එංගලන්තයේ අවුරුදු ගණනාවක් Atlas Project Team කියන සංවිධානය autism සහ learning disabilities ඇති පුද්ගලයින් සඳහා සුරැකුම් නිවාස පවත්වාගෙන ගියා. ඒකේ නිර්මාතෘ Paul Hewitt කියන්නේ සමාජයේ ඉතා ප්‍රසිද්ධ නමක්.

ඔහු මාධ්‍ය ඉදිරියේ නඩත්තු කරමින් සිටියේ ඉතා විශාල හදවතක් සහිත වූ දේව චරිතයක්. ඒ නිසාම දිනෙන් දිනම ඔහු වටා සැලකිය යුතු ප්‍රජාවක් එකතු වුනා. මිනිස්සු ඔහුට ආදරය කළා. සහය අවශ්‍ය පුද්ගලයින්ව රැකබලාගැනීමට පැමිණි දේව පුත්‍රයෙක් විදියට ඔහුව හැදින්නුවා. රජයේ ආයතන ඔහුව විශ්වාස කරා. ආබාධිත පුද්ගලයින්ගේ පවුල් ඔහුව විශ්වාස කළා. රජයෙන් ඒ නිවාස වල ජීවත් වුනු එක පුද්ගලයෙක් වෙනුවෙන් පවුම් දාස් ගණනක් ලබා දුන්නා. හැමදේම පිටතින් හරිම ලස්සනට සහ හොඳට පෙනුනා.

ඒත් 2011 දී ඒ එක් නිවාසයක සිටි පුද්ගලයෙක් Care Quality Commission (CQC) වෙත පැමිණිල්ලක් කළා. ඒ පැමිණිලිකරුව හඳුන්වන්නේ AC කියලා. හේතුව ඔහුගේ සැබෑ අනන්‍යතාවය ඔවුන් කිසිම විටෙකත් සමාජ ගත කරන්නේ නැහැ. ඒ තරමටම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙන නිසා..ඉතිං AC කිව්වේ ඔවුන්ව පැය ගනන් එහි සිටින සේවකයින් හුදකලා කාමර වල රඳවාගෙන සිටින බවත්, එකී සමහර කාමර වල වැසිකිළි පහසුකම් නොතිබුනු බවත් ඒ නිසාම ආබාධිත පුද්ගලයින්ට තමන්ගේම මළ මුත්‍රා සමඟ ඉන්න සිදු වූ බවත්.

ඒ වගේම පවුලේ අයගේ හමු වීම් සීමා කරලා තිබ්බා, ඔවුන් අතින් යම් වරදක් සිදුවූ විට දඬුවමක් වශයෙන් කෑම බීම නොදී හිටියා සහ හැසිරීම පාලනය කිරීමට කියලා ශාරීරික දඬුවම් ලබා දුන්නා කියලා පැමිණිලිකරු චෝදනා කරා.

මෙන්න මේ හෙළිදරව්වෙන් පස්සේ Care Quality Commission එක සහ පොලීසිය මේ නිවාස ගැන ඔවුන්ගේ පරීක්ෂණය ආරම්භ කළා. ඒ පරීක්ෂණයෙන් අනාවරණය කරගන්න ලැබුණා ඉතාමත් අමානුෂික ලෙස මේ නිවාස වල සිටි පුද්ගලයින්ට සේවකයින් සලකනවා කියන එක. ගැට ගසා තැබීම්, කාමර වල සිර කරලා තැබීම්, ආහාර නොදී සිටීම් වැනි බොහෝමයක් දේවල් අනාවරණය කරගන්න ලැබුනා. මේ නඩුව අවසන් උනේ 2017 දී. Paul Hewitt පිළිබඳව සමාජය හිතාගෙන හිටි ප්‍රතිරූපය කැඩිලා විසිරිලා ගියා. හේතුව නඩුවෙන් ඔප්පු උනා ඔහු මේ සියල්ලටම සම්බන්ධයි කියලා. මේක සේවකයින් කීප දෙනෙක්ගේ වරදක් නෙමේ ඉහළ පරිපාලනය දක්වාම වගකිව යුතු බරපතළ වරදක් බව උසාවිය ප්‍රකාශ කළා.Atlas නිවාස වසා දැමුවා. ඒත් මේ සිදුවීම සමාජ කම්පනයක් ඇතිකරන්න සමත් වුනා.

