අකුරු හදුනාගැනීම, ලිවීම සහ කියවීම ගැන මම මීට කලින් කීප වතාවක් ලියලා තියනවා. ඒවා වෙබ්සයිට් එකෙන් හොයලා කියවන්න පුලුවන්.මම සරලව පැහැදිලි කරන්නම් ඔටිසම් දරුවන් බහුතරයකගේ මේ අකුරු හදුනාගැනීම, කියවීම සහ ලිවීම කියන පියවරයන් සංවර්ධනය වෙන හැටි.
කවමදාකවත් මට එමලිගේ අවධානය ගැනවත් එමලිට දැනුම ලබා දෙන එකවත් ගැටලුවක් වෙලා නැහැ. ඒකට හේතුව වෙන කිසිම දෙයක් නෙමේ. ඒකට හේතුව මම දන්නවා පොදුවේ කොහොමද Autistic Brain එකක හැඩය ගැන. එක ඔටිසම් දරුවෙක් සාම්ප්‍රදායික විදියට පුටුවක ඉදගෙන අයි කන්ටැක් පවත්වාගෙන ඉතා සන්සුන්ව අවධානය දෙන්න පුලුවන් වගේම තව ඔටිසම් දරුවෙක් ඇවිද ඇවිද Stimming කර කර අයි කන්ටැක් නොදී අවධානය දෙන්න පුලුවන්. මේ අවධාන හැඩ දෙකම නිවැරිදියි කියලා නව දැනුම හරහා අපිට කියලා දෙනවා. ඒ නිසා විවිධත්වයෙන් යුතු හැම දරුවෙක්ගෙන්ම සාම්ප්‍රදායික විදියට අවධානය දීම , ඉගෙන ගැනීම සහ ඉලක්ක පහු කරගෙන යෑම බලාපොරොත්තු වෙන්න එපා.
එමලි අකුරු හැඩතල හඳුනාගෙන ඒවා බිත්ති වල ලියන්න ගත්තේ ස්වාභාවිකව මිසක් අපි ලියන්න උගන්වලා නෙමේ. ඔටිසම් දරුවන්ගේ තියෙන්න පුළුවන් හැඩතල හඳුනාගැනීමේ ( Pattern recognition ) කුසලතාවය මේකට එක හේතුවක්. උදාහරණයක් විදියට දරුවෙක්ට ඉර අදින්න කිව්වම එයාගේ මනසේ තියනවා ඉරේ හැඩය. ඒකට හේතුව ඒ දරුවා රූප හරහා ඉරේ හැඩය හඳුනාගෙන මනසේ කොපි කරන් ඉන්න නිසා. ඒ වගේම තමයි අපි අකුරු හැඩතල දරුවාට Visual tools ( රූප මාධ්‍ය) හරහා හඳුන්වා දුන්නම දරුවා ඒවා හැඩතල විදියට මනසේ කොපි කරගෙන ඒවා නැවත ප්‍රතිනිර්මාණය කරනවා.ඒ කියන්නේ ලිවීමට වඩා ඒ හැඩතල නැවත ඇදීමක්.
වැදගත්ම කාරණය තමයි අමතක කරන්න එපා ඔටිසම් දරුවන්ට දෙයක් වඩා උනන්දුවෙන් කරන්න නම් ඒක ඒ දරුවට Meaningful වෙන්න ඕනේ. එමලිට අකුරු හැඩතල Meaningful කියන එක තේරුම් ගියේ එයා කැමතිම Cartoon characters සහ වස්තූන් වල නම් පටන් ගන්න අකුරු අපි එයාට හදුන්වාදුන්නම. A is for apple කියන සාම්ප්‍රදායික අකුරු හඳුන්වා දීමෙන් එහාට ගිහින් අපි එමලිට අකුරු හඳුන්වා දුන්නේ ඒ ඒ අකුරු වලින් පටන් ගන්න එයා කැමතිම එයාට සමීප දේවල් වලින්. උදාහරණයක් විදියට එමලි Oreo බිස්කට් වලට කැමති නිසා අපි O Letter එක හඳුන්වා දුන්නේ O is For Oreo කියලා. ඒකෙන් එමලිට මේ අකුරු ගැන උනන්දුවක් ඇති උනා. එතනින් එහාට එමලි පටන් ගත්තා බිත්ති වල අකුරු ලියන්න. මෙහෙම තමයි එමලි අකුරු හඳුනාගෙන ඒවා ලියන්න පටන් ගත්තේ. එමලිට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ උනේ නෑ අකුරු ලියන්නේ කොහොමද කියලා. එයා හැම අකුරකම හැඩතල මනසේ කොපි කරන් ඒවා ඒ විදියටම ඇන්දා.
