සෙනහසේ නවාතැනේ පණ පිටින් මිනිසුන් පිළිස්සිලා යද්දී එහි පාලකයා කරේ ඒ ඉදිරියේ ඉඳගෙන ඒක වීඩියෝ කරලා ෆේස්බුක් එකට දාපු එක. ඒක දැම්මේ එයා.එයාගේ හඬ ඒ වීඩියෝ එකේ තියනවා සහ ඒක අප්ලෝඩ් කරේ ගින්න ඇති වෙන වෙලාවේ මිසක් ඒකට පසුව නෙමේ. ඒත් ඔහුව අත්තඩංගුවට අරගෙන දවසක් ගියාම ඒ වීඩියෝ එක ඉතා ඉක්මනින් පේජ් එකෙන් අයින් කරලා දානවා. ඒක කරන්න හේතුව බොහෝ විට ඔහුගේ ලෝයර්ස්ලාගේ උපදෙස් මත වෙන්න පුළුවන්. ඒත් එහෙම ඩිලීට් කරාට වැඩක් නෑ. ඒවල ස්ක්‍රීන් ශොට්ස් ගොඩක් අය අරන් තිබ්බා.
Bandura කියන්නේ ගොඩක් මිනිස්සු තමන් නරක මිනිස්සු කියලා හිතන්න කැමති නැහැ. ඒ නිසා තමන් කරන හානිකර ක්‍රියාවක් ගැන මොළය ඇතුළේ “සාධාරණීකරණයක්” හදාගන්නවා කියලා.
උදාහරණයක් – ගුරුවරයෙක් ළමයෙක්ට පහර දෙනවා.ඔහු “මම දරුවාට හානි කළා” කියලා හිතන්නේ නැහැ. ඔහු හිතන්නේ “මම විනය හැදුවා” කියලා. එතන තමයි අපි මේ කතා කරන Moral Disengagement එක එහෙම නැත්තන් සදාචාරාත්මක වෙන්වීම තියෙන්නෙ.
Bandura මේක කොටස් කිහිපයකින් හඳුන්වා දෙනවා.
1. Euphemistic Labeling / නරක දෙයකට මෘදු නමක් දානවා.
උදාහරණ – ගැට ගැහුවා” වෙනුවට”ආරක්ෂාවට පාලනය කළා”කියනවා.
2. Diffusion of Responsibility / වගකීම බෙදා හැරීම.
උදා – මම විතරක් නෙවෙයි හැමෝම එහෙම කළා.
3. Displacement of Responsibility
උදා – මට ඉහලින් කිව්වා , මම නියෝග පිළිපැද්දා.
4. Minimizing Consequences
උදා – එච්චර දෙයක් වුණේ නෑ.
5. Dehumanization
මෙන්න මේක තමයි බහුතරයක් care home අපයෝජන වල නිරන්තරයෙන් දකින්න ලැබෙන්නේ.පුද්ගලයා “මනුෂ්‍යයෙක්” විදියට නෙමේ case එකක්, බරක් , රෝගියෙක් විදියට දකින්න පටන් ගන්න එක. ඒ දැක්මත් එක්ක සහකම්පනය, පිළිගැනීම ටික ටික අඩු වෙලා යනවා.
එතකොට මේ ලොකු අයියා කියන පුද්ගලයා තමන්ගේම සමීපතමයින් ගින්නෙන් දැවෙනකොට ඒක වීඩියෝ කරපු එක Bandura ගේ දෘෂ්ටිකෝණයෙන් බලනකොට ලොකු අයියට ඒ ගැන කියන්න පුළුවන් කතා තමයි,
- මම සාක්ෂියක් විදියට ඒක අරගත්තේ
- මට ඒ සිද්ධිය මිනිස්සුන්ට පෙන්වන්න ඕනේ කියලා හිතුනා.
- මම shock වෙලා හිටියේ
- මට වෙන මොනවත් කරන්න බැරි වුණා.
මෙන්න මේ කතා වලින් එයා එයාගේ හැසිරීම සදාචාරාත්මකව සාධාරණීකරණය කරගනී.