ලස්සන වචන, සමාජය ඉදිරියේ පෙන්වා සිටින ප්‍රතිරූපයන්ට එහා ගිය අඳුරු සත්‍යයක් තියනවාය කියන එක සමාජය වටහා ගත්තා.

අදටත් disability rights ක්ෂේත්‍රයේ Atlas Project Team එක උදාහරණයක් විදියට කතා කරනවා.සමහර වෙලාවට අමානුෂිකත්වය හෙළි කරන්නේ රහස් කැමරාවක්වත් , හදිස්සි අනතුරකින්වත් නෙමේ. ඒක හෙළිවෙන්නේ බය නැති එකම එක පුද්ගලයෙක්ගෙන් වෙන්න පුළුවන්.

Winterbourne View කියන්නේ එංගලන්තේ South Gloucestershire වල පවත්වාගෙන ගිය රෝහලක්..මේ රෝහල පවත්වාගෙන ගියේ  autism සහ intellectual disabilities ඇති පුද්ගලයින් සඳහා.

ඔවුන් එකී පුද්ගලයින්ගේ පවුල් වලට නිතරම ඒත්තු ගැන්නුවේ ඔවුන්ගේ සමීපතමයින් ආරක්ශාකාරීව සුව පහසු ජිවිතයක් ගත කරනවා කියලා.ඔවුන්ට අවශ්‍ය සහය ලැබෙනවා කියලා. ඒත් මේ රෝහල ගැන BBC එකෙන් රහසේ කැමරා අරන් ගිහින් විමර්ශනයක් කරා. ඒකෙන් හෙළිදරව් වූ තොරතුරු වලින් සමාජයක්ම කම්පා උනා.

එහි සිටි සේවකයින් ආබාධිත පුද්ගලයින්ට ඉතා අමානුෂික ලෙස පහර දෙනවා , බිමට තල්ලු කරනවා , කම්මුල්වලට ගහනවා , හිසට පහර දෙනවා , සීතල වතුරෙන් නාවමින් දඬුවම් කරනවා, බිය ගන්වා තර්ජනය කරනවා, අපහාස සහ උසුළු විසුළු කරනවා ඉතා පැහැදිලිව කැමරා වලට හසු වෙලා තිබ්බා.

එහි සේවකයින් තමන්ව ආරක්ෂා කරගන්න බැරි මිනිසුන්ගේ වේදනාව විනෝදයක් බවට පත් කරගෙන තිබුණා. ඒත් ඔවුන් පිටත සමාජයට පෙන්වා තිබුණේ මීට හාත්පසින්ම වෙනස් ප්‍රතිරූපයක්.

විශ්වාසය කියන්නේ කැමරාවකින් වීඩියෝ ගත කරලා සමාජ මාධ්‍යයට මුදා හරින රූප රාමු හරහා ගොඩ නගාගන්න පුළුවන් දෙයක් නෙමේ.

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

ලංකාවේ ලොකු අයියා කියන එකාගේ දායක සභාව තරම් මරි මෝඩ නූගත් කිසිම දායක සභාවක් මීට කලින් මම දැකලා නැහැ..ආබාධිත ප්‍රජාව එක්ක වෛරයකින් ඉන්න දායක සභාවක්. බල්ලෙක්ට මාසෙට කන්න දෙන්න 35000 කට වඩා යනවා.මේ තරමට හරි ඒ මිනිස්සුන්ව බලාගත්ත එක පිනක් කියලා කියන දායක සභාවක්. ලොකු අයියා කියන්නේ දෙවි කෙනෙක් කියලා කියන දායක සභාවක්. උඹලාගේ දරුවන් බඩේදීම නැති කරගනින්.ඒක තමයි එකම විසඳුම කියලා කියන දායක සභාවක්. බත් පැකට් එකක් කන්න දුන්නේ නැති උන් මේ ගැන කතා කරනවා කියලා කියන දායක සභාවක්.