දැන් එමලි මේ කාලය පහු කරන්නේ එයාගේ Brand names එක්ක. තව දෙයක් කියන්න ඕනේ.ඒක තමයි දරුවෙක්ගේ Special interest එක අපිට බෑ වෙනස් කරන්න හෝ ඒකට අපිට ඕනේ දේවල් එකතු කරන්න. උදාහරණයක් විදියට කෙනෙක් රෝස මල් විතරක් වවනවා නම් අපිට බෑ යෝජනා කරන්න ඔයා ඇන්තූරියම් වවන්නත් ඕනේ කියලා. ඒක තීරණය වෙන්නේ ඒ කෙනාගේ කැමැත්ත මත. මෙන්න මේ වගේ තමයි එමලි Phone brand වලින් පටන් අරන් හරිම ස්වාභාවිකවම එයාගේ කුතුහලය ඔස්සේ දැන් හැම Brand එකකටම එයාගේ කැමැත්ත සහ උනන්දුව දික් කරන් තියෙන්නේ. ඇඳුම් වල ටැග් එකේ තියන නම පවා එමලිට ඕනේ දැනගන්න. මේක මට ලොකු අවස්ථාවක් එමලිට ලියන්න වගේම කියවන්න සහය දෙන්න.
ඔටිසම් නොවන සාම්ප්‍රදායික ස්නායු විවිධත්වයක් තියන දරුවෙක් අකුරු හඳුනාගැනීම,කියවීම,ලිවීම යන පියවරයන් ඉගෙන ගන්න විදිය වෙනස්.
1 ) වැඩිහිටියන් පෙන්වා සහ කියලා දෙනවා දරුවට අකුරු
2) ඊට පස්සේ ඒ අකුරු වලින් එන ශබ්ධ කියලා දෙනවා
3) ඊට පස්සේ ඒ ශබ්ද හරහා හැදෙන වචන කියලා දෙනවා.
4) අවසානෙට තමයි ඒ වචන දරුවාට Meaningful වෙලා ඒවා ලියන්න,කියවන්න පටන් ගන්නේ.
එමලි වගේ අකුර නැතුව ඒ අකුරේ හැඩය එක්ක මුළු රූපයම කොපි කරගන්නා ඔටිසම් දරුවන්ගේ මේ ලිවීමේ සහ කියවීමේ පියවරයන් ඊට වඩා වෙනස්.
1) අර්ථය හඳුනාගැනීම – දරුවා මුලින්ම එයාට සමීප රූපය එක්ක ඒ වචනය, Logo,brand names හදුනාගන්නවා. එමලි මුලින්ම එහෙම කොපි කරගත්තේ Coca- cola කියන Logo එක.එතකොට එමලිට අවුරුදු පහමාරක් වගේ ඇති. එතනින් තමයි එමලිට අකුරු ගැන උනන්දුවක් ඇති උනේ. අකුරු එකින් එක කියවන්න හඳුනාගන්න කලින් තමයි එමලි වීඩීයෝ හරහා Coca – cola කියන Brand name එක හදුනගෙන කිව්වේ.
2) සමස්ත වචනයම කොපි කරගැනීම = අකුරේ ශබ්දයට කලින් දරුවා මුලු වචනයම ඒ හැඩතල රූපයක් විදියට හදුනාගන්නවා. තවත් සරලවම කිව්වොත් එමලි C කියන Letter එක සහ ඒකෙන් එන ශබ්දය වෙනම හඳුනාගන්න කලින් කෙළින්ම Coca- cola කියන සම්පූර්ණ වචනයම හදුනාගත්තා.
3) අකුරු වල ශබ්ධ හඳුනාගැනීමට පෙර ලිවීම – උදාහරණයක් විදියට දරුවාට අකුරු වලින් එන ශබ්දය හඳුන්වා දෙන්න කලින් දරුවා සමස්ත වචනයම මනසේ කොපි කරන් ලිවීම.
4) අවසානයට තමයි දරුවාට තමන් ඒ මනසේ කොපි කරගත් වචනය හැදෙන අකුරු ඒ අකුරු වලින් එන ශබ්ධය වෙන වෙනම හඳුනාගන්න කුතුහලයක් එන්නේ.
මෙන්න මේක තමයි ගොඩක් අයට ඔටිසම් දරුවන් සම්බන්ධයෙන් වැරදෙන තැන. සාම්ප්‍රදායික දරුවන්ට වගේ අකුරු හදුන්වාදෙන්න ලියන්න ඉගැන්වීම හැම දරුවෙක්ටම සාර්ථක වෙන්නේ නැහැ.