ඒත් යම් පුද්ගලයෙක් ඇත්තටම තමන් වගකියන පුද්ගලයන්ව “මගේ මිනිස්සු” විදියට දකිනවා නම්, අර්බුදයේ මධ්‍යයේදී සාමාන්‍යයෙන් එයාගේ අවධානය අනතුරට පත් වෙලා ඉන්න මිනිස්සු වෙතට ස්වාභාවිකවම යනවා. හැබැයි යම් පුද්ගලයෙක් ඒ මනුෂ්‍ය කණ්ඩායම “මගේ ආයතනය”, “මගේ ව්‍යාපෘතිය”, “මගේ ප්‍රසිද්ධිය”කියන කෝණයෙන් වැඩියෙන් දකිනවා නම්, අර්බුදයේ මධ්‍යයේදී ඔහුගේ අවධානය වෙනත් තැනකට යන්න පුළුවන්.
ඒ නිසා අපිට හිතෙනවා එයා ඇත්තටම මේ මිනිස්සුන්ට ආදරය කළාද, නැත්නම් ඒ මිනිසුන් මත එයාට හදාගත්ත / හැදුනු භූමිකාවට ආදරය කළාද? කියන එක.
අනික් කාරණය ” ජනප්‍රිය දාන”. කාලයක් තිබ්බා අර වයිරල් යන ටික්ටොක් Trend එකක් විදියට මේ නිවාසයට දාන දීලා, කේක් කපලා, ඒ ළමයින්ට තමන්ගේ අතින් කෑම කවලා, සිංදු දාලා නටලා ඒ වීඩියෝ ටික්ටොක් එකේ දාන එක. ඒත් එක්කම වෙනත් රටවල් වල ඉඳන් දාන බාර ගත්ත අයගේ නම් හයියෙන් එතන නවාතැන් ගෙන හිටපු කාන්තාවක් කියනවා. ඒ කියන්නේ පින් පමුණුවනවා ” අද අපිට උදේ දානය භාර ගත්ත ඩුබායි වල ඉන්න …..” කියලා. මම දැක්කා එක්කෙනෙක් කියලා තිබ්බා ගින්නෙන් ඒ පිං දුන්න කාන්තාව බේරුණේ එයා වැඩියෙන් පින් දුන්න නිසා කියලා.එතකොට ඒකෙන් අදහස් වෙන්නේ මිය ගිය 13 දෙනාම අඩුවෙන් පින් දීලා කියන එක වෙන්න පුළුවන්. ඉතිං අපි ජීවත් වෙන්නේ මෙන්න මෙහෙම සමාජයක. ඇයි සිම්පල් Thank you එකක් අපේ ලංකාවේ මේ වගේ මහා උපාසක උපාසිකාවන්ට මදි වෙන්නේ? ඒක සාධාරණීය කරන්න හදන් ඉන්න කතාව තමයි “එහෙම කරාම තමයි අනික් මිනිස්සුත් පිනට දෙන්න පෙළඹෙන්නේ කියලා “.
Performative charity කියන්නේ සරලවම කිව්වොත් උදව් කරන එකට වඩා උදව් කරන එක පෙන්වීම වැදගත් වෙන එක.උදාහරණයක් විදියට රුපියල් පන්දාහක බඩු අරන් දීලා කැමරා තුනකින් තුන් පැත්තකින් ඒක පැය දෙකක් වීඩියෝ කරලා ටික් ටොක් වීඩියෝ දහයක් දානවා. මෙන්න මේ වගේ උදව් කිරීම් වලින් පස්සේ මිනිස්සුන්ගේ අවධානය යොමු වෙන්නේ ආබාධිත හෝ සහය අවශ්‍ය පිරිසගේ අවශ්‍යතාවයන් මොනවද කියන එකට වඩා ” අනේ මේ මහත්තයා කොයිතරම් හොදද ” කියන ප්‍රතිරූපයට.
එතකොට Virtue Signaling කියන්නේ මම හොඳ කෙනෙක් කියන පණිවිඩය අනික් අයට දෙන එක. ඒකට උදව් කරන්න ඕනෙම නෑ.උදාහරණයක් විදියට පාරේ පොඩි කඩේක තැඹිලි විකුණන ආච්චි අම්මා එක්ක ෆොටෝ එකක් ගහලා ඒක ෆේස්බුක් දානවා අපි හැමෝම මනුෂ්‍යයෝ” කියලා caption එකක් එක්ක. ඕකම ස්නායු විවිධත්වයන් සහිත දරුවන්ටත් වෙනවා.
