පේජ් එකත් එක්ක ඉන්න සමහර අයට හිතෙනවා ඇති ඇයි මම මේ සමහර වචන භාවිතාව ගැන ඉතාම නිර්දය විදියට විවේචනය කරන්නේ කියලා.උදාහරණයක් විදියට ඔටිසම් දරුවන් සාමාන්‍ය නෑ, අසනීප,ලෙඩ වගේ වචන වලින් ඔටිසම් ගැන නිර්වචනය වෙනකොට මම ඒවට ඉතාමත් දැඩි විදියට විරුද්ධ වෙනවා. ඒකට හේතුව අපි මේ මතු පිටින් දකින හෝ පේන විදියට වඩා පුදුමාකාර අවාසනාවන්ත ඉරණමක් මේ විනිශ්චය හෝ වචන භාවිතාව නිසා ඔටිසම් දරුවන්ට අත් වෙන නිසා. ලංකාවේ නං ඔටිසම් සුව කරනවා කියලා හොර වෙද්දු පුදුමාකාර කැත විදියට ඔටිසම් දරුවන්ගේ විවිධත්වය පාවිච්චි කරලා සල්ලි හොයනවා. අනික් පැත්තෙන් ඔටිසම් කියන්නේ අසාමාන්‍යතාවයක් කියලා හිතලා සමහර දෙමාපියන් තමන්ගේ දරුවන්ව සාමාන්‍ය කරන්න උත්සාහ ගන්නවා. ඒක කරන්න එක්කො දරුවට අමානුශික විදියට දඬුවම් කරනවා.වෙද්දු ළඟට එක්කන් ගිහින් වද හිංසා දෙනවා. තමන් නොදන්නා එක එක ඖෂධ වර්ග දරුවට පොවනවා. මේ හැම දේම කරන්නේ ඔටිසම් දරුවන් සාමාන්‍ය දරුවන් නෙමේ කියන අදහස විශ්වාස කරන නිසා.
2010 දී Saiqa Akhter තමන්ගේ ඔටිසම් දරුවන් දෙදෙනාගේ ගෙල වයර් එකකින් හිර කරලා ඝාතනය කරා. ඒකට හේතුව විදියට ඇය කිව්වේ ” මගේ දරුවන් දෙන්නා සාමාන්‍ය නෑ ” කියලා. තමන්ට සාමාන්‍ය දරුවන් නොලැබුන නිසා මේ අම්මා මානසිකව පීඩාවට පත් වෙලා දරුවන් දෙන්නව මරලා දැම්මා. දැන් මේ වගේ මානසික පීඩනයක් හෝ මානසික රෝගීයෙක් වෙන්න මේ අම්මට කොයිතරම් නම් සමාජ විනිශ්චයන් එන්න ඇතිද? ඔටිසම් විවිධත්වය ඇයට පිළිගන්න මේ තරම් අපහසු වෙන්න හේතුව මොකක් වෙන්න ඇතිද? දැන් අපි තවදුරටත් ඔටිසම් කියන්නේ රෝගයක් , අසාමාන්‍යතාවයක් කිය කියා නිර්වචනය කරන එක ඔටිසම් දරුවන්ගේ දෙමාපියන්ට කොයිතරම් නම් මානසික හිරිහැරයක් සහ වේදනාවක් වෙන්න පුලුවන් ද?
Faryaal Akhter ට අවුරුදු දෙකයි.එයා ලස්සන දුවෙක්. පුතා Zain Akhter. එයාගෙ වයස අවුරුදු 5 යි. තමන් ඔටිසම් වෙලා ඉපදීම නිසා ලැබුණු දඬුවම තමයි අම්මා අතින්ම මැරෙන්න සිද්ධ වුන එක. ඒ අම්මා අඩ අඩා කිව්වේ “I don’t want my children to be like that.I want normal kids.” කියලා. මෙන්න මේකයි මම නිතරම ඔය සමාන්‍ය අසාමාන්‍ය කියන බෙදීමට වෛර කරන්නේ. හැම දරුවෙක්ටම ඔවුන්ගේ විවිධත්වය සහිතව ජීවත් වෙන්න අයිතිවාසිකම තියනවා. කිසිම දරුවෙක්ගේ වටිනාකම විවිධත්වය නිසා වෙනස් වෙන්න බෑ.
ඔටිසම් දරුවන්ගේ දෙමාපියන් ජීවත් වෙන්නේ යුද පිටියක් මැද්දේ. හැමදාම අභියෝග.එක දවසක් සාමකාමීව ගෙවනකොට අනික් දවස් මහා සටනක් මැද්දේ ගෙවන්නේ. මේක තමයි ඇත්ත. ඉතිං මේ අභියෝග මැද්දේ ඉන්න දෙමාපියන්ට සමාජයෙන් සහය අවශ්‍යයි. මම පේජ් එකක් කරගෙන ඔටිසම් ගැන දැනුවත් කරා කියලා මම මූණ දෙන අභියෝග අවම නෑ. මම නිතරම ඉන්නේ පපුවේ ගින්නක් ඇවිළි ඇවිළි. මට මවාගන්න බෑ එමලිගේ අනාගතය ගැන.ඒ නිසාම ඒක මට වේදනාවක්. මේ වගේ හැඩයක ජිවිතයක් ඇතුළේ කොහොම හරි ඔළුව කෙලින් තියාගෙන අපි ජීවිතයට මූණ දෙන්න හදනකොට සමාජයෙන් අසාමාන්‍ය, නරක,අසනීප, ලෙඩ ළමයි විදියට ඔටිසම් දරුවන්ව හංවඩු ගහනකොට නිකමට හිතන්න අපි කොහොමද ඒවට මූණ දෙන්න ඕනේ? පොඩ්ඩක් සැනසීමෙන් හුස්ම ගන්න ඉඩක් අපිට ලැබෙන ඕනේ නේද? දරුවන් සාමාන්‍ය හෝ අසාමාන්‍ය කියලා බෙදන එක හෝ හඳුන්වන එකත් අසනීප දරුවන් කියලා විනිශ්චය කරන එකත් හරහා ඔටිසම් දරුවන්ට ඒ පවුල් වලට දැනෙන පීඩාව සහ වේදනාව ඉතාම නරක විදියට අවසන් වෙන්න පුලුවන්.