ආයේ මම මේ පියවර පැහැදිලි කරන්නම්. එමලි අවුරුදු පහමාරේදී එක පාරටම Coca – cola කියලා ලියලා තියන බෝඩ් එකක් කියවනවා. එතකොට එමලි අකුරු හදුනාගෙන තිබ්බත් මෙහෙම කියවන්න පුලුවන් වෙලා තිබ්බේ නෑ.මේක තමයි මගේ Turning point එක උනේ එමලිට කොහොමද අකුරු සහ වචන එයාගේ මොළයේ කොපි වෙන හැඩය ගැන තේරුම් ගන්න. එමලි Coca – cola කියන වචනය සමස්තයක් විදියට / රූපයක් විදියට මනසේ කොපි කරගන්නවා. ඊට පස්සේ එයා උනන්දු වෙනවා ඒ වචනය හැදිලා තියන අකුරු සහ ඒ අකුරු වල ශබ්දය ගැන.
මෙන්න මෙහෙමයි එමලි එයාට අර්ථවත් සහ සමීප දේවල් හරහා අකුරු හඳුනාගෙන ලියන්න පටන් ගත්තේ. මේක තවත් මම පැහැදිලි කරන්නම්. එමලි දන්නේ ඉංග්‍රීසි හෝඩිය සහ ඒ Letters ලියන්න,ඒ Letters වලින් එන වචන හදුනාගන්න. මම මේකට සිංහල එක පාරටම එකතු කරේ නෑ එයාට පැටලෙන්න පුළුවන් නිසා. ඒත් එමලි මේ කාලයේ brand names ගැන උනන්දු නිසා ඊයේ මට එක පාරටම කිව්වා ” නිරෝමි ” කියලා. නිරෝමි කියන්නේ එමලිට මම බෝනික්කන් අරන් දෙන්න යන කඩේ. මම ඉක්මනට ඒ කඩේ නම Google එකේ Search කරලා පෙන්නුවා.එතකොට ලොකුවට ආවේ සිංහලෙන් ” නිරෝමී” කියන වචනය. අ / ආ යන්න කවමදාකවත් හදුනාගෙන ලියලා නැති එමලි පළවෙනි වතාවට අර නිරෝමි කියන වචනය බලලා ඒක ඒ විදියට බිම ටයිල් එක උඩ ලිව්වා. ඒ අකුරු වල හැඩ තල ඒ විදියටම ආයේ බල බලා ලියන්න එමලි උත්සාහ කරා. මේක තමයි මම මෙච්චර වෙලා පැහැදිලි කරපු ඔටිසම් දරුවන්ගේ මනසේ අකුරු හැඩතල කොපි වෙන විදිය. එමලිට ” නිරෝමි” කියන වචනය Meaningful/ සමීපයි. අන්න ඒ නිසා එයාට උනන්දුවක් ඇති වෙනවා ඒ වචනය හැදිලා තියන විදිය ,හැඩතල ගැන. එමලි ඒ වචනය බලන් ආයේ ඒ අකුරු ලිව්වේ කවමදාකවත් ඒ අකුරු, ශබ්ධ හදුනගෙන ඉදලා නෙමේ. දැන් ඔයාලට පැහැදිලි ඇති දරුවෙක්ට අබ මල් රේණුවක තේරුමක් නැති දේවල් හරහා නෙමේ එයාල ඉගෙන ගන්නේ කියන එක. මේක ලිවීම ,කියවීමට වගේම අනික් හැම දේකටම අදාළයි.
මට අමතර වෙහෙසක් දරන්න ඕනේ නෑ එමලිට ලියන්න ,කියවන්න උගන්වන්න.මට තියෙන්නෙ එමලි වඩා කැමති දේවල් හරහා එයාට තියන උනන්දුව තේරුම් අරන් සහය දෙන්න. ඒ නිසා තමයි මම එමලි එක්ක මේ කාලයේ එයා කැමතිම Brand names ලියන්නේ. ඒවා කියවන්නේ.Google search කර කර අළුත් Brand හොයාගන්නේ. එතකොට ඔටිසම් නොවන දරුවෙක් අකුරු හදුනගෙන ලියන්න ,කියවන්න යන පියවරට වඩා වෙනස් විදියට තමයි බහුතරයක් ඔටිසම් දරුවන් ලියන්න කියවන්න පටන් ගන්නේ.
මම අද එමලිට ලියන්න පහසු කෙටි ලේබල් Print කරගන්නවා. ඔයාලට මතක ඇති අපි පොඩි කාලේ ඉස්කෝලෙදි ලේබල් පොත් හැදුවා. ගෙදරට ගේන තේ කුඩු පැකට් එකේ ලේබල් එකේ ඉඳන් කපලා පොතක ඇලෙව්වා .අන්න ඒ වගේ තමයි එමලිට මම කියවන්න සහ ලියන්න උදව් කරන්නේ. එමලිට අර්ථවත්, එයා කැමති, එයාට දැඩි උනන්දුවක් තියන ලේබල්, Brands ම පාවිච්චි කරලා එමලිට වචන කියවලා ලියන්න සහය දෙන්නේ. මම මේ මාතෘකාව ගැන කොටස් විදියට ලියන්නම්.