මම දකිනවා සමහර ගුරුවරියන් තමන්ගේ පන්තියේ ඉන්න ඩවුන්සින්ඩ්‍රෝම් අනන්‍යතාවය සහිත දරුවන් එක්ක නිරන්තරයෙන් වීඩියෝ දානවා. ඒවා විවිධත්වය ගැන දැනුවත් කිරීම් නෙමේ. මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ?
නිවාසයේ ගින්නෙන් මිය ගිය සුනීතා එක්ක කොයිතරම් නම් ටික්ටොක් වීඩියෝ හැදුනද? එක්කෙනෙක් බත් කවනවා, තව කෙනෙක් කේක් කවනවා. තව කෙනෙක් බදාගෙන නටනවා. ඇයි ඒ ? ඒ එක් කෙනෙක්වත් ස්නායු විවිධත්වයන් ගැන කතා කරාද? ලංකාවේ ආබාධිත ප්‍රජාවගේ ජීවිත මීට වඩා පහසු සහ අරක්ශාකාරී වෙන්න ඕනේ කියලා කතා කරාද? සුනීතලාගේ ජිවිත වල තියෙන එකම අර්ථය උනේ අනෙකාට විනෝදයක් ගෙන දීමද? ඒ හැම වීඩියෝ එකක් හරහාම උනේ මිනිස්සු සුනීතලා ගිය ආත්මේ පව් කරපු චරිත බවට හංවඩු නොගහා හංවඩු ගහපු එක. සුනීතලාට කේක් කවපු අය පුදුමාකාර පින්වන්තයො කරපු එක.නිවාසේ පාලකයා සුපර් මෑන් කරපු එක.
මට ඒ සමස්ත ක්‍රියාවලියම පේන්නේ සර්කස් එකක් විදියට. විවිධත්වයෙන් යුතු පුද්ගලයින් ඒ සර්කර්ස් වේදිකාවේ අනෙකාගේ ආත්ම තෘප්තිය උදෙසා නැටවුනා.
19 වෙන සියවසේ තිබ්බා Freaks show කියලා ජාතියක්.ඒ වල උනේ ශරීර ආබාධිත හෝ වෙනස් පුද්ගලයින්ව ප්‍රදර්ශනය කරපු එක. දැන් ඒ Freaks show බලන්න මිනිස්සු ටිකට් අරන් ගියේ ඇයි? ඒ ආබාධිත පුද්ගලයින්ගේ ජීවිත වටහා ගන්න නෙමේ.එයාලා ගියේ ඔවුන්ව බලලා පුදුම වෙන්න, කම්පා වෙන්න, ඒ වෙනස්කම බලලා තමන්ගේ ජීවිත ගැන තෘප්තිමත් වෙන්න.
ඔය ගොඩක් ජනප්‍රිය Care Home වල සෙන්ටර් එක ආබාධිත පුද්ගලයින් නෙමේ. ප්‍රේක්ෂක අත්දැකීම තමයි මාර්කට් වෙන්නේ. උපන්දිනේ ගන්න එතනම තෝරගන්නේ ඇයි? දාන දෙන්න එතනම තෝරගන්නේ ඇයි? දාන බාර ගන්න දවස් පවා මිනිස්සුන්ට ගන්න බැරි වෙන තරමට ජනප්‍රිය උනේ ඇයි? හේතුව මිනිස්සුන්ට ඒ අත්දැකීම විදින්න ඕනේ උනා.
“Inspiration Porn” කියන වචනය හඳුන්වා දුන්නේ Stella Young . ඇය ආබාධිත ප්‍රජාව වෙනුවෙන් පෙනී හිටපු ආබාධිත කාන්තාවක්. එයා 2024 TED Talk වේදිකාවේ ප්‍රසිද්ධියේ මෙහෙම කිව්වා.
” “We are not here to inspire you.”
(අපි ඔබව inspire කරන්න ඉපදුණු අය නෙවෙයි.)
මෙන්න මේ ප්‍රකාශය සමාජයේ අළුත් සංවාදයක් ඇති වෙන්න හේතුවක් උනා. සමාජය නිරන්තරයෙන් කියමින් හිටියේ ආබාධිත පුද්ගලයින්ගේ ජීවිත හරහා යම් ආදර්ශයක්, දිරිමත් කිරීමක් ලබා ගන්න පුළුවන් කියන එක.
