‍යතාවය, සිතුවිලි කොහොමින් හරි වචන එකතු කරලා ,මගෙන් අහගෙන ඒවා ප්‍රකාශ කරන්න ඉදිරිපත් වෙන එක ගැන. ලගදි මගේ ලඟට ඇවිල්ලා කතුර හොයන් ඒක අතට දීලා ” scissor / Cut hair ” කියලා කිව්වා. එමලිට ඕනේ උනේ මට කියලා කොන්ඩේ කපාගන්න. ඉතිං මම එමලිට පේන්න කොන්ඩේ අගින් චූට්ටක් කපලා අතට දුන්නා. ඒත් එක්කම අපි වාහනේ ඇතුලේ කතා කරන එකට එමලි කැමති නෑ. සමහර විට ඒක එමලිට හිරිහැරයක් වෙන්න ඇති. ඒ නිසා එමලි දැන් අපි කතා කරනකොටම ” No Talking” කියලා කියනවා.
ඉතිං 2026 අවුරුද්දට අපි යන්නේ තවදුරටත් එමලිගේ සන්නිවේදනය ගැන ලොකු ගැටළුවක් හිතේ නැතුව. එමලි එයාට පහසු සන්නිවේදන ක්‍රමවේදයක් නිර්මාණය කරගන්නවා කියන විශ්වාසය මට තියනවා
.
මේ අවුරුද්දේ මම එමලිගෙන් දැකපු තවත් එක විශේශයක් තමයි එමලිට පුළුවන් ” වවුලගේ ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕනේ ” වගේ ඕනේම ගෙදරකට පළවෙනි වතාවට ගියාම එයාට ඕනේ විදියට ඒ පරිසරයට හුරු වෙන්න. මම එමලිට කිව්වොත් ඔය තියන විදියට බිම මුල්ලක අපි ඉදගමු කියලා එමලි ඒකටත් ලෑස්තියි. ගෙදර එයාට ලැබෙන පහසුකම් ගෙදරින් පිටතදී එමලි බලාපොරොත්තු වෙන්නේ නෑ. විවිධ පරිසරයන් වලට තමන්ට පහසු විදියට අනුගත වෙන්න මනස කළමනාකරණය කරගන්න එමලිට පුලුවන්.
” ඔටිසම් විවිධත්වය” ගැන අපි අවුරුදු 3 ක් පුරාවට කරගෙන ගියපු මේ දැනුවත් කිරීමේ ව්‍යාපෘතියේ විශේශ පියවරක් අලුත් අවුරුද්දේ එළි දක්වනවා
.
මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම පරණ අවුරුද්දටත් වඩා වැඩි වැඩියෙන් අලුත් අවුරුද්දේ දී සාමය රැඳිලා තියන දවස්ම ලැබෙන්න ඕනේ කියලා.