තක්කඩි ලොකු අයියා ඇතුළු සේවක පිරිස සහ උන්ට වන්දනාමාන කරන දායක සභාවේ සිට ලංකාවේ මේ සම්බන්ධව සොයා බැලිය යුතුව සිටි සියළුම නිලධාරීන් ගින්නෙන් අළු වෙලා ගියපු ආබාධිත පුද්ගලයින්ගෙන් සමාව ඉල්ලා සිටින්න ඕනේ.

මේක ස්වාභාවික අනතුරක් නෙමේ. මේක බේරී යෑමට තිබූ අවස්ථාව අහිමි කරපු ඝාතනයක්. මේක ජීවත් වෙන්න තිබූ අයිතිය උදුරා ගැනීමක්. ගැට ගහලා දම්වැල් වලින් හිර කරලා කුඩා ගෙයක් ඇතුළේ දමා හිර කරලා මාරයාට ජිවිත ටික තැටියක තියලා බාර දුන්න ම්ලේච්ඡ සිදුවීමක්.

පාර්ලිමේන්තුවේ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් පෙනී ඉන්නා මැති ඇමතිවරුන්ගේ කොන්ද තිබේදැයි අත ගා බලන්න. සමාජ සේවා දෙපාර්තමේන්තුවේ උපාලි පන්නිලගේ ඔයාගේ කශේරුකාව කෙලින්දැයි අතගා බලන්න. ස්නායු විවිධත්වයක් සහිත දරුවෙක්ගේ පියෙක් වෙන සුනිල් හඳුන්නෙත්ති ඔබ නරුම තක්කඩියෙක්. පහු ගිය අවුරුදු ගණනාව පුරාවටම ඔබ ඔටිසම් විවිධත්වය ගැන හෝ ස්නායු විවිධත්වය ගැන කතා කර නැත. එක් අතෙක ඇඟිලි කීපයක් අහිමි වූ පසු ඔබද අයිති වෙන්නේ ලංකවේ ආබාධිත ප්‍රජාවටයි. ඉතිං ආබාධිත ප්‍රජාව වෙනුවෙන් කතා කිරීමට, ඔවුන්ගේ සුරක්ෂිතබව ගැන නව නීතී පනත් සකස් කිරීමට තරම් කශේරුකාව හයිය වෙන්නේ කවදාද?

බඩේදීම ආබාධිත දරුවන් මරා දැමීමෙන් ලොකු අයියා වැනි පුද්ගලයින් මෙලෙස වැරදිකරුවන් වීම වළක්වා ගත හැකි යැයි කියනා ඔහුගේ දායක සභාවේ ගරු උපාසක උපාසිකාවනි මගේ එකම ප්‍රාර්ථනය ඔබලාට ජීවිතයේ කවදාක හෝ ආබාධිත පුද්ගලයින් 13 දෙනාට අවසන් වරට දැනුණු අසරණකම, මරණයේ බිය, වේදනාව දැනිය යුතු බවයි.

මා මාගේ ඔටිසම් දරුවාගේ නොපෙනන අනාගතය වෙනුවෙන් බය වෙන්නේ කශේරුකාවක් , සහකම්පනයක් , දැනීමක් නොමැති රාජ්‍ය යාන්ත්‍රණයකට යටත්ව සහ ලොකු අයියලා සහ ඔහුගේ දායක සභාව වැනි ඉතාමත් ප්‍රාථමික දැනුම් මට්ටමක් සහිත පුද්ගලයින්ගේ සමාජයක වර්ණවත් දරුවෙක්ට උපත දුන් නිසාවෙනි. අපේ දරුවන්ගේ හදවත් වල ඇති ආදරය උඹලාගේ ම්ලේච්ඡත්වයට වඩා විසාලය.

අපි අද මිය ගියහොත් අපේ දරුවන්ගේ ජීවිතය සහ අනාගතය සුරක්ෂිත කරන්නේ කවුද?

 

මුල් සබැඳිය : ප්‍රතිරූපයන්ට එහා ගිය අඳුරු සත්‍යයක්