උදාහරණයක් විදියට පාද දෙකම අහිමි වුන පුද්ගලයෙක්ගේ ෆොටෝ එකක් දාලා යටින් අහනවා එයාට කකුල් නෑ. ඒත් ඔයාට හැමදේම තිබිලත් ඔයාගේ නිදහසට කාරණාව මොකක්ද කියලා.
මේවා Motivational post විදියට එහා මෙහා ශෙයාර් වෙනවා.
Stella කිව්වේ ” මම motivational poster එකක් නෙවේ” කියන එක.
Stella yong ට තිබුනේ ඉතා පහසුවෙන් අස්ථි බිදෙන්න පුළුවන් Brittle Bone Disease එක. ඇය 2024 දී මිය ගියා.එයා Ted Talk එකේ කතා කරේ 2024 අප්‍රේල් වල.දෙසැම්බර් මාසයේ තමයි මිය ගියේ. ජීවිතේ වැඩි කාලයක් රෝද පුටුවේ ගත කරපු ඇය මෙහෙම කිව්වා ,
” මම උදේට ඇඳෙන් නැගිටින එක ඔබට දිරිමත් බවක් ගෙන දීමක් නෙමේ”
” ආබාධිත පුද්ගලයන් ඉන්නේ ආබාධිත නොවන මිනිසුන්ට තමන් ගැන හොඳ හැඟීමක් ඇති කරවන්න නෙවෙයි”
මේ අදහස තමයි Inspiration Porn කියන සංකල්පය හරහා Stella සමාජගත කරේ.
ඉතිං සුනීතලාටත් සෑම මනුෂ්‍යයෙක්ටම ලැබිය යුතු ගෞරවය එක හා සමානව තියෙන්න ඕනේ. දයාසීලී එයාලට දෙන කෑම කටක් ගානේම මහ හයියෙන් පින් දෙන්න ඕනේ නැ. සද්දෙට පින් අහගන්න නං පන්සලට යන්න. තමන්ගේ නම ආයේ ආයේ හයියෙන් දයාසීලිගේ කටින් අහගෙන සුරාතාන්තයට පත් වෙන අයට පුළුවන් ගමේ පන්සලේ මල් වට්ටි වෙන්දේසි වලට යන්න. තොරන් බලන්න ගිහින් රුපියක් 100 ක් දීලා මුළු ගෙදරම අයගේ නම් කියවා ගන්න.
අනික් එක තමයි තමන්ගේ ලිංගික අනන්‍යතාවය ඉතා දැඩි ලෙස අර්බුදයකට පත් වෙලා තියන කෙනෙකුත් සමාජයෙන් තමන්ට නොලැබෙන ගෞරවය ලබා ගන්න මේ නිවාසය ඉතා නරුම විදියට පාවිච්චි කරා. වෙනත් සමලිංගිකයින්ට සහ සංක්‍රාන්ති පුද්ගලයින්ට බහුතර සමාජය බනින කොට මේ පුද්ගලයා හෙමින් හෙමින් Shield එකක් හදාගත්තා සුනීතලා හරහා. එයාට ඕනේ උනේ තමන්ගේ ලිංගික අනන්‍යතාවය සහ සමාජ අනන්‍යතාවයට සමාජයෙන් එල්ල වෙන විනිශ්චයන් කොහොම හරි සුනීතලා මාර්ගයෙන් අයිසින් තවරන් වහගන්න. එයාට ඕනේ උනේ එයාව සමාජය පිළිගන්න.
ඒකට එයා මේ මොහොතෙත් කඳුළු පුරවගෙන සුනීතලා ගැන මතකය අවදි කරනවා. අවම ලැජ්ජාවක් ඉතිරි වෙලා නැහැ. තාමත් මිය ගිය මිනිසුන්ගේ මළ කඳවල් වලින් පවා බලන්නේ තමන් කොයිතරම් සුදු චරිතයක්ද කියන එක සමාජයට කියන්න. මේක ඇස් දෙකට බලාගන්න ඕනේ නං ඒ කැරලි කොණ්ඩේ තියන සුදුම සුදු biological පිරිමියගේ ප්‍රොෆයිල් එකට ගිහින් බලන්න. මළ කද පවා විකුණගෙන කන කැතකම බලාගන්න පුළුවන්.
තමන් වඩා හොඳ චරිතයක් කියලා පෙන්වන්න හෝ පින්වන්ත චරිතයක් කියන එක පෙන්වන්න සුනීතලාව පාවිච්චි කරන්න එපා. ආබාධිත ප්‍රජාව කියන්නේ සර්කස් කණ්ඩායමක් නෙමේ. එයාලා සතුටින් හිටියා කියලා ගොඩක් අය කියලා තිබ්බා. ඒක එහෙම වෙන්න පුළුවන්. ඒත් තමන්ට කේක් කෑල්ලක් කවන මිනිහාගේ සිතුවිල්ල ඔවුන් හඳුනන්නේ නැහැ. දම් වැලකින් හිර වෙලා ඉන්න පුද්ගලයාට අහන්න බැරි වෙන්න පුළුවන් ” ඇයි ඔයාලට මට සහය දෙන්න , මාව ආරක්ෂා කරන්න වෙන ක්‍රමයක් නැද්ද?” කියලා. තමන්ගේ මනුෂ්‍ය ජීවිතයට ලැබිය යුතු ගෞරවයේ සහ පිළිගැනීමේ සීමාව ඔවුන් හඳුනන්නේ නැහැ. ඒත් අපි දන්නවා. ඒ වගේම අපි දන්නවා ඔවුන් සිටි වේදිකාව. අපි දන්නවා ඒ වේදිකාව නරඹමින් සිටියේ කවුද කියන එක. අපි දන්නවා සර්කස් එක අයිති ව්‍යාපාරිකයාගෙ අරමුණ ගැන.
ආබාධිත පුද්ගලයා පුද්ගලයෙක් නොවී content එකක්, inspiration story එකක් හෝ හුදෙක් charity photo එකක් වීම සදාචාරාත්මක නැහැ. ආබාධිත පුද්ගලයාට වඩා කැමරාව වැදගත් වෙන්න බෑ. පුද්ගලයාගේ ගෞරවයට වඩා views වැදගත් වෙන්න බෑ. උදව්වට වඩා ප්‍රචාරණය වැදගත් වෙන්න බෑ. charity එක performance එකක් වෙන්න බෑ.
දැන් නිවාසය ගිනි ගත්තා විතරක් නෙමේ ඒකත් එක්ක ලබමින් සිටි විනෝදයත් කුඩු වෙලා ගියා. අන්න ඒ වෛරය තමයි දැන් සමාජ ගත කරන්න උත්සාහ ගන්නේ ? ගෙවල් වල උන් බලාගත්තා නං මෙහෙම ගින්නට ජීවිත නැති වෙන්නේ නෑ කියන අයට අපිටත් අහන්න තියෙන්නේ ගෙවල් වල හිටියා නං උඹලාගේ විනෝදයත් අහිමි වෙනවා නේද කියන එක?
මගෙන් අහලා තිබ්බා උඹ බත් පැකට් එකක්වත් දීලා තියනවද කියලා. ඇයි මම ඒකට උත්තරයක් දෙන්නේ? ඇයි අපි අනෙකාට ඔප්පු කරන්නේ අපි අනෙකා එක්ක මොනවද බෙදාගන්නේ කියලා. ගෙවල් වල වැඩියෙන් ව්‍යාංජනයක් හැදුවත් අල්ලපු ගෙදරට ටිකක් දීලා බෙදාගෙන කන එක ලංකාවේ මිනිස්සුන්ගේ සංස්කෘතියේම තියන දෙයක්.අපි මේක කාටවත් අමුතුවෙන් ඔප්පු කරන්න ඕනේ නෑ. ඒ නිසා මම බත් පැකට් එකක් දීමෙන් සුදු චරිතයක් වෙන්නෙත් නෑ නොදී හිටීමෙන් කළු චරිතයක් වෙන්නෙත් නෑ. අපි හැමෝම විපරිත මිනිස්සු.එකෙක්වත් හොද ලස්සන නෙළුම් මල් නෙමේ.
ඉතිං දැන් කට්ටිය අළුත් සර්කස් එකක් හොයන් යයි. ගිහින් බත් මුලට වීඩියෝ දහයක් කරයි.ඒ වීඩියෝ වයිරල් යයි. අපිට තවත් ලොකු අයියා කෙනෙක්ව මුණ ගැහෙන්නත් නියමිතයි.
ඔය මම උඩ ලියපු හැමදේම මේ තියන ලින්ක් එකේ තියන වීඩියෝ එක බැලුවම තවත් පැහැදිලි කරගන්න පුලුවන්.
